දෙවියන්ගෙන්ආශිර්වාද ලැබ සමාජයේ ගැරහුම් ලබන ප්‍රජාවක්

ශ්‍රී ලංකාවේ ජීවත් වන LGB TQ + ප්‍රජාවගේ සිවිල් සහ දේශපාලනික අයිතිවාසිකම් සම්බන්ධයෙන් Equite Sri Lanka ආයතනය සහ සමාජ විද්‍යාඥයන්ගේ සංගමය විසින් සිදු කරනු ලැබූ පර්යේෂණ වාර්තාවක් පසුගියදා එළිදක්වන ලදී. එමෙන්ම ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම මගින් සමරිසිභාවය නිර් අපරාධීකරණය කිරීමට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ද මේ වනවිට Equre Sri Lanka ආයතනය ප්‍රමුඛ මැදිහත්වීමක් සිදු කරනු ලබයි. අදින් ඇරැඹෙන මේ ලිපි පෙළ තුළින් LGBTQT ප්‍රජාව සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණා සාකච්ඡාවට ලක් කරන්නේය.

ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වරින්වර වාර්තා වන LGBTQI ප්‍රජාවට සිදුවන අඩත්තේට්ටම්, මානව හිමිකම් උල්ලංඝනයවීම්, දිවිනසා ගැනීම් සහ ඝාතනය කිරීම් දෙස විමර්ශනාත්මකව බලන කල LGBTQI ප්‍රජාව පිළිබඳ ලංකාවේ බොහෝදෙනකු දක්වන ආකල්පය අවබෝධ කරගත හැකිය.

බොහෝදෙනකු පෙන්වා දෙන්නේ මෙම ප්‍රජාව ශ්‍රී ලංකාවේ සංස්කෘතියට පටහැනිව ක්‍රියා කරන කණ්ඩායමක් ලෙසය. එමෙන්ම එම ප්‍රජාව දෙස අවධානය යොමු කරන්නේ “අසභ්‍ය” යැයි වර්ගීකරණය කරන තැනක හිඳ ය. විශේෂයෙන්ම සිහිතබා ගත යුතු කාරණයක් වන්නේ රාජ්‍ය පාලනයට හෝ සමාජයට හානියක් නොවන තාක් කල්, වෙනත් අයකුගේ ලිංගික ජීවිතයකට ඇඟිලි ගැසීම, ශ්‍රී ලංකාවට ආවේණික සංස්කෘතියක් නොවන බවය.

නිදහස් අදහස් තිබුණු ඉන්දියාව

නමුත් සත්‍ය ලෙසම මෙම විරෝධය ආරම්භ වූයේ බටහිර ආක්‍රමණවලින් පසුව බවට ඉතිහාසය සාක්ෂි දරයි. මන්ද, ශ්‍රී ලංකාවේ ඊට පෙර තිබූණේ නිදහස් හා විවෘත සංස්කෘතියකි. බොහෝ විට එයට හේතු වන්නට ඇත්තේ, ලිංගිකත්වය සම්බන්ධයෙන් බොහෝ නිදහස් මතවාද තිබූ ඉන්දියාව වැනි රටක ආභාසය ලැබීමය. වාත්ස්‍යානය විසින් රචනා කරන ලද කාමසූත්‍ර වැනි ලෝක ප්‍රසිද්ධ ග්‍රන්ථ මෙන්ම, සුප්‍රකට මහබලිපුරම්, කජිරාවෝ, අජන්තා ලෙන් වැනි පූජනීය ස්ථාන නිරීක්ෂණය කිරීමෙන් ඉන්දියාවේ නිදහස් චින්තනය පිළිබඳ අවබෝධ කරගත හැකිය.

හින්දු නීතියේ පදනම් කෘතිය වන මනුස්මෘතියේ “තුන්වන ලිංගිකත්වය” පිළිබඳ සඳහන් වන අතර, එවැන්නන් සාම්ප්‍රදායික නොවන ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රකාශ කිරීම හා සමරිසි ක්‍රියාකාරකම්වල නිරත විය හැකි බව ද සඳහන් කර ඇත. කාමසූත්‍රයෙහි සමරිසි පුද්ගලයන් හට සිදු කළ හැකි ලිංගික ඉරියව් පවා විස්තර කර ඇත. කාමසූත්‍රයට අනුව එකල පටන්ම සමරිසි පුද්ගලයන් ද විවාහ වූ බව පැහැදිලි කරගත හැකිය. ඒ සඳහා “තුන්වන ලිංගික පුරවැසියන් ද ඇත, සමහර විට එකිනෙකා සමඟ බොහෝ සෙයින් බැඳී සිටින අතර, එකිනෙකා කෙරෙහි පූර්ණ විශ්වාසයකින් යුතුව විවාහ වන අය ද සිටිති.

(කාමසූත්‍රය 2.9.36) මෙම උපුටා දැක්වීම නිදසුනක් වේ.

මෙම ලිපියෙන් ආවරණය වන ශ්‍රී ලංකාවේ LGBTQI ප්‍රජාවගේ ඉතිහාසය ක්‍රි.පූ. 300 න් ද සියවස් කිහිපයක් පෙරට දිවයයි. පුරාණයේ පැවැති සමරිසි සබඳතා පිළිබඳ ශ්‍රී ලාංකිකයන්ගේ අදහස්, රජවරුන් සහ රාජ සභා අතර තිබූ සමරිසි සබඳතා පිළිබඳ වාර්තා ඇතුළු පුරාවිද්‍යාත්මක සාධක කිහිපයක් ඒ සඳහා නිදසුන් කොට පෙන්වා දිය හැකිය.

හනුමා දුටු සමරිසි යුවළ

නෝක්ස් දැක්ක වංශවත් කුලයේ මානවකයෝ

හින්දු ආගම සහ බුදු දහම LGBTQI පුද්ගලයන්ට විරෝධතාවක් හෝ අපහාසයක් නොකළ අතර, එම නිසාම ලංකාවේ පැරණි සමාජවල LGBTQI ප්‍රජාව පිළිබඳ විශාල පිළිගැනීමක් තිබුණි. ලෝක සාහිත්‍යයේ විශාලතම පුරාණ වීර කාව්‍යයන් අතුරින් එකක් වන ශ්‍රීමද් වාල්මිකී විසින් රචනා කරන ලද රාමායණයේ විස්තර කරන්නේ හනුමන්තා සීතාව සොයා යන ගමනේ දී ලංකා දූපතේ අන්තඃපුරයක සමරිසි කාන්තාවන් දුටු බවයි.

බෞද්ධ භික්ෂූන් කෙරෙහි පනවනු ලැබූ නීති අන්තර්ගත වන විනය පිටකයෙහි ද සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී ලක්ෂණ සහිත පුද්ගලයන් පිළිබඳව පණ්ඩක, උභතෝබ්‍යඤ්ජනක යනාදී නම්වලින් සඳහන්ව ඇත. ත්‍රිපිටකයේ සමරිසි සබඳතා පිළිබඳව සහ සංක්‍රාන්ති සමාජභාවය පිළිබඳව සඳහන් කිරීම් අඩංගු වේ. නිදසුනක් වශයෙන්, බුදුන් කෙරෙහි ඇති දැඩි ආකර්ෂණය නිසා පැවිදි වූ වක්කලි නම් සමරිසි භික්ෂුව පිළිබඳව හා පුරුෂයෙක් කාන්තාවක් බවට පත්වී වෙනත් පුරුෂයකු සමඟ විවාහ වූ සිද්ධියක් එහි සඳහන්ව තිබේ. ඒ සංක්‍රාන්ති සමාජභාවී කාන්තාවකගේ විවාහයක් පිළිබඳ සඳහන් වන පැරණිම ලාංකීය ලියැවිල්ලයි.

බෞද්ධ සාහිත්‍යයයේ කියැවෙන දේ

ක්‍රිස්තු වර්ෂ 14 වැනි සියවසේ දී සාමාන්‍ය ජනයා සඳහා වෙනුවෙන් රචනා කරන ලද මාර්ගෝපදේශයක් වන උපාසකජනාලංකාරයෙහි ද එහි ලිංගික විෂමාචාර ලැයිස්තුවේ සමරිසි සබඳතා, අපරාධයක් ලෙස සඳහන් කර නැත.

බෞද්ධ සාහිත්‍යයේ ද සමරිසි පුද්ගලයන් සහ සමරිසි සබඳතා පිළිබඳ සඳහන්ව තිබේ. පාලි ධම්මපදට්ඨ කතාවේ සෝරෙයිය සිටාණන්ගේ කථා වස්තුවේ දැක්වෙන්නේ සමරිසි පුද්ගලයෙක් සම්බන්ධවය. රහත් භික්ෂුවක් හා විවාහ වීමට’ සෝරෙයිය සිටාණන්ගේ පුත්‍රයාට රාගී සිතුවිල්ලක් පහළ වූ බවත් ඔහු එතැන් පටන් කාන්තාවක් වූ බවත් එහි සඳහන් කර ඇත.

අනුරාධපුර යුගයේ දී බුද්ධඝෝෂ හිමි විසින් රචනා කළ මහාවංශයේ, ලිංගික සුළුතරයන් ගැන සඳහන්ය. ක්‍රිස්තු වර්ෂ 5 වැනි සියවසේ කුමාරදාස රජු සහ කාලිදාස කවියා අතර පැවැති සමීප සබඳතාවක් පිළිබඳ මහාවංශය සාකච්ඡා කරයි. ඔවුන් දෙදෙනා ද්වීරිසි පුද්ගලයන් බවට හැඟවෙන තොරතුරු එහි සඳහන් කර ඇත. චූලවංශ සාහිත්‍යය වැනි විවිධ කාව්‍ය හා සාහිත්‍ය තුළ ද සමරිසි සබඳතා ගණනාවක් පිළිබඳ සාකච්ඡා කර ඇත

8 වන සහ 10 වන සියවස් අතර පල්ලව ගෘහ නිර්මාණ ශෛලියට අනුව මාතලේ ඉදිකරන ලද නාලන්දා ගෙඩිගේ බෞද්ධයන් විසින් භාවිත කරන ලද්දකි. එහි ඇතැම් ප්‍රතිමා, කැටයම්වල නිරූපණය වන්නේ සමරිසි පුද්ගලයන් තිදෙනකුගේ සමීප සබඳතාවයන්ය. යටත්විජිත සමයේ යටපත් වී ගිය LGBTQI ප්‍රජාවගේ නිදහස යටත්විජිත සමය තෙක් ශ්‍රී ලංකාවට LGBTQI ප්‍රජාව සම්බන්ධයෙන් නීතිමය සීමාවන් නොතිබුණි.

පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණිකයන් විසින් ශ්‍රී ලංකාවේ LGBTQI ප්‍රජාව පිළිබඳ යටත්විජිත ලිපි වාර්තාවල සටහන් කර ඇති අතර, ඒවා සියල්ලම පාහේ LGBTQI ප්‍රජාවට විරුද්ධව තැබූ සටහන් ය.

1547 පෘතුගාලයේ ඩී. ජොආඔ ද කැස්ත්‍රෝ ( Joao de Castro ) ලංකාවේ සමරිසි සබඳතා පිළිබඳ’ විස්තර කර ඇති අතර 1798 දී ලන්දේසි සංචාරකයකු වන ජොහාන් ස්ටාවොරිනස් ද “නැඟෙනහිර ඉන්දීය කොදෙව්”හි සමරිසි සබඳතා පිළිබඳ විස්තර කර ඇත. ඔහුගේ එම සංචාරයට ලංකා ගමන ද ඇතුළත්ය.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරාම සමරිසිභාවය පිළිබඳ සාක්ෂි බොහොමයකි. 1547 නොවැම්බර් 27 වැනිදා කෝට්ටේ රාජධානියේ විසූ හත්වන බුවනෙකබාහු රජු පිළිබඳ, එවක පෘතුගීසීන් ගෝවේ නගරයේ සිටි ඩී. ජොආඔ ද කැස්ත්‍රෝ (Joao de Castro) ආණ්ඩුකාරවරයාට ලිපියක් යොමුකර ඇත. “සමලිංගික පව කෝට්ටේ රාජධානිය පුරා පැතිර ඇති අතර එහි ජීවත්වන්නට අපිට දැනෙන්නේ බයකි. රාජධානියේ වෙසෙන වැදගත් නායකයකු වෙත ගොස් මෙවැනි ක්‍රියාවන් ගැන ලැජ්ජා නොවන්නේ මන්දැයි විමසූ විට රජු පවා එවැනි පාපයන්හි නිරත වන බවට දැනගැනීමට ලැබුණු බව පෘතුගීසීන් වාර්තා තබා ඇත.” හත්වන බුවනෙකබාහු රජු සමරිසි පුද්ගලයෙක් ලෙස ඔවුන් හැඳින්වුවද ඔහු ද්වීරිසි පුද්ගලයෙක් ලෙස අනුමාන කළ හැකිය. මන්ද ඔහු විවාහකයෙක් බව ද සඳහන් වේ. එමෙන්ම වසර විස්සකටත් වඩා ලංකාවේ ජීවත් වූ රොබට් නොක්ස්ගේ සිලෝන් දූපතේ ඓතිහාසික සබඳතා නමැති ලියැවිල්ලේ 1681 දී රට පාලනය කළ සමරිසි රජතුමකු පිළිබඳ සඳහන් කර ඇත. ඔහු සඳහන් කරන පරිදි රජුගේ උපස්ථායකයන්ගෙන් වැඩිදෙනෙක් පිරිමි ළමයින් සහ තරුණයන් වන අතර, ඔවුන් වංශවත් හා කුලවත්වූවන් ය. රජුට එවැනි තරුණයන් සොයාගැනීම සඳහා ඔහු තම දිසාවේ හෝ රටවල ආණ්ඩුකාරවරුන්ට විනීත හා හොඳ සම්භවයක් ඇති පිරිමි ළමයින් තෝරාගෙන රජ මාලිගයට එවන ලෙස නියෝග කර ඇත.

1886 ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහය 365 වගන්තිය සහ 365 වගන්තිය යටතේ ශ්‍රී ලංකාව තුළ සමරිසි ලිංගික ක්‍රියා අපරාධයක් බවට පත්කළ අතර බ්‍රිතාන්‍යයන් ඉන්දියානු දණ්ඩ නීති සංග්‍රහය ක්‍රියාවට නංවා 377 (දැන් ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය) දිවයිනට ක්‍රියාත්මක කිරීමට රට තුළ පැතිර තිබූ සමරිසි සබඳතා පිළිබඳ භීතිකාව ඒ සඳහා ප්‍රධාන මූලාශ්‍රය විය.

ශ්‍රී ලංකාවේ LGBTQI ප්‍රජාව හා ඉතිහාසය පිළිබඳ වඩාත්ම නිවැරැදි කියවීමක් NBC News වෙත Flamer Calder විසින් සඳහන් කරනු ලැබ ඇත. එම උපුටා දැක්වීම මෙම ලිපිය අවසන් කිරීමට වඩාත් සුදුසු බව අපි විශ්වාස කරමු.

“ඛඨඊඔ උපසංස්කෘතිය බටහිර රටවලින් මෙරටට පැමිණි දෙයක් බව අපි කෑගසමු. නමුත් ඇත්ත වශයෙන්ම සිදු වී ඇත්තේ බටහිර රටවල් අප රට තුළ නිදහස්ව ජීවත් වූ එම ප්‍රජාවට විරුද්ධව නීති සම්පාදනය කිරීමයි.”

සෝබා කෝලියවංශ

advertistmentadvertistment
advertistmentadvertistment