ජවිපෙ ආර්ථික කමිටුවට හර්ෂගෙන් යළි අභියෝගයක්

1112

ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමග විවාදයක් පැවැත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊයේ (03) පැවැසීය.

එමෙන්ම පළමුව අභියෝගය සිදුකළේ සමගි ජනබලවේගය බවත් එම නිසා ප්‍රථමයෙන් සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සමග විවාදයකට පැමිණෙන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුවට නැවත ආරාධනා කරන බවත් හර්ෂ ද සිල්වා මහතා කීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය.

“සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සමග ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයකට ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුවට නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා හත් වතාවක් ආරාධනා කළා. ඉන්පසුව ජනතා විමුක්ති පෙරමුණ විවාදයකට සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරලා තිබුණා.

ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුවට ඔවුන් තිදෙනෙක් පත් කරලා තිබෙනවා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුවේ සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා, මහාචාර්ය අනිල් ජයසිංහ සහ මහාචාර්ය සීතා බණ්ඩාර සිටිනවා. මේ තිදෙනාට තමයි සමගි ජනබලවේගය විසින් විවාදයකට ආරාධනා කළේ. නමුත් දැන් ඔවුන් කියනවා ඉදිරියේදී පැමිණෙන්නේ ජනාධිපතිවරණයක් ඒ නිසා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සහ අනුර කුමාර දිසානායක අතර විවාදයක් පැවැත්විය යුතුයි කියලා.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු ප්‍රකාශ කළේ අනුර කුමාර දිසානායක සමග විවාදයකට ඔහු ඕනෑම වෙලාවක සූදානම් බවයි. නමුත් සමගි ජනබලවේගය තමයි මුලින්ම විවාදයකට ජනතා විමුක්ති පෙරමුණට ආරාධනා කළේ. ඒ නිසා සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සමග ජනතා විමුක්ති පෙරමුණේ ආර්ථික කමිටුව පළමුව ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් විවාදයකට පැමිණිය යුතුයි. ඒ වගේම ඕනෑම රූපවාහිනි නාලිකාව එම විවාදය පවත්වන්නත් සමගි ජනබලවේගයේ ආර්ථික කමිටුව සූදානම්.”

advertistmentadvertistment
advertistmentadvertistment