අඹේපිටිය වෙළෙඳ ආයතනයක් සුද්ද කළ අයකැමිගේ යකාගේ ගැහිල්ල

617

19 හැවිරිදි තරුණිය වංචා විමර්ශනයට කොටු

පෞද්ගලික ආයතනයක සේවය කරමින් රුපියල් 41,92174/26 ක මුදලක් වංචා සහගතව ලබා ගත් බව කියන 19 හැවිරිදි මුදල් අයකැමිවරියක් කළුතර විශේෂ වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල හල්කඳවිල දූවගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. බේරුවල, අඹේපිටියගම වෙළෙඳ ආයතන හිමිකරුවකු විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලට අනුව මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වංචාව 2023. 06. 09 හා 2024. 02. 06 අතර කාලය තුළ සිදුවී තිබේ. එහිදී මුදල් හා ආදායම් අතර වෙනසක් නිරීක්ෂණය වීමෙන් පසු වෙළෙඳසැලේ පරිගණක පද්ධතිය හා ආරක්ෂිත කැමරා පරීක්ෂා කළවිට පාරිභෝගිකයන් මුදල් ගෙවූ පසු අවස්ථා 1475කදී අවලංගු කළ බිල්පත් ලෙස දත්ත පද්ධතියේ සටහන්ව කර මෙම මුදල් වංචා කර ඇති බවට අයිතිකරු පොලිසියට පැමිණිලිකර තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකාරිය ඊයේ (15 දා) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩී. සුගතපාල, කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ කළුතර සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන් උපදෙස් මත කළුතර කොට්ඨාස විශේෂ වංචා විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර, උප පොලිස් පරීක්ෂක වික්‍රමරත්න, සැරයන් (41080) කරුණාරත්න සහ කාන්තා පොලිස් කොස්තාපල් (9833) හේවගේ යන මහත්ම මහත්මීන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.

කළුතර විශේෂ – එස්. ආරච්චිගේ

advertistmentadvertistment
advertistmentadvertistment