විගණන විසඳුම් කුණු කූඩෙට! චක්‍රලේඛ තුට්ටු දෙකට දමා…අතරමැදි ශ්‍රේණිවලට ළමයි අරන්

117

පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අඩුවීමක්. 2022 වර්ෂයේ ළමුන් ඇතුළත් කිරීම 11,889කින් අඩුවෙලා.

නව වසර (2024) සඳහා රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ මේ වනවිට අවසන්ව තිබේ. ඇතැම් පාසල් විසින් පළමු ශ්‍රේණියට ඇතුළත් කරගැනීම සඳහා තෝරාගනු ලැබූ සිසුන්ගේ නාම ලේඛණ මේ වනවිටත් ප්‍රදර්ශනයට තබා ඇත්තේය. ඒ කොයිහැටි වුවද රජයේ පාසල් සඳහා පළමු ශ්‍රේණියට ඇතුළත් කළ ළමුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවීමේ තත්ත්වයක් දක්නට ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තවලට අනුව 2021 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කරනු ලැබූ සිසුන්ගේ සංඛ්‍යාව 304105කි. 2022 වර්ෂයේ දී පළමු ශ්‍රේණියට ඇතුළත් කළ ළමුන් සංඛ්‍යාව 292,216ක් දක්වා ළමුන් 11,889කින් අඩුවී තිබේ. පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්තවලට අනුව 2022 වර්ෂයේ දී මෙරට පුද්ගලයන් 258,235 දෙනකු අලුතෙන් පවුල් සැලසුම් සඳහා යොමුවී තිබුණි.

මින් 30719 දෙනකු වන්ධ්‍යාකරණ සැත්කම්වලට යොමුවී තිබූ අතර මෙම දත්ත අනුව පෙනී යන්නේ අලුත බැඳපු ජෝඩු පවා ළමුන් හැදීම සීමාකොට ඇති බවය. රටේ පවතින ආර්ථික අර්බුදය දරු සම්පත් බැලීමට අපේක්ෂාවෙන් සිටින යුවළවල්වලට පවා දැඩි ලෙස බලපා තිබේ. ඒ විතරක් නොව පවතින ආර්ථික අර්බුදය හමුවේ ප්‍රාථමික අංශයේ පාසල් දරුවන්ගේ පාසල් හැරයෑම ද වැඩිවෙමින් ඇත. 2020 වර්ෂය තුළ පමණක් ප්‍රාථමික අංශයේ පාසල් දරුවන් 9,269 දෙනකු පාසල් හැරගොස් තිබුණි. ආර්ථික අර්බුදය හමුවේ අවදානමට ලක්විය හැකි පවුල් අධ්‍යාපන වියදම් කපාහැරීම ආර්ථික උපාය මාර්ගයක් ලෙස තෝරාගෙන ඇති බැවින් මෙම වර්ෂය තුළදීත් පාසල් හැරයන ළමුන් සංඛ්‍යාව තවදුරටත් ඉහළයෑමේ හැකියාවක් පවතින බව මහ බැංකුව දත්ත අනුව පෙනී යන්නේය. අඩු ආදායම්ලාභී පවුල් සඳහා ලිපි ද්‍රව්‍ය හා පාසල් සැපයුම්වල හිඟතාව, පාසල් උපකරණවල මිල ගණන් ඉහළයෑම නිසා එම පවුල්වල දරුවන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති. පළමු ශ්‍රේණියට ඇතුළත් කරනු ලබන ළමුන්ගේ අඩුවීමක් පැවතියද සෑම දෙමව්පියකුගේම එකම බලාපොරොත්තුව වන්නේ තම දුවා දරුවා මෙරට ඇති ජනප්‍රිය පාසලකට ඇතුළත් කරගැනීමය.

මෙරට ඇති ජාතික පාසල් සංඛ්‍යාව 396කි. එම ජාතික පාසල් අතුරින් ජනප්‍රිය පාසල් සඳහා තම දුවා දරුවන් ඇතුළත් කරගැනීම සඳහා දෙමව්පියන් අතර ඇත්තේ දැඩි තරගකාරී බවකි. මෙම තත්ත්වය දිස්ත්‍රික්ක කිහිපයක හඳුනාගත් ජාතික පාසල් කිහිපයකට දැඩිව බලපා තිබේ. දෙමව්පියන් විසින් කුමන හෝ උප්පරවැට්ටියක් දමා තම දුවා දරුවන් මෙම පාසල් සඳහා ඇතුළත්කර ගැනීමට විවිධ උත්සාහයන් දරති. ඇතැම් දෙමව්පියන් දේශපාලනඥයන් පිටුපස යති. තවත් පිරිසක් නිලධාරීන් සහ හිතවතුන් පිටුපස ගොස් තම දුව හෝ පුතා ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමට වලිකති. පාසල් සිසුන් ඇතුළත් කරගැනීම සඳහා දෙමව්පියන් අතර වැඩිම තරගකාරී බවක් ඇත්තේ අතරමැදි ශ්‍රේණි සඳහාය. කොටින්ම කිවහොත් ඇතැම් ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී ලක්ෂ ගණනින් මුදල් හුවමාරුවෙති. ඒ අතර ලිංගික අල්ලස්ස ද නැතිවා නොවේ.

දෙමව්පියන් අතර ඇති මෙම තරගකාරී බව නිසාම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විවිධ අවස්ථාවලදී පාසල් සඳහා සිසුන් ඇතුළත්කර ගැනීමේ දී කටයුතු කළයුතු ආකාරය පිළිබඳ චක්‍රලේඛ මගින් උපදෙස් හා නිර්නායක හඳුන්වා දී ඇත. එහෙත් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් විසින් පවත්නා චක්‍රලේඛ විධිවිධාන ඉක්මවා සහ නොසලකා කටයුතු කර තිබුණි. පාසලක පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා එක් පංතියක සිටිය හැකි සිසුන් සංඛ්‍යාව 40කි. 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා එක් පංතියක උපරිම ලෙස සිසුන් 45ක් සිටිය යුතු බවට විධිමත් පරිදි නිශ්චය කොට ඇත. එහෙත් බොහෝ ජනප්‍රිය පාසල්වල එක් පංතියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව ඉක්මවා සිසුන් ඇතුළත්කර ගෙන තිබුණි. මේ නිසා ළමුන් පමණක් නොව ගුරුවරුන්ද මානසික වශයෙන් පීඩාවට ලක්ව සිටිති.

මෙවැනි පසුබිමක් තුළ ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයේ ජනවාරි මස 01 සිට 2022 වර්ෂයේ මැයි 31 දක්වා කාලය තුළදී ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම පිළිබඳ විශේෂ විගණනයක් සිදුකරනු ලැබීය. එම විගණන වාර්තාවට අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා විසින් චක්‍රලේඛ මගින් හඳුන්වා දී ඇති විධිමත් ක්‍රමවේදයන්ගෙන් බැහැරව විදුහල්පතිවරුන් අමතා නිකුත් කරනු ලැබූ ලිපි උපයෝගි කරගෙන අතරමැදි ශ්‍රේණි සඳහා (2020 ජනවාරි 01 සිට 2022 මැයි 31 කාලය තුළ) සිසුන් 2237 දෙනකු ඇතුළත් කරගැනීමට එම ජාතික පාසල්වල විදුහල්පතිවරුන්ට සිදුවී තිබුණි.

එමෙන්ම අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත්කර ගැනීම 2022 මැයි මස 23 දින සිට තාවකාලිකව අත්හිටුවා තිබුණද 2022 මැයි 23 දින සිට 2022 ඔක්තෝබර් මස 31 දින දක්වා කාලය තුළ වර්තමාන අධ්‍යාපන ලේකම්වරයා විසින් ලබාදුන් ලිපි මත ජනප්‍රිය පාසල් 09ක් සඳහා සිසුන් 275 දෙනකු ඇතුළත්කොට තිබුණි. කොළඹ දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසල් 07ක් සඳහා මෙම වර්ෂයේ (2023) අප්‍රේල් මස 26 සිට ජුලි මස දක්වා කාලය තුළ සිසුන් 103 දෙනකු ඇතුළත්කොට ඇති බවද මෙකී විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙසේ අතිශය ජනප්‍රිය පාසල් 34ක් ඇතුළු පාසල් 41ක් සඳහා සිසුන් ඇතුළත් කරගෙන තිබූ අතර එවකට අධ්‍යාපන අමාත්‍යාංශයේ සිටි ලේකම්වරයා විසින් විවිධ පාර්ශ්වයන්ගේ ඉල්ලීම් නිර්දේශයන් හා අභියාචනයන් හා නියෝග ආදි ලිපිමත මෙම ලිපි නිකුත්කොට තිබුණි. විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සිසුන් ඇතුළත් කරගැනීම සඳහා ලිපි 3,308ක් නිකුත්කොට තිබුණි. එසේ නිකුත්කරනු ලැබූ ලිපි අතුරින් ලිපි 2367ක් එනම් සියයට 72ක ප්‍රමාණයක් රජයේ ඇමැතිවරුන්, මහජන නියෝජිතයන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය ආදි විවිධ තැනැත්තන් වෙතින් ලද ඉල්ලීම් නිර්දේශයන් අභියාචනයන් හා නියෝග ආදි නියෝජනවලට අනුව නිකුත් කරනු ලැබූ ලිපි බව විගණනය මගින් අනාවරණය කොට තිබුණි. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සිසුන් ඇතුළත්කර ගන්නා ලෙස කොන්දේසි රහිත ලිපි 1460ක් නිකුත්කොට තිබුණි.

විධිමත් ක්‍රමවේදයෙන් බැහැරව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සිසුන් ඇතුළත් කරගැනීම සඳහා නිකුත්කොට තිබූ ලිපි අතුරින් ලිපි 861ක් නිකුත්කොට තිබුණේ අමාත්‍යවරුන්ගේ ඉල්ලීම මතය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම මත නිකුත්කොට ඇති ලිපි සංඛ්‍යාව 654කි. අමාත්‍යාංශ ලේකම්වරු හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ ඉල්ලීම් මත ලිපි 190ක් නිකුත්කොට තිබූ අතර අගමැති කාර්යාලයේ ඉල්ලීම මත ලිපි 160ක් නිකුත්කොට තිබුණි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ලිපි නිකුත් කිරීමේ දී පාසල මගින් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත විධිමත්ව ඉදිරිපත් කරනු ලැබූ ඉල්ලුම්පත් 251ක් සඳහා අදාළ සිසුන් වෙත ලිපි නිකුත්කොට තිබුණි. විධිමත් ලෙස අයැදුම්පතක් වත ඉදිරිපත් කොට නොතිබූ සිසුන් සඳහා ලිපි 3308ක් නිකුත්කොට ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විගණනයට සඳහන් කොට ඇත්තේ 2023.03.13 දිනැතිව ජනාධිපති කාර්යාලය විසින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් නිකුත් කරන ලද චිරැි්ාරැැාමජ්එසදබරැ අංක දරන ලිපිය මගින් යෝජිත නව අධ්‍යාපන ප්‍රතිංස්කරණ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස උපදෙස් ලැබී ඇති බවය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත්කොට ඇති කැබිනට් අනුකමිටුව මගින් ලබාදෙන තීරණ අනුව ඉදිරියේ දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවද ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment