ආර්ථික ඡන්දෙන් ජනතාව ජයග්‍රහණය කළ යුතුයි – එජාප සභාපති වජිර අබේවර්ධන

63

වෙන ඡන්ද ගැන කතා කරලා වැඩක් නෑ

මැතිවරණ ගැන කතා කිරීමට පෙර ආර්ථික ඡන්දයෙන් ජනතාව ජයග්‍රහණය කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (21 දා) පැවසීය.

මහජනතාවට මේ අවස්ථාවේ අවශ්‍ය ඡන්ද නොවන බවත් විදුලි බිල, ජල, ගෑස්, ඉන්ධන, අත්‍යවශ්‍ය භාණ්ඩ වැනි දේවල්වල මිල අඩුකිරීම බවද මන්ත්‍රීවරයා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (21 දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

රට බංකොලොත් වීම ගැන විවිධ පාර්ශ්ව කතා කරන බවත් එයට ජේ.වී.පී. ඇතුළු සියලු පක්‍ෂ වගකිවයුතු බවද මන්ත්‍රීවරයා කීය. දේශපාලනඥයන් පමණක් නොව මුදල් අමාත්‍යාංශය හා මහ බැංකුවද ඊට වගකිවයුතු බවද මන්ත්‍රීවරයා කීය. අවුරුදු 75 ක් රට පාලනය කළ දේශපාලකයන් රට බංකොලොත් කිරීමට වගකිවයුතු යැයි කියනවා නම් කෘෂිකර්ම, කර්මාන්ත අමාත්‍යාංශ රැසක් පාලනය කළ ජනතා විමුක්ති පෙරමුණ ඊට වගකිවයුතු බවද අබේවර්ධන මහතා කීය.

ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු 2022, 2023 වර්ෂවල මහජනතාවට හිතකර පනත් 55 ක් සම්මත කරගෙන තිබෙන බවත් තවත් පනත් 50 ක් පමණ නව තාක්‍ෂණයට ගැලපෙන ලෙස සංශෝධනය කළ යුතු බවද ඒ මහතා කීය.

ජනාධිපතිවරයා විසින් මේ වන විට අයවැය කාර්යාලයක් ස්ථාපිත කර තිබෙන බවත් රජය ආර්ථිකය හසුරුවන ආකාරය වැරදි නම් නිවැරදි වැඩපිළිවෙළ පිළිබඳව එම කාර්යාලයට තොරතුරු ඉදිරිපත් කළ හැකි බවත් කී මන්ත්‍රීවරයා මීට අමතරව දූෂණ විරෝධී පනත, මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත, මානව ත්‍රස්තවාදය ද වැළැක්විය හැකි පනත වැනි වැදගත් පනත් සම්මත වූ පනත් 55 අතර පවතින බවද කීය.

මහ බැංකු වංචාව ගැන කතා කරන බවත් අනීතික ලාභ ලබන අය පාලනය කිරීමට නීති ලංකාවේ නොමැතිවීම මහත් ගැටලුවක් බවත් ඒ මහතා කීය. IMF ණය ලබා ගැනීම සඳහා ද කොන්දේසි කිහිපයක් ඉටුකළ යුතු බවත්, එය හරියට බැංකුවකින් ණයක් ලබා ගැනීමට යාමේදී බැංකු විසින් කොන්දේසි ඉදිරිපත් කර ඒවාට එකඟවනවා නම් ණය ලබාදීම වැනි දෙයක් බවද ඒ මහතා කීය.IMF නියෝජිතයන් සැප්තැම්බර් 15 පැමිණ 27 පිටව යන බවත් ඒ වන විට ලංකාව බංකොලොත් කියන සීල් එක ගලවා දීමට කටයුතු කරනු ඇතැයිද අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment