කුඹුරු අක්කර 37000 ක් නියඟයෙන් විනාශයි – වැඩිම හානිය කුරුණෑගලට

101

පවතින නියඟය නිසා මේ වනවිට කුඹුරු අක්කර තිස්හත්දහසකට අධික ප්‍රමාණයක් (37,101) හානියට ලක්ව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඉන් පීඩාවට පත්ව සිටින ගොවීන් ගණන 32,967 කි. වැඩිම හානියක් සිදුව ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වී ගොවිතැනටය. එහි කුඹුරු අක්කර 19,388 ක් නියඟයෙන් හානියට ලක්ව ඇත.

මෙලෙස සිදුව ඇති කුඹුරු හානිය තක්සේරු කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් තක්සේරු කණ්ඩායම් 25 ක් පත්කර ඇත. එම පිරිස දිවයින පුරා ආවරණය වන පරිදි කුඹුරුහානි පිළිබඳව ද තක්සේරු කටයුතුවල නිරතව සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

කෘෂිකාර්මික හා ගොවි රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්ලිව්. එම්. බී. වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුක්තව මෙම තක්සේරු කටයුතු සිදුකරනු ලබයි.

මෙම වගා හානි සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ලබන සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ අනුව ගොවීන්ට වන්දි මුදලක් ලබාදීමට පියවර ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
උපාලි ද සේරම්, අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment