කුරුන්දි නඩුවට අදාළව තීන්දු දුන් මුලතිව් මහෙස්ත්‍රාත් ගැන ජානිපෙ මන්ත්‍රී පරීක්‍ෂණයක් ඉල්ලයි

452

කුරුන්දි නඩුවට අදාළව මුලතිව් මහෙස්ත්‍රාත්වරයාගේ පක්ෂග්‍රාහී සහ අපරික්ෂාකාරී ක්‍රියාකලාපය හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බැවින් ඔහු සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන මෙන් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ඊයේ (21 දා) අධිකරණ සේවා කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් කළේය.

එතෙක් මුලතිව් මහෙස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා කුරුන්දි විහාරයේ නඩු කටයුත්තෙන් ඉවත් කොට වෙනත් විනිසුරුවරයකු යටතට එම නඩුව පත් කරන ලෙස ද එම ලිපියෙන් ඉල්ලා තිබේ.

අධිකරණ සේවා කොමිසමේ ලේකම් දිසා විනිසුරු සංජීව සෝමරත්න මහතා වෙත මෙම ලිපිය භාර දුන් අතර එම ලිපියෙහි චෝදනාවට ලක්ව ඇති මහෙස්ත්‍රාත්වරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් අධිකරණ පද්ධතිය පිළිබඳව මහජන විශ්වාසය බිඳ වැටීම මෙන්ම ඒ තුළින් ජාතිවාදී ආගම්වාදී බෙදුම්වාදී ගැටුම් ඇතිවීමට ඉඩ සැලසී ඇති බවද දැක්වේ. කුරුන්දි විහාරය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් වී ඇති පැමිණිලි සම්බන්ධව මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මෑතකදී ලබා දුන් නියෝග පිළිබඳව විමසා බැලීමේදී ඒවා පක්ෂපාතී බව හැඟී යන බව ද එම ලිපියේ දැක්වේ. එකී පක්ෂපාතීත්වය අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ජනතාව තුළ කළකිරීමක් ඇති කර තිබෙන බවත්, ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බවත්, ගෞරවය කෙළෙසී ඇති බවත් එහි සඳහන් වේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සිදු කරන කුරුන්දි විහාරයේ චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩා ඉවත් කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත්වරයා නියෝග කිරීම ඔහුගේ පක්ෂග්‍රාහීත්වය සනාථ කරන අවස්ථාවක් බව ද, පොංගල් උත්සවයක් පැවැත්වීමට හින්දු මූලධර්මවාදීන් එන බවට බුද්ධි අංශ වාර්තා කර තිබියදී ඒ බව මුලතිව් නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් අධිකරණයට වාර්තා කර ගැටුමක් වළක්වා ගැනීමට තීන්දුවක් ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඒ සඳහා නියෝගයක් ලබා නොදී 18 වැනිදා පොංගල් බත් ඉවීමට තීන්දුවක් දීම ගැටලුවක් බවත් ජයන්ත සමරවීර මහතා අධිකරණ සේවා කොමිසමට ලබා දුන් ලිපියෙහි සඳහන් වේ.

එකී තීන්දු හේතුවෙන් මහා ගැටුමක් ඇති වීමට ඉඩ තිබූ බවත් මෙවැනි තීන්දු මගින් අධිකරණය හෑල්ලුට ලක්වී ගෞරවයට හානි වෙන බවත් පවසන හෙතෙම මහා ජාතිවාදී ආගම්වාදී ගැටුමකට මග පෑදෙන කටයුත්තක් බවත් කියයි.
සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment