උතුරු මැද වාර විභාග ඉතිහාස ප්‍රශ්න පත්‍රය සල්ලිවලට විකුණලා

971

ලංකා ගුරු සංගමයෙන් පැමිණිලි

උතුරු මැද පළාතේ පාසල්වල වාර විභාගය සඳහා ඊයේ (29 දා) ලබාදුන් එකොළොස් වැනි ශ්‍රේණියේ ඉතිහාසය ප්‍රශ්න පත්‍රය මීට දින හතරකට පෙර රු. 500 ට හා 1000 ට අලෙවි කර ඇති බැවින් මේ පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදු කරන ලෙස ලංකා ගුරු සංගමය උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට ඊයේ පැමිණිලි කර ඇත.

මේ පිළිබඳව අනාවරණය කරගත් තොරතුරු ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු ‘දිවයින’ ට මෙසේ පැවසීය.

අනුරාධපුර, පොලොන්නරුව, දිඹුලාගල අධ්‍යාපන කලාපවල උපකාරක පන්තිවල ටියුෂන් ගුරුවරුන් විසින් රුපියල් දහස බැගින් සිසුන්ගෙන් මුදල් අයකර මෙම ඉතිහාසය ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කර තිබෙනවා. ඒ වගේම මෙම එක ප්‍රශ්න පත්‍රයක් වට්ස්ඇප් මගින් රු. පන්සීය බැගින් අලෙවි කර තිබෙනවා.

මේ පිළිබඳව පොලොන්නරුව හා අනුරාධපුර පාසල් හයක විදුහල්පතිවරුන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට පැමිණිලි කර තිබෙනවා.

මෙම වාර විභාග ප්‍රශ්න පත්‍ර හොර රහසේ අලෙවි කිරීම දිගින් දිගටම සිදු වෙනවා. මීට පෙර සිදු වූ එවැනි වංචාවක් පිළිබඳව රහස් පොලිසිය මේ වන විටත් පරීක්ෂණ පවත්වමින් තිබෙනවා.

විභාගයට දින කීපයකට පෙර විවිධ මිල ගණන් යටතේ අලෙවි කිරීම ජාවාරම්කරුවන් කීප දෙනකු විසින් දිගින් දිගටම සිදු කිරීම නිසා මෙම වාර විභාග කෙරෙහි දරුවන්ගේ විශ්වාසය බිඳ වැටිලා. මෙවර වාර විභායේ ගණිතය ප්‍රශ්න පත්‍රයද පිට වී ඇති බවට තොරතුරු තියෙනවා. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කඩිනමින් පරීක්ෂණයක් සිදුකර මෙවැනි කටයුතු දිගින් දිගටම සිදුවීම නවතා දැමීමට දැඩි ක්‍රියාමාර් ගත යුතු යැයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
නොචිචියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment