රුහුණ හා යාපනය විශ්වවිද්‍යාල අතර සහෝදරත්වයේ සටන සාර්ථකව නිමවේ

33

රුහුණ විශ්වවිද්‍යාලය හා යාපනය විශ්වවිද්‍යාලය අතර වාර්ෂිකව පවත්වාගෙන යනු ලබන ”සහෝදරත්වයේ සටන” ක්‍රිකට් තරගාවලිය පසුගිය මාර්තු මස 29 හා 30 යන දෙදින පුරා රුහුණ විශ්වවිද්‍යාල ක්‍රීඩා පරිශ්‍රයේදී සාර්ථකව නිමාවට පත්වන ලදී. මෙම තරගාවලිය පුරාවට විවිධ ඉසව් ඔස්සේ ක්‍රිකට් තරග පැවැත්වූ අතර එහිදී විශ්වවිද්‍යාල දෙක අතර නොයෙක් අවස්ථාවන්වලදී ජයග්‍රහණ බෙදී යන ලදී.

රුහුණ හා යාපනය විශ්වවිද්‍යාල අතර සහෝදරත්වයේ සටන සාර්ථකව නිමවේ

ජායාරූපයෙන් දැක්වෙන්නේ රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා යාපනය විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් ක්‍රිඩකයන් වෙත සුබ පැතුම් එක් කළ අවස්ථාවයි.

මෙහිදී කාන්තා හා පිරිමි මිශ්‍ර ක්‍රිකට් තරග, කාන්තා ක්‍රිකට් තරග මෙන්ම කාර්ය මණ්ඩල සාමාජිකයන් අතර ද ක්‍රිකට් තරග පවත්වනු ලැබීම ද විශේෂත්වයකි. මෙම තරගාවලිය හුදෙක්ම ජයග්‍රහණය පමණක් ඉලක්ක කරගත් තරගාවලියක් නොවූ අතර සීමා මායිම් ඉක්මවූ සහෝදරත්වය, සහයෝගීතාව, එකමුතුව හා සංහිඳියාව ඉලක්ක කරගත් තරගාවලියක් ලෙස හැඳින්විය හැකිය. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය හා ඛහජ් ඨබ්බ්ප පදනම මේ සඳහා අනුග්‍රහය දක්වන ලදී.

මෙම තරගාවලිය පිළිබඳ අදහස් දැක්වූ රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා ප්‍රකාශ කරන ලද්දේ මෙම අවස්ථාව හරහා විශ්වවිද්‍යාල අතර මිත්‍රත්වය මෙන්ම සියලුම ප්‍රජාවන් අතර අන්‍යොන්‍ය ගෞරවය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම තරගාවලිය ඉවහල් වූ බවයි. එමෙන්ම රුහුණ විශ්වවිද්‍යාලය හා යාපනය විශ්වවිද්‍යාල දෙකම සම්බන්ධ වූ මෙම අවස්ථාව’ සුවිශේෂ වූ සංධිස්ථානයක් සංකේතවත් කිරීමට සමත්වන බවයි. තවද මිත්‍රත්වයේ බැඳීම් ශක්තිමත් කරමින් අතීතයේ සිදුවූ තුවාල සුවපත් කිරීමට මෙවැනි අවස්ථාවන් ඉවහල් වන බව ද ඒ මහතා ප්‍රකාශ කරන ලදී. මේ සඳහා කැපවූ සියලුම සිසුන්ට කාර්ය මණ්ඩලයට අනුග්‍රහය දැක්වූ සියලුම අංශවලට තම හෘදයාංගම ස්තූතිය පුද කරනු ලබන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන, යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එස්. ශ්‍රිසත්කුනරාජා, රුහුණ විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සමන් චන්දන එදිරිවීර, සමාජ සංහිඳියාව පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකවරුන් වන ආචාර්ය සුරංජිත් ගුණසේකර, කේ ගජපති, බී.ආර්.එන්. සාරංග යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් ද යාපනය හා රුහුණ විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීහු රැසක් ද සහභාගී වූහ.

ඉඳුනිල් තාරුකා පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment