වේරගල විහාර භූමිය නිධන් හොරුන්ගේ ග්‍රහණයට

232

ගලෙන්බිඳුණුවැව මෙගොඩවැව පලුගොල්ලගම ඓතිහාසික වේරගල පුරාණ විහාරස්ථානය නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි විහාරාධිපති පූජ්‍ය ඇලපත්ගම ඥානරතන ස්වාමීන් වහන්සේ පවසති.

අක්කර තුනක (03) පමණ ප්‍රදේශයක් පුරා විසිරුණු විශාල ගල් පර්වතයක් මත මෙම විහාරස්ථානය පිහිටා තිබේ. ඒ වටා අක්කර පනහක (50) පමණ ප්‍රදේශයක් පුරා විහිදී ගිය වනාන්තරයක් ඇත.

මීට ඉහත දී මෙම ස්ථානයේ භික්ෂූන් වහන්සේ වැඩ විසූව ද එම ස්ථානයේ මූලික අවශ්‍යතා නොමැති හේතුව මත උන්වහන්සේ මෙම ස්ථානය අතහැර දමාගොස් ඇතැයි විහාරාධිපති පූජ්‍ය ඇලපත්ගම ඥානරතන ස්වාමීන් වහන්සේ සඳහන් කරති.

මෙම පූජනීය ස්ථානයේ නටබුන් වූ ධර්ම ශාලාවක් ඇතුළු භික්ෂූන් වහන්සේ වැඩ විසූ කුටි තුනක් දක්නට ලැබෙන අතර නව ආවාස ගෙයක් තැනීම මීට වසර කීපයකට පෙර අරම්භ කර තිබෙන නමුත් එහි වැඩ අතර මඟ නවතා දමා ඇත්තේ එය තැනීමට තරම් ආර්ථික සවියක් ඇති දායක පිරිසක් මෙම ප්‍රදේශයේ නොමැකම හේතුවෙනි.

වේරගල විහාර භූමිය නිධන් හොරුන්ගේ ග්‍රහණයට

වර්තමානයේ මෙහි භික්ෂූන් වහන්සේ 3 නමක් වැඩවාසය කළ ද උන්වහන්සේ ට භාවිතය සඳහා අවම පහසුකම්වත් මෙම විහාරස්ථානයේ නොමැතිකමින් දැඩි අපහසුතාවට පත්ව ඇත.

අතීත රජ දවසට අයත් බවට සැලකෙන පියගැට පෙළවල් හා පොකුණු ද මෙහි දක්නට ඇති අතර ගල් ලෙන් කීපයක් ද මෙහි ඇත. එබැවින් මෙම ස්ථානය පුරාවිද්‍යාත්මක වශයෙන් ද ඉතා සුවිශේෂී වූ ස්ථානයක් බව පවසන විහාරාධිපති හිමියෝ, ඒ හේතුව

නිසා ම මෙම ස්ථානය නිධන් සොරුන්ගේ ග්‍රහණයට ද මේ වනවිට ලක්ව ඇතැයි විහාරාධිපති හිමියන් වැඩි දුරටත් පැවසූහ.

මෙම විහාරස්ථානය පිහිටා ඇති භූමියට නුදුරින් ඓතිහාසික මිහිඳු මහරහතන් වහන්සේ ගේ පා පහස ලැබූ මිස්සක පව්ව හා රිටිගල කන්ද ද පිහිටා තිබීම විශේෂත්වයකි.

තව දුරටත් මෙම විහරස්ථානය අභාවයට යා නොදී මෙහි ආරක්ෂාව උදෙසා නිසි පියවර ගන්නා ලෙස විහාරාධිපති හිමියන් වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

තිරප්පනේ -සමන් පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment