වැඩ නොකරපු නිසා මාධ්‍යයට මාව මගහැරුණා

සමහර මතකයන් බොහොම තාවකාලිකයි. ඒත් හිතට දැනෙන දෙයක මතකය සදාකාලිකයි. සරෝජාත් ඒ වගේ චරිතයක්. අවුරුදු විසිහතරකට පස්සෙ අද නැවතත් ඇය ගැන බොහෝ දෙනෙක් කතා වෙනව. අද අපේ කතානායිකාව වෙන්නෙ වෛද්‍ය නිත්‍යවානි කන්දසාමි.

සරෝජාට රඟපානකොට මට අවුරුදු හතයි - නිත්‍යවානි කන්දසාමි

එදා පුංචි සරෝජා අද වෛද්‍යවරියක්?

ඔව්” එදා ‘සරෝජා. චිත්‍රපටයේ සරෝජනීගේ චරිතය මම නිරූපණය කළේ. අද වන විට මම වෛද්‍යවරියක් හැටියට සේවය කරනවා. පත්වීම ලැබිල දැනට වසර එකහමාරක් පමණ වෙනවා. මුලින්ම සේවය කරන්න ලැබුණෙ කළුතර” නාගොඩ ශික්ෂණ රෝහලේ. එහි වසරක සේවා කාලයකින් පස්සෙ ස්ථාන මාරුවක් ලැබිල දැන් ගම්පොල රෝහලේ සේවය කරනවා.

සරෝජාගේ මතකය අවදි කළොත්?

මම සරෝජාගේ චරිතය රඟපෑවෙ 2000 වර්ෂයේදී. ඒ වන විට මට වයස අවුරුදු හතයි. සරෝජා, පුංචි සුරංගනාවී සහ ‘සුදු කපුරු පෙති’ ටෙලි නාට්‍යයට පමණයි මට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණෙ. නමුත් බොහෝ දෙනකුගේ මතකයේ තවමත් ඒ චරිත රැඳිල තියෙන එක ගැන සතුටුයි.

සරෝජාට රඟපානකොට මට අවුරුදු හතයි - නිත්‍යවානි කන්දසාමි

රෝහලේදි මොන වගේ ප්‍රතිචාරයක්ද තියෙන්නෙ?

ඉස්සර ගොඩක් අය මාව හඳුනාගත්තාට දැන් එහෙම හඳුනාගන්න අපහසුයිනෙ.

ඒ වුණත් එක්කෙනෙක් කොහොම හරි දැනගත්තාම හැමෝම දැනගන්නව. ඒ වෙලාවට ඉතිං ගොඩක් අය කතාබහ කරනව. ගම්පොලට එන්න කලින්ම ගොඩක් දෙනෙක් දැනගෙන මම එනව කියල.

සරෝජාට රඟපානකොට මට අවුරුදු හතයි - නිත්‍යවානි කන්දසාමි

නිත්‍යවානිගෙ තොරතුරු ටිකක් කියමු?

මගේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි. මම ඉපදුණේ කොළඹ. පළමු වසරේ පටන් උසස් පෙළ දක්වා පාසල් ගියේ හින්දු බාලිකා විද්‍යාලයට. ඉන්පසුව වැඩිදුර අධ්‍යාපනය සඳහා කොතලාවල අරක්‍ෂක විද්‍යාපීඨයට ඇතුළත් වුණා.

අද සැබෑ වෙලා තියෙන්නෙ ඔබේ හීනයක්ද?

ඇත්තටම පොඩිකාලෙ නම් එහෙම ලොකු හීනයක් තිබුණෙ නැහැ. නමුත් දැනුම් තේරුම් තියෙන වයසට එනකොට විද්‍යාව පැත්තෙන් දක්‍ෂතාවක් තියෙන බව දැනෙනකොට බයෝලොජි කරන්න ආසාවක් ඇති වුණා. ඒකත් එක්ක තමයි අද මේ ඉන්න තැනට ආවෙ.

සරෝජාට රඟපානකොට මට අවුරුදු හතයි - නිත්‍යවානි කන්දසාමි

දැන් පදිංචිය ගම්පොලමද?

නැහැ. මේ රෝහලේ මට අවුරුදු දෙකක් විතර ඉන්න වෙනව ස්ථාන මාරුවක් ගන්න. ඒ නිසා නිවාඩු දවසට ගෙදර යනව.

ඔබ දැන් විවාහකයි?

ඔව්, මම දැන් විවාහකයි. මහත්තයා බැංකු නිලධාරියෙක්.

සෝමරත්න දිසානායක” රේණුකා බාලසූරිය” ඔවුන්ගේ නිර්මාණයකට නැවත කතා කළේ නැද්ද?

චිත්‍රපටයකට කතා කළේ නැහැ. නමුත් ඉඳහිට කතාබහ කරනව.

ඔබ නිවේදිකාවක් හැටියටත් කටයුතු කළා?

සිරස ටීවී එකේ විකාශය වුණ පුංචි පැංචි ළමා වැඩසටහන වගේම එහි සහෝදර නාළිකාව වන ශක්ති ටීවී එකෙනුත් දමිළ ළමයින්ට වැඩසටහනක් විකාශය වුණා. කාලයක් එහි නිවේදන කටයුතු කළා. ඉන් පස්සෙ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුවියක් හැටියට ඉන්න කාලෙ වසන්තම් ටීවී එකේ වෛද්‍ය වැඩසටහන් මෙහෙයවීම සිදු කළා.

නැවත රඟපාන්න කැමැත්තක් නැද්ද?

රංගනයට මම ආසයි. ආරාධනයක් ලැබුණොත් සලකා බලනව.

දැන් මොනවද ඔබේ විනෝදාංශ?

මගේ වෘත්තියත් එක්ක රාත්‍රි වැඩමුරත් කරන්න තියෙනව. බොහෝ වෙලාවට විවේක කාලය අඩුයි. එහෙම වෙලාවක් ලැබුණොත් චිත්‍රපට බලනව.

මෑත කාලීනව තිරගත වන චිත්‍රපට බලනවද?

ගොඩක් වෙලාවට මම දමිළ චිත්‍රපට බලනව. නමුත් චිත්‍රපට ශාලාවකට ගිහින් බලන්න කාලවේලාව නැති නිසා ටීවී එකෙන් තමයි බලන්නෙ. සිංහල චිත්‍රපට ගත්තාම ජනප්‍රිය වෙන ඒවා බලනව.

සරෝජා චිත්‍රපටයේ එකට රඟපෑ ප්‍රමුදි දැන් කතා කරන්නෙ නැද්ද?

නිතර මුණගැහෙන්නෙ නැහැ. නමුත් ඇය මට කතා කරනව. මගේ විවාහ උත්සවයටත් ඇය ආවා.

නිවේදනයට ආරාධනයක් ලැබුණොත්?

දැන් ගම්පොල ඉන්න නිසා නිතර කොළඹ යන්න එන්න අපහසුයිනෙ. විවේකයක් තියෙන දවසට තියෙන දේකට නම් මට සහභාගි වෙන්න පුළුවන්. දෙතැනක වැඩකරන්න බැහැ මේ වෘත්තියත් එක්ක. එකක් තෝරාගන්න සිදුවෙනව.

මේ කාර්යබහුල ජීවිතයට ඔබ කැමතිද?

ඒක මම ම තෝරාගත්ත දෙයක් නිසා ආසාවෙන්, කැමැත්තෙන් කරනව.

සමාජමාධ්‍යවලත් ඔබ ගැන කතා වුණා?

ඔව් එහෙම දෙයක් වුණා. මොකද මට පත්වීම ලැබිල අවුරුදු එකහමාරක් වුණත් බොහෝ දෙනෙක් ඒ බව දැනගත්තෙ පහුවෙලා. ඒ දැනගත්ත කාලෙ තමයි සමාජමාධ්‍යවල මං ගැන ප්‍රචාරය වුණේ.

රූපවාහිනී මාධ්‍යවලින් ආරාධනා ලැබුණාද?

රූපවාහිනී මාධ්‍යවලට වඩා ගොඩක් ආරාධනා ලැබුණෙ යූටියුබ් නාළිකාවලින් වගේම මුද්‍රිත මාධ්‍යවලින්.

කාලෙකින් මාධ්‍ය නැවතත් ඔබ ගැන කතාකරන්න පටන්අරගෙන?

ඔව්, මම කාලයක්ම නිර්මාණවලින් ඈත් වෙලා හිටපු නිසා වෙන්න ඇති මාධ්‍යයට මාව මගහැරෙන්න ඇත්තෙ. දැන් නැවතත් ඔවුන් බොහොම සුහදව මට කතාකරනව. ඇත්තටම සතුටුයි ඒ ගැන.

නිත්‍යවානිට සරෝජා මුණගැහුණ තැනට නැවතත් ගියොත්?

මට කලා ක්‍ෂේත්‍රයේ සම්බන්ධයක් නැහැ. එදා මගේ පාසලට ඇවිත් ඔඩිෂන් එකක් තියල තමයි මාව සරෝජාට තෝරාගන්නෙ.

ඒ චරිතය සම්මානයට පාත්‍ර වුණා?

ජනාධිපති සම්මාන තුනක්, පුංචි සුරංගනාවි චිත්‍රපටයේ චරිතයට සරසවි සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය හිමි වුණා. මේ චිත්‍රපට විදේශීය සිනමා උළෙලවලට ඉදිරිපත් කිරීමෙන් සම්මාන කිහිපයක්ම ලැබිල තියෙනව වගේම ඒ අවස්ථාවන්ට සහභාගී වෙන්නත් මට අවස්ථාව ලැබුණා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment