තම පුත්‍රයාට වස පොවා පියා සියදිවි නසාගනී

156

දරුවාත් මියයයි

අගුණුකොළපැලැස්ස මුරවැසිහේන ප්‍රදේශයේ පදිංචි පියෙකු විසින් කලක සිට මානසික ආබාධයකින් පෙළෙන සිය පුත්‍රයාට කෘමි නාශක වර්ගයක් පොවා පියාද වස පානය කර පෙරේදා (14 දා) සවස සියදිවි නසාගෙන ඇතැයි අගුණුකොළපැලැස්ස පොලිසිය කියයි.

මෙලෙස වස පානය කිරීමෙන් මියගොස් ඇත්තේ 50 හැවිරිදි පියෙකු හා 25 හැවිරිදි පුතෙකි.

සිය පුත්‍රයා කලක සිට මානසික අබාධයකින් පෙළී ඇති අතර පියා විසින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාරද නිතර සිදුකර තිබේ. 14 දින පෙරවරුවේද පියා සිය පුත්‍රයා රැගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු යළි පස්වරුවේ නිවසට පැමිණ තිබේ. සවස පියාත් පුත්‍රයාත් නිවසේ සිටියදී මව හා දියණිය ආගමික කටයුත්තක් සඳහා අසල විහාරස්ථානයකට ගොස් තිබේ. එම අවස්ථාවේදී පියා විසින් සිය පුත්‍රයාට බලහත්කාරයෙන්ම කෘමිනාශක වර්ගයක් පොවා පියාද එම කෘමිනාශක වර්ගය පානය කර සිය දිවි නසාගෙන තිබේ. මව හා දියණිය නිවසට පැමිණෙන විට පිය පුතු දෙදෙනා වස පානය කර සිටිනු දැක අසල්වාසීන්ගේද සහාය ඇතිව අඟුණුකොළපැලැස්ස රෝහලට ඇතුළත් කර ඇතත් ඒ වන විටත් ඔවුන් දෙදෙනා මියගොස් සිට තිබේ.

මියගිය 50 හැවිරිදි පියා අගුණුකොළපැලැස්ස නගරයේ ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යන අතර පුත්‍රයාගේ මානසික ආබාධය නිසා පවුලේ අය දැඩි පසුතැවිල්ලෙන් පසු වූ බවද අසල්වැසියෝ පැවසූහ. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතාගේ උපදෙස් පරිදි අගුණුකොළපෑලැස්ස පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

මත්තල – දිලීප් එන් ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment