සෙංකඩගල ඇසළ මංගල්‍යයට කප කැපීම අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය ආශ්‍රිතව සිදු කෙරේ

88

ඓතිහාසික සෙංකඩගල ඇසළ මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් ඊයේ (16 දා) අලුයම 05 පසුවී විනාඩි 10 ට යෙදුණු සුබ මොහොතින් කප කැපීම අලුත්නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලය ආශ්‍රිතව සිදු කෙරිණි.

මේ සඳහා කල් ඇතිවම තෝරාගත් ඵල නොදැරූ “පණස” වෘක්ෂයකින් හෙවත් කොස් ගසක් දින ගණනක් පේ කිරීමෙන් අනතුරුව චිරාගත චාරිත්‍රානුකූලව සුබ මොහොතින් කප කැපීම සිදු කෙරිණි. කප කැපීම සඳහාම සකස් කළ සඳුන් මිටක් සහිත රිදී පොරවක් මේ සඳහා භාවිතා කරන අතර මෙම කටයුත්ත සිදු කිරීම සඳහා වෙන්වූ රාජකාරී නිලයක් ද පෙර රජ දවස සිට පැවැතගෙන එයි. ඒ වනක්කු රාළ නිලයයි. වනක්කු රාළ විසින් නිලමෙ තුමන්ගේ සුරතින් ලබාගත් රිදී පොරව උපයෝගී කොට ගනිමින් සුබ මුහුර්තයෙන් කප කැපීම සිදු කරයි. එසේ සකස්කොට ගත් මෙම කප් කණුව පෙරහැරින් ගෙනවිත් දැඩිමුණ්ඩ මහා දේවාලයේ මඳ වේලාවක් තැන්පත් කොට තබා හස්තිරාජයකු පිට පෙරහැරින් මහනුවර ශ්‍රී මහා විශ්ණු දේවාල පරිශ්‍රයේ ඇති දැඩිමුණ්ඩ දේවාලය වෙත රැගෙන යෑම සිදු කරනු ලැබේ.

මෙම අවස්ථාවට ශ්‍රී දැඩිමුණ්ඩ මහා දේවාලයේ සහ ශ්‍රී මහා විෂ්ණු දේවාලය යන උභය දේවාලයන්හි බස්නායක නිලමේ මහේන්ද්‍ර රත්වත්තේ, මහනුවර කතරගම දේවාලයේ බස්නායක නිලමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
සිරිල් විමලසුරේන්ද්‍ර සහ සමන්ති වීරසේකර, ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment