පට්ටිපොළ අසිරිය විඳිමු…ඔහියෙන් නැග ලංකාවේ උසම දුම්රිය ස්ථානයෙන් බහිමු

329

“කැලණිය ඡායාරූප සහ කලා සංගමය” මගින් සංවිධානය කරන ලද “ඉදල්ගස්හින්න” දුම්රිය චාරිකාවට එක්වී හපුතලේ සිට ඉදල්ගස්හින්න ඔස්සේ ඔහියට ආ ගමන ගැන ඉකුත් 09 වැනිදා ඉරිදා දිවයින “සංචාරේ” විශේෂාංගය මගින් අපි කතා කළෙමු. “කැලණිය ඡායාරූප සහ කලා සංගමය”ට අනුව, අප විසින් සිදුකරන්නට යෙදුණු හපුතලේ-ඉදල්ගස්හින්න-ඔහිය හා පට්ටිපොළ යන දුම්රිය ස්ථාන හතරේ ඡායාරූපකරණ සංචාරය පට්ටිපොළ දක්වා ගොස් ලංකාවේ දැනට පවතින මුහුදු මට්ටමේ සිට උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වන පට්ටිපොළ පහස විඳ, එසේම, මුහුදු මට්ටමේ සිට උසින්ම පිහිටි දුම්රිය මාර්ගය වැටී ඇති තැන(Summit Level) ද දැකබලා ගෙන පට්ටිපොලින්ම දිවා ආහාරය භුක්ති විඳ, ආපසු හපුතලේට දුම්රියෙන් පැමිණෙන මෙම සංචාරයේදී අප මේ වන විට ගත කරන්නේ ඔහිය දුම්රිය ස්ථානය ආශ්‍රිතව ය. බදුල්ලේ සිට කොළඹ බලා උදේ පැමිණෙන පොඩි මැණිකේ දුම්රියෙන් ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට ඔහියට ළඟා වූ අප කණ්ඩායම අනතුරුව යුහුසුළු වූයේ මේ සුන්දර දුම්රිය ස්ථානයේ සහ අවට විචිත්‍රත්වය ඡායාරූපගතකර ගැනීම සඳහාය.

ඔහිය එක අතකින් පාරිසරික හා දේශගුණික වශයෙන් අතිශය වටිනා ප්‍රදේශයකි. එනම්, මෙහි පවතින සෞම්‍ය දේශගුණික තත්ත්වය එහි යන එන හැමෝම ආකර්ෂණය කරවයි. අනෙක් අතින් අපේ රටේ සුවිශේෂම පාරිසරික නිකේතනය ලෙස ප්‍රකට හෝර්ටන්තැන්න ලෝක උරුම ජාතික උද්‍යානයට පිවිසෙන එක් මාර්ගයක් (බොරලන්ද දෙසින් එන) වැටී ඇත්තේ ඔහිය දුම්රියපළ අසළිනි. මෙම මාර්ගය හෝර්ටන්තැන්න දක්වා ගමන් කර අනෙක් පසින් අපි මීළඟට ගමන් ගන්නා පට්ටිපොළ දුම්රිය ස්ථානය අසලින් නැවත පහළට සම්බන්ධ වී නුවරඑළිය දක්වා දිවේ.

අපේ කණ්ඩායම ඡායාරූපකරණ කටයුතු සිදුකරන අතරේ නිර්මාණ ශිල්පියකු සේ ප්‍රකට අනුහස් මහවලගේ සොයුරා ඔහිය (හා පට්ටිපොළ) දුම්රිය ස්ථාන ඇතුළු පරිසරය තම තෙළිතුඩින් චිත්‍රයට නගන්නට ද අමතක කළේ නැත. ඒ අතර ඔහිය දුම්රිය ස්ථාන භාර ස්ථානාධිපතිවරයා සහ එහි මෙහෙයුම් ස්ථානාධිපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සමග පිළිසඳරක යෙදෙන්නට ද අප අමතක කළේ නැත. නමුත් ඔවුන් සියලුම දෙනා අප හා පිළිසඳරට එක් වුණේ තම රාජකාරියට මුල් තැන දෙමින් රාජකාරියට කිසිදු බාධාවක් නොවන අයුරින් බවද සිහිපත් කළ යුතුය. ඒ අනුව ඔහිය දුම්රිය ස්ථානය භාර ස්ථානාධිපති චන්දන මනතුංග, එහි දෙවන නිලධාරී (ස්ථානාධිපති මෙහෙයුම්) ප්‍රමෝද් අපොන්සු යන අය සමග කතා බස් කර දුම්රිය ස්ථානය ගැන මෙන්ම, ඔහිය හා අවට පරිසරය ගැනද, ඔවුන්ගේ දුම්රිය ජීවන අත්දැකීම් ගැනද කතා කරන්නට අප අමතක කළේ නැත. ඒ අතර පුරුද්දට මෙන් හා පවතින හීං හීතලට උපායක් ලෙස ඉදල්ගස්හින්නේ දී මෙන්ම ඔහියෙදීත් (පට්ටිපොළ දක්වා අපගේ ඊළඟ දුම්රිය පැමිණෙන තෙක්) එහි කඩමණ්ඩියේ ඇති තේ කඩ හිස් කරන්නට අපේ කණ්ඩායම අමතක නොකළේය.

“කැලණිය ඡායාරූප සහ කලා සංගමයේ” සභාපති ලක්ෂ්මන් පන්තියදේව, ප්‍රධාන ලේකම් සුජීව ජිනේන්ද්‍ර, භාණ්ඩාගාරික රජීව් ඇලෙක්සැන්ඩර්, උප සභාපති කමල් සූරියආරච්චි, උප ලේකම් රෝහණ පෙරේරා, ප්‍රධාන සංවිධායක කුමාර දහනායක, අනුශාසක රොහාන් ෆොන්සේකා, විධායක කමිටු සාමාජිකයින් වන චමින්ද සිසිර කුමාර සහ සමන් නිශාන්ත, හිටපු සභාපති කීර්ති අමරසේකර, ප්‍රකට ලේඛක හා දේශක ජයන්ත විජේසිංහ, චිත්‍ර හා සැලසුම් ශිල්පී අනුහස් මහවලගේ ඇතුළු විසි පස් දෙනකුගෙන් සමන්විත “කැලණි ඡායාරූප හා කලා සංගමයේ” සාමාජිකයින් සමග නිමල් උඳුගොඩ මහතාගේ කිරිබත්ගොඩ සහ මාතර පිහිටි Lakseya Colour Lab අනුග්‍රාහක දායකත්වයෙන් “දිවයින – සංචාරේ” කණ්ඩායම මෙම තුන් දින සංචාරයට එක්වූයේ සැබැවින්ම වින්දනීය අත්දැකීමක් ලබනු සඳහාය. එම වින්දනීය අත්දැකීමේ තවත් අවස්ථාවක් ලෙස ඔහිය – පට්ටිපොළ දුම්රිය ගමන හා එම දුම්රිය ස්ථානවල ගත කළ කාලය හැඳින්විය හැකිය.

සංගමයේ උප ලේකම් රෝහණ අයියා අපට පැහැදිලි කළ පරිදි, ලෝකයේ සුන්දරම දුම්රිය මාර්ග 15 අතර අංක එක ගන්නා රුසියාවේ “මහා සයිබීරියන්” මාර්ගය, අංක දෙක ගන්නා ඉන්දියාවේ “කොන්කොන්” මාර්ගය හා අංක තුන ස්ථානය ගන්නා ඉන්දියාවේම “සදර්න් රේල්වේ” මාර්ගයෙන් පසු හතරවන (4) වන ස්ථානයේ ලා ගැනෙන ශ්‍රී ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ සුන්දරත්වය සොයා ගිය අපේ කණ්ඩායම හපුතලේ-ඉදල්ගස්හින්න-ඔහියෙන් පසු මේ සැරසෙන්නේ මීළඟ දුම්රියෙන් පට්ටිපොළට යෑම සඳහාය. අප පැමිණ තවත් හෝරාවකදී පමණ ඔහියට පැමිණියේ උදෑසන අපට හපුතලේදී හමුවූවා මෙන් වූ එම්. 06 දරණ එන්ජිමකින් සමන්විත වූ පෙට්ටි දුම්රියකි. මෙම දුම්රියට ලහි ලහියේ ගොඩ වුණු අපි අනෙකුත් මගීන් අතර තෙරපෙමින්ද, දොරවල හා පඩිවල ඇනතියාගෙනද, බෙලි හා දිගු කැමරා ලෙන්ස් එළියට දාගෙන ද ගමන් ගත්තේ ආපු ගමනේදී කඳුකරයේ තේ වතු, වන රොදවල්, එළවළු කොටු අතරින් හා බිංගෙවල් මැදින් මෙන්ම, සුද්දාගේ කාලයේදී විශ්මිතව සැකසූ ගැඹුරු යකඩ පාලම් මතින් ගමන් ගන්නා දුම්රියේ අපූරු හැඩතල දකිනු රිසියෙන් හා ඒවා ඡායාරූප ගත කිරීමේ අරමුණිනි.

පට්ටිපොළ අසිරිය විඳිමු…ඔහියෙන් නැග ලංකාවේ උසම දුම්රිය ස්ථානයෙන් බහිමු

මෙසේ පැය භාගයකට අඩු කාලයකදී ඔහියේ සිට සුප්‍රකට පට්ටිපොළ දුම්රිය බිංගේ, ශ්‍රී ලංකාවේ දුම්රියක් ගමන් ගන්නා උසම ස්ථානය නොහොත් Summit Level පසුකර ශ්‍රී ලංකාවේ උසම දුම්රිය ස්ථානය වන පට්ටිපොළට ළඟා වූයේ පැත්තකින් මහා හෙළ සහ අනෙක් පසින් හෝර්ටන්තැන්නේ ඇති ශ්‍රී ලංකාවේ උසින් දෙවෙනි ස්ථානය ගන්නා තොටුපොළ කන්ද පෙනෙන මානයෙන්ය. ‘සමිටි ලෙවල්’ පිහිටා ඇත්තේ මීටර් 1898.1 ක් (අඩි 6226 ක්) ඉහළිනි. කොළඹ සිට මෙම ස්ථානයට දුම්රිය මාර්ගයෙන් කිලෝමීටර් 224.027 ක් (සැතපුම් 139 ක් හා බඹ 66 හමාරක්) දුර ඇත.

අනතුරුව පට්ටිපොළ සුන්දරත්වය බලන්නට කට්ටිය විසිර ගියේ පට්ටිපොළ දුම්රිය ස්ථානාධිපති දර්ශණ සේනානායක මහතා මුණ ගැසීමෙන් පසුවය. ඒ අනුව ”සමිට් ලෙවල් ” වෙත ගිය කණ්ඩායම, අනතුරුව හීතලෙන්ම හීතල මකාගෙන පට්ටිපොළ පිහිටි අමිල ගේ නවාතැනට ඇදුණේ එහි පිළියෙල වූ රසවත් දිවා ආහාරයේ පහස විඳගැනීම සඳහාය. අනතුරුව උදෑසන 5.50 ට කොටුවෙන් බදුල්ල බලා ගමන් ගන්නා “උඩරට මැණිකේ” පවර් සෙට් දුම්රිය පට්ටිපොළට පැමිණි ඒ සවස් යාමයේ අපි එහි නැග පට්ටිපොළට සමු දුන්නේ නැවත හපුතලේ දුම්රිය ස්ථානය දක්වා ගමන් කිරීම සඳහා වින්දනාත්මක දුම්රිය චාරිකා 4 ක අත්දැකීම නිමාකරමිනි. ඒ සියලු දුම්රිය ගමන් අතර තුර දෙස් – විදෙස් මගීන් සමග මුසුවී ගත කළ ලෙන්ගතු-අල්ලාප-සල්ලාප ද අපේ “ඉදල්ගස්හින්න” දුම්රිය සංචාරය වර්ණවත් කළ අතර කාන්සිය මකා දැමීය. එහිදී රුසියානු ජාතික පෙම් යුවලකගේ ෆොටෝ ෂූට් එකක් එහෙම පිටින්ම නොමිලයේ කරදෙන්නට අපේ කට්ටිය මහත් තරගයකට වැද සිටිනු පෙනිණි. හපුතලේට පැමිණීමෙන් පසු අපගේ කණ්ඩායම නැවත හල්දුම්මුල්ල ඖෂධ වන උයනේ ගතකරන අවසන් වින්දනීය රාත්‍රියට එකතු වූයේ මතකයේ රැඳුණු “ඉදල්ගස්හින්න” තුන්දින චාරිකාව නිමාවට පත්කරමිනි.

(කැලණිය ඡායාරූප සහ කලා සංගමයට, කිරිබත්ගොඩ “ලක්සේයා කලර් ලැබ්” අධිපති නිමල් උඳුගොඩ මහතාට, පාලිත හපුආරච්චි මහතාට සහ දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලවලට හල්දුම්මුල්ල ඔසු උයනේ අධීක්ෂණ වෛද්‍ය නිලධාරිනි අනෝමා පුෂ්පරානී මහත්මියට, එම නේවාසිකාගාර භාරකාර ඩබ්ලිව්. එම්. කීර්ති විමල බණ්ඩාර විජේකෝන් මහතා සහ එම සහායක පී.සෙල්වකුමාර, සංචාරක බංගලා භාරකරු එම්. සී. ජයවර්ධන, එම සහායක චන්ද්‍රිකා, උද්‍යාන කොන්දොස්තර නන්දකුමාර, මාලනී ඇතුළු අපට සහාය දැක්වූ සියලු කාර්ය මණ්ඩලයට ස්තූතියි.)

දුම්රියෙන් නානුඔය – පට්ටිපොළට ප්‍රදේශයට මෙන්ම ඇල්ල – දෙමෝදර – හාලිඇල – බදුල්ල ප්‍රදේශවලට ගොස් කළ තවත් අපූරු පාරිසරික සංචාරයකට යන්නට පෙර “අමතක නොවන කඩුගන්නාව” තේමාව යටතේ අප තරණය කළ “අලගල්ලේ අසිරිය” මීළඟට සොයා යමු.

සැරිසර –
ජගත් කණහැරආරච්චි
තෙවැනි ඇස –
කැලණිය ඡායාරූප සහ කලා සංගමය
“සංචාරේ” අනුග්‍රහය –
Lakseya Colour Lab –

advertistmentadvertistment
advertistmentadvertistment