ශ්‍රී ලංකාවේ මංගල ටෙස්ට් තරගයේ ප්‍රතිවාදී දඟපන්දු යවන්නා මිය යයි

1

එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම ටෙස්ට් දඟ පන්දු යවන්නා ලෙස පිළිගැනෙන ඩෙරෙක් අන්ඩවුඩ් සිය ජීවිත ගමනට සමු දුන්නේය.

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනා ගත් තරගයේ එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා ලෙස ඩෙරෙක් අන්ඩර්වුඩ් කටයුතු කළේය.

මියයන විට 78 වැනි වියේ පසුවූ ඩෙරෙක් වසර 150කට ආසන්න එංගලන්ත ටෙස්ට් ඉතිහාසයේ මෙතෙක් බිහිවූ හොඳම ටෙස්ට් දඟපන්දු යවන්නා නාමය තවමත් රැකගෙන ඇත්තේ, ටෙස්ට් තරග 86කදී කඩුළු 297ක් දවා ගනිමිනි.

කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 25.83ක් ලෙසින් පවත්වාගෙන ඇති ඩෙරක් දවාගත් කඩුලු සංඛ්‍යාව එංගලන්තය වෙනුවෙන් දඟපන්දු යවන්නකු වාර්තා කළ වැඩිම කඩුලු සංඛ්‍යාව වේ.

ඩෙරෙක්ගේ වාර්තාව ආසන්නයට පැමිණ ඇත්තේ, ටෙස්ට් තරග 60කදී කඩුලු 255ක් දවාගත් ග්‍රැහැම් ස්වොන් පමණි.

ඩෙරෙක්ගේ ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 5 බැගින් දවාගත් අවස්ථා 17ක්ද, කඩුලු 10 බැගින් දවාගත් අවස්ථා 6ක්ද ඇතුළත්ව ඇත.

ඊට අමතරව ඩෙරෙක් එක්දින ඉනිම් 24කදී කඩුලු 32ක්ද දවා ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනා ගත් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවති තරගයේ අන්ඩර්වුඩ් ශ්‍රී ලංකා පළමු ඉනිමේදී කඩුලු 5ක් මෙන්ම, දෙවැනි ඉනිමේදී කඩුලු 3ක්ද වශයෙන් සමස්ත කඩුලු 8ක් දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

advertistmentadvertistment
advertistmentadvertistment