ඥානසාර හිමියෝ උසාවියේ සිට සමාව ගනිති

4353

නඩු තීන්දුව 28 වැනිදා

තමන් වහන්සේ විසින් 2016 මාර්තු 30 වැනිදා කොළඹ දී පැවැති ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයේදී මුස්ලිම් ප්‍රජාවට යම් අපහසුතාවයක් සිදුවූයේ නම් ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටිනා බවත් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (15දා) කොළඹ මහාධිකරණය හමුවේදී විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කළහ.

2016.03.30 වැනිදා පැවැති ප්‍රසිද්ධ හමුවකදී කූරගල විහාරස්ථානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මගින් ජාතික හා ආගමික සංහිඳියාවට හානියක් සිදුකිරීමේ චෝදනාව යටතේ විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුවේ සාක්‍ෂි විභාගය ඊයේ (15 දා) අවසන් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නඩුවේ තීන්දුව ලබන මාර්තු 28 වැනිදා පැවැත්වීමට දින නියම කළේය.

නීතිඥ ඉරේෂ් සෙනවිරත්න මහතා සමඟ නීතිඥ සංජය ආරියදාස මහතා විත්තිය නියෝජනය කළේය. හිටපු ආණ්ඩුකාර අසාද් සාලි හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කළ පැමිණිලි අනුව විමර්ශන සිදුකර එම නඩුව පවරා තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment