ඍණ ආර්ථිකයකින් ධන ආර්ථිකයකට

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කරන ලද නොයෙකුත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හමුවේ විශාල බඩු මිල වැඩි වීමකට සහ බදු බරකට මුහුණදීමට අතිමහත් සාමාන්‍ය ජනයාට සිදුව ඇත. එසේම විශාල විදුලි ගාස්තු වැඩි වීමකට ද අප රටේ ජනයා මෙන්ම කර්මාන්ත ව්‍යාපාර යනාදියට ද මුහුණ දීමට සිදුව ඇත. මේ තත්ත්වයන් සාමාන්‍ය ජනයාගේ ජනජීවිතයට පමණක් නොව ව්‍යාපාර ආයතනවලට මෙන්ම කර්මාන්තවලට ද ඔවුන්ගේ පිරිවැය වැඩි වීමට බලපාන කාරණයකි. මේ ව්‍යාපාර හා කර්මාන්තවලට මේ පිරිවැය වැඩිවීම් හමුවේ තම මිල ගණන් වැඩි කළ හැකිය. එහෙත් ඒ සමගම ඔවුන් නිපදවන භාණ්ඩ හා සේවාවල ඉල්ලුම අඩු වීමකට මෙන්ම වැඩි තරගකාරිත්වයකට මුහුණ දීමකට ද ඔවුන්ට සිදුවනු ඇත. මෙය රටේ ආර්ථික ක්‍රියාකාරීත්වයේ වර්ධනයට ද අහිතකර බලපෑම් ඇති කරන කරුණකි. අප මේ සිටින්නේ ඍණ ආර්ථිකයකින් ධන ආර්ථිකයකට පරිවර්තනය වෙමින් සිටින අවස්ථාවකය. මේ අනුව ගිය වසරේ (2023) තුන්වන කාර්තුව වන විට සියයට 1.6 ක් ධන ආර්ථික වර්ධනයක් වාර්තා කිරීමට අප සමත්ව ඇති අතර මේ වසරේ (2024) සමස්ත ආර්ථික වර්ධනය ධන අගයක් වාර්තා කරනු ඇති බව අපේක්ෂා කෙරේ.

උද්ධමනය අඩු වීම

වැඩිවුණු බඩු මිල අඩු කරන්න බෑ

උද්ධනමනය අඩු වූ විට බඩු මිල අඩු වී නොමැති බවට බොහෝ දෙනෙක් මැසිවිලි නඟනු පෙනේ. එය සත්‍යයකි. උද්ධමනය අඩු වූවාට බඩු මිල අඩු වන්නේ නැත. එසේම ආර්ථිකය හොඳ තත්ත්වයට පත් වූ පසුව බඩු මිල අඩුවේද යන්න තවත් ඇතැම් අය විමසන කරුණකි. එහෙත් මෙහිදී මහජනයා වෙනුවෙන් අප විමසන ප්‍රශ්නය වන්නේ වැඩි වූ බඩු මිල අඩු කරන්න පුළුවන් ද යන්නයි. මෙහිදී අප බඩු මිල වශයෙන් අදහස් කරන්නේ කිසියම් භාණ්ඩයක දෙකක හෝ භාණ්ඩ කිහිපයක මිල ගණන් නොව පොදුවේ රටේ සමස්ත මිල මට්ටම පිළිබඳවයි. ඒ සම්බන්ධයෙන් නම් අපට කීමට සිදුවන්නේ වැඩි වූ බඩු මිල අඩු කිරීම ප්‍රායෝගිකව ඉතාම දුෂ්කර අපහසු කරුණක් බවයි. යම් යම් භාණ්ඩ හා සේවාවල මිල ගණන් විටින් විට අඩුවැඩි විය හැකිය. එසේම තෙල් මිල සහ ගෑස් මිල වැනි රජය තීරණය කරන පරිපාලන මිල ගණන් ඒවා ගණනය කරන ක්‍රමවේදය, සූත්‍රය යනාදිය මත අඩු වැඩි විය හැකිය. එය දැනටමත් සිදුවෙමින් පවතී. එහෙත් ඒ නිසා රටේ බඩු මිල වැඩි වීමේ වේගය අඩු වැඩි වීමට බලපෑම් සිදුවෙන නමුත් සමස්ත මිල මට්ටමේ අඩු වීමක් සිදු නොවේ. ඒ අනුවම කිව හැක්කේ මේ දුෂ්කර ආර්ථික තත්ත්වයෙන් මිදී ආර්ථිකය ක්‍රමයෙන් හොඳ තත්ත්වයකට පත් වුව ද වැඩි වූ බඩු මිල එනම් රටේ පොදු මිල මට්ටම නම් අඩු වීමේ ඉඩක් නැති බවයි. උද්ධමනය අඩු වුවත් වැඩි වුවත් බඩු මිල වැඩි වෙමින් පවතින අතර සිදුවෙන එකම වෙනස වන්නේ බඩු මිල වැඩි වීමේ වේගය වෙනස් වීමයි. එනම් බඩු මිල වැඩි වීම සිදුවන්නේ අඩු වේගයකින් ද වැඩි වේගයකින් ද යන්නයි. මේ අනුව උද්ධමනය සියයට 70 දී සියයට 70 කින් බඩු මිල ගණන් වැඩිවෙමින් පවතින අතර උද්ධමනය සියයට 5 දක්වා අඩු වූ විට සිදු වන්නේ මිල වැඩි වීම සියයට 5 කින් එනම් පෙරට වඩා අඩු මට්ටමකින් සිදුවීමයි. කෙසේ හෝ බඩු මිල සියයට 70 ක් වැනි අධික වේගයකින් ඉහළ යන තත්ත්වය පාලනය කරගෙන එය සියයට 5 ක් වැනි අඩු මට්ටමකට පත්කර ගැනීමට හැකි වීම ද ජනයාට සහනයකි. එනම් මේ වන විට උද්ධමනය සැලකිය යුතු ලෙස අඩු වී බඩු මිල ඉහළ යෑමේ වේගය පාලනය කර ගැනීමට මහ බැංකුව සමත්ව ඇත. වැට් බද්ද සියයට 18 දක්වා වැඩි වීම නිසා ඉකුත් ජනවාරි මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය නම් සියයට 6.4 ක් දක්වා වැඩි වී ඇත. 2023 දෙසැම්බර් මස එම උද්ධමනය සියයට 4.0 ක් විය.

දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව

2023 අංක 16 දරන මහ බැංකු පනතෙහි දක්වා ඇති අවශ්‍යතාවන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 පෙබරවාරි මාසය සඳහා මුදල් ප්‍රතිපත්ති වාර්තාවක් ඉකුත් පෙබරවාරි 15 වැනිදා ප්‍රකාශයට පත් කළේය. මෙම වාර්තාවේ අන්තර්ගතය, ප්‍රධාන වශයෙන්ම 2024 ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචන වටයට අදාළ තීරණ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම්ව ඇත. විශේෂයෙන්ම ආර්ථික වර්ධනය සහ උද්ධමනයට අදාළව ඉදිරි දැක්මක් සැපයීම සඳහා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව මෙය වේ. දේශීය සහ ගෝලීය වශයෙන් දැනට පවතින මෙන්ම අපේක්ෂිත ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, උද්ධමන සහ ආර්ථික වර්ධන පුරෝකථන සඳහා පවතින අවදානම පිළිබඳව ඇගයීමක් ඉදිරිපත් කිරීම ද මෙම වාර්තාවෙන් අපේක්ෂා කරයි. මෙම වාර්තාව මගින් මෑතකාලීන මුදල් ප්‍රතිපත්ති තීරණ සඳහා මූලික වූ පසුබිම සන්නිවේදනය කිරීම තුළින් මහ බැංකුවේ විනිවිධභාවය සහ වගවීම වැඩිදියුණු කිරීමට මහ බැංකුව ප්‍රයත්න දරයි. මේ ලිපිය ලියමින් සිටින මොහොත වන විටත් මේ වාර්තාවේ ඉංග්‍රීසි පිටපත නිකුත්ව තිබුණත් ඒ වන විට සිංහල පිටපත් නිකුත්ව තිබුණේ නැත. මෙසේ මහ බැංකුව රාජ්‍ය භාෂාවන්ට වඩා සන්ධාන භාෂාවට ප්‍රමුඛත්වය දීම නිසා මේ රටේ සිංහල සහ දෙමළ යන රාජ්‍ය භාෂාවලින් මාධ්‍ය පරිශීලනය කරන අතිමහත් ජනයාට එම තොරතුරු සන්නිවේදනය වීමේ ප්‍රමාදයක් සිදුවේ.

මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ ප්‍රධාන කරුණු

2024 පෙබරවාරි මස නිකුත් කළ මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ දැක්වෙන ප්‍රධාන කරුණු කිහිපයක් අපට මෙසේ සඳහන් කළ හැකිය.

■ 2022 වසරේ දී ඉතිහාසයේ පැවති ඉහළම උද්ධමන මට්ටම් පාලනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව 2023 වසරේ දී උද්ධමනය මැදි තනි ඉලක්කමක් දක්වා සාර්ථකව අඩු කරමින් මිල ස්ථායිතාව යළි ස්ථාපිත කළේය.

■ නිරවද්‍යකරණ ගැළපුම් ප්‍රතිපත්ති සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවල සහාය ලබමින් ආර්ථික කටයුතු 2023 වසරේ දී ක්‍රමයෙන් වර්ධනයක් අත්කර ගත්තේය.

■ විදේශ අංශයේ පීඩන ලිහිල් වී, උද්ධමනය අඩු වීමත්, උද්ධමන අපේක්ෂා පාලනය වීමත් හේතුවෙන් 2023 වසරේ ජූනි මාසයේ සිට මුදල් ප්‍රතිපත්තිය අවස්ථා කිහිපයක දී ලිහිල් කරන ලදී.

■ මෑතකාලීනව සිදු කළ බදු සංශෝධන සහ සැපයුම් අංශයේ අවහිරතා මූලිකව හේතුකොටගෙන, කෙටිකාලීනව උද්ධමනය එහි ඉලක්කගත මට්ටමෙන් අපගමනය විය හැකි වුවද, එවැනි බලපෑම් තාවකාලික වනු ඇත.

■ මැදිකාලීනව උද්ධමනය එහි ඉලක්කගත මට්ටම වන සියයට 5ක (වාර්ෂික ලක්ෂ්‍යමය) මට්ටම ආසන්නයේ ස්ථාවර වනු ඇතැයි පුරෝකථනය කෙරේ.

■ වාර්ෂික ආර්ථික වර්ධනය 2024 වසරේ දී ධනාත්මක වනු ඇතැයි සහ මැදිකාලීනව එහි විභව මට්ටමට ළඟා වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අනුව බදු වැඩි කිරීම් නිසා අපේක්ෂිත මට්ටම ඉක්මවා ජනවාරි මාසයේ සියයට 6.4 ක මට්ටමට උද්ධමනය වර්ධනය වුවත් මැදිකාලයේ දී උද්ධමනය එහි ඉලක්කගත මට්ටම වන සියයට 5ක මට්ටම ආසන්නයේ ස්ථාවර වනු ඇතැයි මහා බැංකුව පවසයි. මේ නිසා මහජනතාවට කිව යුත්තේ වැඩි වූ බඩු මිල අඩු නොවනු ඇති බව සහ ඇත්ත වශයෙන්ම වනු ඇත්තේ තවදුරටත් බඩු මිල වැඩි වීමේ වේගය සියයට 5 ක් වැනි සාමාන්‍ය මට්ටමක ස්ථාවර වීම බවයි. මේ නිසා මහජනයා වඩාත් උත්සාහගත යුත්තේ දුෂ්කර වුවත් තම ආදායම් මට්ටම් වැඩිකර ගැනීමටය. සාමාන්‍ය රැකියා කරන මාසික වැටුප් ලබන ජනයාට නම් මෙය තමන්ටම කරගත හැකි දෙයක් නොවේ. මින් පුද්ගලික අංශයේ ආයතනවල සේවක වැටුප් වැඩි වීම් පසුගිය කාලයේ යම් යම් මට්ටම්වලින් සිදුව තිබුණත් එය පසුගිය කාලයේ දී අප රටේ සිදු වූ අධික බඩු මිල වැඩි වීම්වලට සාපේක්ෂව නම් සොච්චමකි. මේ නිසා අති විශාල බඩු මිල පීඩනයකට සාමාන්‍ය මහජනයා මුහුණ දී සිටින අතර එම ජීවන බර සැහැල්ලු කිරීමට රජය විසින් යම් යම් පියවර ඉදිරි කාලයේ ගැනීම වැදගත්ය.

මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ සාරාංශය

මහ බැංකුව ප්‍රකාශයට පත් කළ මෙකී මුදල් ප්‍රතිපත්ති වාර්තාවේ සාරාංශය මෙසේය.

‘2022 වසරේ දී දක්නට ලැබුණු ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම උද්ධමන මට්ටම්වල සිට උද්ධමනය තනි ඉලක්කමක අගයක් දක්වා අඩු මට්ටමකට ගෙන එමින්, සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ස්ථාපනය වන මාවතක් වෙත ශ්‍රී ලංකා ආර්ථිකය 2023 වසරේ දී අවතීර්ණ විය. තවද ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් අනතුරුව, අභියෝගාත්මක ආර්ථික තත්ත්ව සහ අවිනිශ්චිතතා මධ්‍යයේ ආර්ථික ක්‍රියාකාරකම් ක්‍රමයෙන් වර්ධනය වීම ආරම්භ වූ අතර, මුදල් ප්‍රතිපත්තියෙහි හා මුදල් තත්ත්වයන්ගේ ක්‍රමානුකූලව ඇති වූ ලිහිල් වීම මෙන්ම විදේශ අංශය යථා තත්ත්වයට පත්වීම ඒ සඳහා සහාය විය.

සාර්ව ආර්ථික නිරවද්‍යකරණ ගැළපුම් ප්‍රතිපත්ති සහ අවශ්‍යව පැවති ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම දේශීය වශයෙන් මිල ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීම සඳහා සහාය සැපයූ අතර, එමගින් සමස්ත සාර්ව ආර්ථික ස්ථායීතාව වඩාත් තහවුරු විය. 2023 වසරේ පළමු භාගයේ දී දක්නට ලැබුණු වේගවත් නිරුද්ධමනයෙන් අනතුරුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය මගින් මනිනු ලබන වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය, එහි වාර්තා වූ ඉහළම උද්ධමන මට්ටමේ සිට වසරක කාලයක් තුළ දී, එනම් 2023 වසරේ සැප්තැම්බර් මාසයේ දී සියයට 1.3ක් වැනි පහළ අගයක් දක්වා අඩු විය. සැපයුම් මූලික කොටගත් සාධක සහ සංඛ්‍යානමය පදනමේ හිතකර බලපෑම ඉවත්ව යෑම හේතුවෙන් 2023 වසර අවසානය වන විට උද්ධමනය සියයට 4.0 ක් දක්වා යම් ඉහළ යෑමක් වාර්තා කළේය. කො.පා.මි.ද. පදනම් කරගත් මූලික උද්ධමනය, දුර්වලව පවතින යටි දැරි ඉල්ලුම් පීඩන පෙන්නුම් කරමින් 2023 වසර තුළදී සැලකිය යුතු ලෙස පහළ ගියේය.

මේ අතර රජය සහ අදාළ බලධාරීන් විසින් දිගුකාලීන පදනමකින් යුතු ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමත් සමග ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වූ සමස්ත සාර්ව ආර්ථික ස්ථායිතාවෙහි ප්‍රතිලාභ ලබමින් දේශීය ආර්ථිකය 2023 වසරේ දී ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වීමක් පෙන්නුම් කළේය. තවද, එවැනි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම හරහා ආර්ථිකය යළි නඟාසිටුවීම සඳහා දැක්වූ දැඩි කැපවීම ආයෝජක අපේක්ෂා වැඩිදියුණු කිරීමට උපකාරී විය. ඒ අනුව, අවිනිශ්චිතතා ඉවත්ව යෑමත් සියලු සාර්ව ආර්ථික අංශයන්ගේ දක්නට ලද වැඩිදියුණු වීමත් සමඟ, අඛණ්ඩව කාර්තු හයක් පුරා සංකෝචනය වීම් වාර්තා කළ ශ්‍රී ලංකා ආර්ථිකය 2023 වසරේ තුන්වන කාර්තුවේ දී ප්‍රසාරණයක් වාර්තා කළේය. මුදල් ප්‍රතිපත්තිය ලිහිල් වීමෙහි සහ දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල වැඩිදියුණු වීමෙහි සහාය ලබමින්, 2023 වසරේ මැද භාගයේ සිට පෞද්ගලික අංශය සඳහා සපයන ණය ප්‍රමාණයේ වර්ධනයක් දක්නට ලැබුණු අතර මෙම වර්ධනය ඉදිරි කාලපරිච්ඡේදය තුළ ද අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විදේශ අංශයේ පීඩන ලිහිල් වන අතර, උද්ධමනය අඩු මට්ටමක පැවතීම සහ උද්ධමන අපේක්ෂා පාලනය සමඟ ආර්ථිකය වඩාත් ස්ථාවර මට්ටමකට ළඟා වීම හේතුවෙන් මහ බැංකුව 2023 වසරේ දෙවන භාගයේ දී මුදල් ප්‍රතිපත්තිය අඛණ්ඩව ලිහිල් කිරීමට කටයුතු කළේය. ශීඝ්‍ර නිරුද්ධමනයකින් අනතුරුව, වර්තමානයේ දී උද්ධමනය එහි ඉලක්කගත මට්ටමට ආසන්නයේ පවතී. කෙසේ වෙතත්, 2024 ජනවාරි මාසයේ දී එකතු කළ අගය මත බදු සඳහා හඳුන්වා දුන් සංශෝධන මූලිකව හේතුකොටගෙන, උද්ධමනය එහි ඉලක්කගත මට්ටමෙන් අපගමනය වනු ඇතැයි පුරෝකථන මගින් පෙන්නුම් කෙරෙන අතර, 2024 අවසානය වන විට පමණ උද්ධමනය නැවත ඉලක්කගත මට්ටම දක්වා ගමන් කරනු ඇත. උද්ධමනයෙහි මෙම ඉහළ යෑම කෙටිකාලීන වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එමගින් මැදිකාලීනව උද්ධමනය එහි ඉලක්කගත මට්ටම වන සියයට 5 ක මට්ටමේ පවත්වාගෙන යෑම සඳහා සැලකිය යුතු බලපෑමක් ඇති නොවනු ඇත. සමස්තයක් ලෙස ගත් කල, සැපයුම් අංශයේ සාධක හේතුවෙන් කෙටිකාලීනව උද්ධමනය පුරෝකථනය කරන ලද මට්ටමට වඩා ඉහළ යෑමේ අවදානම් පවතින අතර, මැදිකාලීනව උද්ධමන පුරෝකථන සඳහා වන අවදානම් තුලනය වී පවතී.

ආර්ථික වර්ධනය කෙටිකාලීනව මන්දගාමී මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන නමුත්, ආර්ථිකය ක්‍රමයෙන් එහි විභව වර්ධන මට්ටම් කරා ළඟා වනු ඇත. අපනයන අංශය යථා තත්ත්වයට පත්වීම කෙරෙහි බලපෑම් ඇති කරන ගෝලීය අංශයේ අහිතකර ප්‍රවණතා මෙන්ම පුහුණු ශ්‍රමිකයන් විදේශ රටවලට සංක්‍රමණය වීම හේතුවෙන් ඵලදායීතාව අඩු වීම සහ ව්‍යුහාත්මක බාධා හේතුවෙන් ආර්ථික කටයුතුවලට සිදුවිය හැකි බලපෑම් මගින් කෙටිකාලීනව මෙන්ම මැදිකාලීනව මුර්ත ආර්ථික වර්ධනය පුරෝකථනය කරන ලද මට්ටමට වඩා පහළ යෑමේ අවදානමක් පවතී.

ව්‍යාපාරවලට කොවිඩ් සහ ආර්ථික අර්බුදයේ බලපෑම

අප මේ ලිපියේ මුලින් සඳහන් කළ පරිදි ව්‍යාපාර සහ කර්මාන්ත යනාදිය පවත්වාගෙන යෑමට ද රටේ පැවති පසුගිය අතිෂය දුෂ්කර ආර්ථික වාතාවරණය හේතුවී ඇත. 2018 වසර අවසානයේ මෙරට සක්‍රීයව පැවති මිලියන 1.3 වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාවෙන් 2023 මැයි වන විට සියයට 20.2 ක් ස්ථිරව හෝ තාවකාලිකව වසා දමා ඇති බව අනුව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කළ සමීක්ෂණයකට අනුව අනාවරණය වී ඇත. 2018 වසරේ සක්‍රීයව පැවති ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණයේ කෘෂිකාර්මික නොවන ආර්ථික කටයුතු කරන ව්‍යාපාර ආයතන 7813 ක් නියැඳියක් වශයෙන් ගෙන මේ සමීක්ෂණය සිදුකර ඇත. මේ සමීක්ෂණය සිදුකරනු ලැබූ කාලපරිච්ඡේදය අවසාන (2023 මැයි) වන විට සක්‍රීයව පැවතී ඇත්තේ 2018 වසර අග දී පැවති මිලියන 1.3 ක් වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන සංඛ්‍යාවෙන් සියයට 79.8 ක් බව ද එම දෙපාර්තමේන්තුව කියයි. මෙම සියයට 20.2 ක් වූ තාවකාලිකව හෝ ස්ථිරව වැසී ඇති ව්‍යාපාරවලින් වැඩිමනත් තොරතුරු ලබාගැනීම අසීරු කටයුත්තක් වුව ද, සමීක්ෂණයේදී ඒවා වසා දමන ලද වසර පිළිබඳව විමසා ඇත. ඒ අනුව වසා දමන ලද වසර පිළිබඳව තොරතුරු ලබාගැනීමට හැකි වූ ව්‍යාපාර ස්ථාන අතරින් 2019 සිට සමීක්ෂණය සිදුකෙරුණු කාලවකවානුව දක්වා එක් එක් වසර තුළ තාවකාලිකව හෝ ස්ථිරව වැසීගිය ව්‍යාපාරවල ප්‍රතිශතයන් වන්නේ 2019 වසරේ දී සියයට 9.9 ක්, 2020 වසරේ දී සියයට 33.4 ක්, 2021 වසරේ දී සියයට 27.4 ක් සහ 2022 වසරේ දී සියයට 29.3 ක් වශයෙන් බව ද එම දෙපාර්තමේන්තුව කියයි. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කෙරෙහි කොවිඩ් 19 වසංගතය සහ ආර්ථික අර්බුදයේ බලපෑම මැන බැලීම සඳහා ආයතන මට්ටමින් මේ සමීක්ෂණය 2023 මාර්තු සිට ජූනි මස දක්වා පවත්වන ලද අතර මේ ආයතන අතරට කර්මාන්ත, වෙළෙඳ හා සේවා යන සියලුම අංශවල ආයතන ඇතුළත්ව ඇත. එහෙත් මෙහිදී සැලකිය යුතු කරුණක් වන්නේ මේ කාලය තුළ අලුතින් ආරම්භ කළ ව්‍යාපාර මේ සඳහා සලකා නොමැති වීමයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment