GMOA එකෙන් බලධාරීන්ගේ ඇස් ඇරවන තීරණයක්

194

වෛද්‍යවරුන් රට තුළ රඳවා තබාගැනීමට සිය සංගමය රජයට ඉදිරිපත් කළ යෝජනාවලට විසඳුම් නොලැබුණොත් හෙට (23දා) පැවැත්වෙන මධ්‍යම කාරක සභාවේදී සාම්ප්‍රදායික නොවන වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිස බලධාරීන්ගේ ඇස් ඇරවීමට තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.

වෛද්‍යවරුන් හා වෛද්‍ය වෘත්තිකයන් රට හැර යෑමෙන් සිදුව ඇති බුද්ධිගලනය හේතුවෙන් මේ වනවිට පර්යන්ත රෝහල් මෙන්ම ප්‍රධාන රෝහල්වලද සේවාවන් බරපතළ කඩා වැටීමකට ලක්ව ඇතැයි ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේය.

ළමා හෘද රෝග සම්බන්ධ ප්‍රතිකාර කරන මෙරට විශේෂඥ වෛද්‍යවරුන් 11 දෙනාගෙන් 06 දෙනකු මේ වනවිට රටින් පිටව ගොස් ඇති නිසා රෝහල් තුළ පවතින තත්ත්වය ඛේදවාචකයකින් අවසන්වීමට නියමිතව ඇතැයි පැවසූ ඒ මහතා මෙම තත්ත්වය තේරුම් ගනිමින් සිය සංගමය ඉදිරිපත් කළ යෝජනා කෙරෙහි සංවේදීවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙන්ම රජය ද වහා ක්‍රියාත්මක විය යුතු බව සඳහන් කළේය.

සෞඛ්‍ය ක්‍ෂේත්‍රය පිළිබඳව මහජනතාවට පවතින විශ්වාසය, ආරක්‍ෂා කිරීමට රජය කටයුතු කළයුතු බවත්, තමන් කිසිවිට ජනතාව පීඩාවට පත්වන තීරණ ගැනීමට බලාපොරොත්තු නොවූවත් අස්සයා පැන යාමට පෙර ඉස්තාලය වැසීමට රජය ක්‍රියාකළ යුතු බවද පැවසූ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා බලහත්කාරයෙන් වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට ක්‍රියා නොකරන ලෙස රජයට අනතුරු අඟවන බවද පැවසීය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment