ඇත්ත වසා ඇත!

58

“මේ ජීවන කතරේ… සැප දුක සමබර වේ…”

කියලා චන්ද්‍රරත්න මානවසිංහයන් ලියපු ගීතය මිහිරි හඬින් අමරදේවයන් ගායනා කරනවා.

විදුලි සංඥා එළි අතර නතර වෙන වාහන පේළි වෙතට අසුරු සැණින් දිව එන්නේ එදිනෙදා ජීවිතය ගැට ගහගන්න වෙහෙසන යාචකයින්. කලකට පෙර අතරින් පතර දකින්නට හිටිය යාචකයන්, අද වෙනකොට වාහනයක කවුළු හතරෙන්ම අත් පාන මට්ටමට පත් වෙලා.

බැලූ බැලූ අත සෑම මනුෂ්‍යයෙකු තුළම තිබෙන්නේ අපේක්ෂාභංගත්වයේ වේදනාව.

මිලියන 6කට අධික පිරිසක් තමන්ගේ ආහාර සපයා ගැනීමට අසීරු තත්ත්වයක පසු වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය කියනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති කොටසක් වන්නේ දරුවන්.

දරාගත නොහැකි ආර්ථික පීඩනය හමුවේ දරුවන්ගේ අධ්‍යාපනය කැප කරන්නට බොහෝ දෙමව්පියන්ට සිද්ධ වී තිබීම ඛේදවාචකයක්.

බුද්ධිමය සම්පත වෙනුවට අනාගතය මිනිස් කාන්තාරයක් බවට පත්වීමේ භයානක පෙරනිමිති එළිදකිමින් තිබෙනවා.

“එක දරුවෙක්ගේ පොත් ටිකට රුපියල් දාහතර දහක්වත් යනවා. දරුවො තුන්දෙනෙක් ගියොත් තිස් දෙදහක් යනවා පොත් වලට විතරක්. පන්ති ගාස්තු, පාසල් ගාස්තු, කෑම බීම මේ සේරම එකතු කළහම දරුවෝ තුන් දෙනෙක්ට විතරක් මාසෙට ජීවත්වෙන්න කීයක් යනවද? එදාවේල තියා ආණ්ඩුවේ රස්සාවක් කරන මනුස්සයෙක්ට වත් දරුවන්ට උගන්නන්න පුළුවන් ද?” මෙහෙම විමසන දෙමව්පියෝ සොයා ගැනීම සුලබ කාරණයක් වී තිබෙනවා.

තමන්ගේ දරුවාට නිසි පරිදි ආහාර වේලක් දෙන්නට බැරි නම්, තමන්ගේ දරුවන්ට ජීවිතය ජයගන්න අධ්‍යාපනය ලබා දෙන්නට හැකියාවක් නැත්නම්, වෙලාවට ලැබෙන ඉන්ධන ටික ගැන නගන පුරසාරමේ තේරුම කුමක්ද?.

“දරුවෙකුට මාළු කෑල්ලක් කන්න දුන්න දවසක් මතක නැහැ. මාළු නෙමෙයි දැන් අපේ මාළු තමයි කන්න වෙලා තියෙන්නේ. ඉඩකඩන් උකස් තියන්න වෙනවා මාළු කෑල්ලක් කන්න”

“ඒ තියා කොණ්ඩෙ කපන්න ගිහාම ගාන අහපුහාම බෙල්ල කපා ගන්න හිතනවා.”

තම දරුවන් සිව් දෙනාගේ කුසගිනි නිවන්නට කොස් ගෙඩියක් කඩන්නට ගසකට නැංග මවක් ඉන් ඇද වැටී මිය යෑමේ සිද්ධියක් ගම්පොලින් පසුගියදා වාර්තා වුණා.

තම ගර්භනී බිරිඳට කන්නට දෙන්නට කිසිවක් නොමැති නිසා කොස් ගෙඩියක් කඩාගත් පුද්ගලයෙකුව තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ පුවතක් ඇල්පිටිය ප්‍රදේශයෙන් පසුගියදාක වාර්තා වුණා.

වසර 2030 වෙන විට ලෝකයේ දිළිඳුකම හා කුසගින්න තුරන් කිරීමට බොහෝ රටවල් පුරෝකථන ඉදිරිපත් කරනවා.

අප රටේ දිළිඳුකම හා කුසගින්න ඉවසා ගත නොහැකිව දිවි හානිකර ගන්නා හෝ ඒ සඳහා උත්සාහ කරන පිරිස් පිළිබඳව ද දිළිඳුකම හා රැකියා නොමැතිකමින් පීඩා විඳින අය ගැන ද නිරන්තරව මාධ්‍ය මගින් අනාවරණය වෙනවා. දිළිඳුකම හෝ කුසගින්න නිසා පීඩාවට පත්වෙන ජනතාවගෙන් සියයට අසූවක් පමණ ජීවත් වන්නේ ග්‍රාමීයව. ඔවුන්ගෙන් බහුතරයක් කෘෂිකර්මාන්තය ආශ්‍රිතව දිවි ගෙවන්නන්. නමුත් ඔවුන්ගේ ජීවිත ගොඩ නැංවීම වෙනුවෙන් සැලකිය යුතු මැදිහත් වීමක් සිදුවන බවක් පෙනෙන්නට නැහැ.

ලංකාවේ පවුල්වලින් සියයට 86ක් මිල අඩු සහ අඩු පෝෂ්‍යදායී ආහාර මිල දී ගන්නා බවත් ඇතැම් ආහාර වේල් සම්පූර්ණයෙන්ම මඟහරින බවත් ලෝක ආහාර වැඩසටහන අනාවරණය කරනවා.

සියයට හැත්තෑ පහක් වූ ශ්‍රම බළකාය උපයන වැටුපින් මෙරට රාජ්‍ය අංශය හා අතිවිශාල වූ දේශපාලන අධිකාරිය පවා නඩත්තු කිරීමට සිදුව තියෙනවා.

මේ සියල්ල මැද ආණ්ඩුව සිහින ලෝකයක් මවමින් සිටිනවා. මිනිස් ජීවිත ඇටසැකිලි සහ පරඬැල් බවට පත්කරන අර පත්තර ආර්ථිකය ඉහළ දැමීම් සමග මවාපාන ආර්ථික සංවර්ධනය කුමක්ද කියා ඉතා ඉක්මනින් වැටහෙනවාට සැකයක් නැහැ.

වර්ධනය තුළින් ගොඩ නගන්නට හදන ආර්ථික වර්ධනය කුමක්ද?.

තර්ජනය තුළින් ගොඩ නගන්නට හදන සංවර්ධනය කුමක්ද?.

මාධ්‍ය සන්දර්ශන තුළින් ගොඩ නගන්නට උත්සාහ කරන යථාර්ථය වසා දැමූ මිථ්‍යාව කුමක්ද?

ජනතාවගේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් නැති රජයක් කෘතිම ලෙසින් මාධ්‍ය මගින් මවන රෝසමල් පින්තූරය තුළින් ජනතාව රැවටීමට උත්සාහ කරමින් සිටී. බාහිර බලවේගවලට තම න්‍යාය පත්‍ර සඳහා අවශ්‍ය රූකඩ පාලකයන් නිර්මාණය කර ගැන්මට දෙනු ලබන සොච්චම් වාසි ප්‍රයෝජන තුළින් රටක දිගු කාලීන යහපත බිලිඳිය හැකි නොවේ.

යථාර්ථය වසන් කරමින් ආණ්ඩුව විසින් ගෙන යන මිථ්‍යාව හෙළිදරව් වන විට ඇතැම් විට අප බොහෝ ප්‍රමාද වී ඇති ඇතිවාට සැකයක් නැහැ. විනිවිද බලමු. අවදියෙන් සිටිමු.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment