ස්වයංක්‍රීය වර්ෂාමාන 330න් 72ක්ම අක්‍රීයයි – විගණනයෙන් හෙළි වෙයි

89

නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සඳහා අවදානම් සහිත දිස්ත්‍රික්ක 14 ක ස්වයංක්‍රීය වර්ෂාමාන 330ක් ස්ථාපිත කර තිබුණද ඉන් වර්ෂාමාන 72 ක් 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 15 වැනිදා වනවිට අක්‍රීයව පැවති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

සේවක හිඟය හා වෙනත් කරුණු හේතුවෙන් මෙකී වර්ෂාමාන පද්ධති නිසියාකාරව නඩත්තු කර නොමැති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙම වර්ෂාමාන පද්ධති ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය මගින් නඩත්තු කළ යුතු වන අතර මේ නිසා ස්වයංක්‍රීය වර්ෂාමාන පද්ධතිවල දත්ත සම්ප්‍රේෂණයට සිදුවන අවහිරතාවන්ද, නිවැරදි පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීම කෙරෙහි බලපෑම් ඇති කරන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ පිළිබඳව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ අවදානම් දිස්ත්‍රික්ක 14 පුරා ස්ථාපිත කොට ඇති වර්ෂාමානවලින් යම් සංඛ්‍යාවක් ක්‍රියාවිරහිතව පවතින අතර කෙසේ වුවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන කාලගුණ පුරෝකථන සහ ආසන්නයේ ස්ථාපනය කර ඇති වර්ෂාමාන භාවිත කර විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු කරන බවය. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව මෙම විගණන වාර්තාව නිකුත් කොට තිබුණි.
ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment