ස්කොට්ලන්තයේ අපරාජිත බව ශ්‍රී ලංකාව ඉදිරියේ අද ගිලිහෙයි ද

567

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම නිමිත්තෙන් සිම්බාබ්වේ හිදී පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ මූලික තරග වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (27 වැනිදා) ස්කොට්ලන්තය සමග පැවැත්වේ.

“බී” කාණ්ඩය යටතේ තරගාවලියට එකතු වූ ස්කොට්ලන්තය සහ ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ අපරාජිත බව රැකගත් කණ්ඩායම් දෙක වේ.

මීට පෙර පැවති තරගවලදී මෙම කණ්ඩායම් දෙක එක්සත් අරාබි එමිර් රාජ්‍යය, අයර්ලන්තය සහ ඕමානයට එරෙහිව ජයග්‍රහණ වාර්තා කරගෙන සිටී.

එහෙත් ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය මත ස්කොට්ලන්තයට වඩා ඉදිරියෙන් සිටින ශ්‍රී ලංකාව “බී” කාණ්ඩයේ පෙරමුණ ගෙන මෙම තරගයට සහභාගී වේ.

“බී” කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගි වූ කණ්ඩායම් 5 අතරෙන් ශ්‍රී ලංකාව, ස්කොට්ලන්තය සහ ඕමානය සුපිරි හයදෙනාගේ වටය සඳහා මේ වන විටත් සුදුසුකම් ලබා තිබේ.

මෙම කාණ්ඩයෙන් ඉවත් වූ කණ්ඩායම් වන්නේ අයර්ලන්තය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යය යි.

ශ්‍රී ලංකාව සුපිරි 6 වටය සඳහා රැගෙන ඒමට විශාල දායකත්වයක් දැක් වූ ක්‍රීඩකයන් ලෙස පෙරමුණේ සිටින දිමුත් කරුණාරත්න සහ වනිදු හසරංග අද තරඟයේදී ද තීරණාත්මක ක්‍රීඩකයන් ලෙස නම් කළ හැක.

වනිදු හසරංග පසුගිය තරඟ තුනේ දී පමණක් කඩුලු 16 ක් ලබා ගැනීමට සමත්ව සිටින අතර එම තරඟ තුනේදී අඛණ්ඩව කඩුලු පහේ සීමාව ඉක්මවා ගිය ඔහු එවැනි දස්කමක් කළ ලොව පළමු දඟ පන්දු යවන්නා බවට ද ඉතිහාසයට එක් වූයේය.

එසේම ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ චරිත් අසලංක, සධීර සමරවික්‍රම, පැතුම් නිශ්ශංක ද ලකුණු අතර සිටින ක්‍රීඩකයෝ වෙති.

ස්කොට්ලන්ත කණ්ඩායම මේ තරගාවලියේ දී සැලකිය යුතු දස්කම් දක්වා තිබෙන කණ්ඩායමකි. විශේෂයෙන් අයර්ලන්තයට එරෙහිව ජයග්‍රහණය ලැබීම ඔවුන්ගේ හැකියාවන් පෙන්නුම් කරන එක් අවස්ථාවක් වේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර මීට පෙර පැවති තරඟ තුනේම ජයග්‍රහණය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment