අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ අද වැඩ භාර ගනිති

120

අනුරාධපුර අභිනව අටමස්ථානාධිපති ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී ප්‍රවීණ ගීත සහ සාහිත්‍යධර නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියෝ අද (11 දා) පෙරවරුවේ අති උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝසමිඳුන් අබියස පැවැත්වෙන ආගමික වතාවත්වලින් පසු සිය ධුරයේ වැඩ භාර ගනිති.

හිටපු අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පසු පුරප්පාඩු වූ එම ධුරය සඳහා පසුගියදා රැස්වූ අටමස්ථාන කාරක සභාව විසින් අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ පත් කිරීමට ගන්නා ලද ඒකමතික තීරණයට අනුව එකොළොස් වැනිදා අටමස්ථානාධිපති නාහිමියන් ලෙස උන්වහන්සේ මෙසේ සිය ධුරයේ වැඩ භාර ගනිති.

ඒ අනුව අද (11) පෙරවරු 7.00 ට ජය ශ්‍රී මහා බෝධියේ උතුරු වාහල්කඩ දොරටුව අබියසට පෙරහැරකින් වැඩම කරන අභිනව අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේට අනුරාධපුර අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජනක බුලංකුලම මහතා විසින් පිච්ච මල් වට්ටියක් පිළිගන්වා උන්වහන්සේ පිළිගැනීමට නියමිතය.

අනතුරුව උන්වහන්සේ ජය ශ්‍රී මහා බෝධියේ උඩමළුව වෙත වැඩම කර මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ බෝ සමිඳුන් වන්දනා කොට ආශීර්වාද ලබා ගැනීමට නියමිතය.

ඉන්පසු අභිනව අටමස්ථානාධිපති නාහිමියෝ සිය ධුරය භාර ගැනීම සංකේතවත් කරමින් ජය ශ්‍රී මහා බෝධියේ පහළ මළුවේ බෝ අංකූරයක් රෝපණය කිරීමෙන් අනතුරුව බෝමළුව විහාරස්ථානයේදී අනුරාධපුර ප්‍රදේශයේ විහාරස්ථානයකට ජය ශ්‍රී මහා බෝධියේ බෝ අංකූරයක් ප්‍රදානය කර සිය ධුරයේ වැඩ භාර ගනිති.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment