ඉසිපතනය, ශාන්ත ජෝශප්,  වෙස්ලි සහ රාජකීයයන් සුපිරි වටයට – ඩයලොග් ලීග් ශූරතා පාසල් රග්බි තරගාවලිය

153

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ මෙහෙයවීමෙන් දැන් ක්‍රියාත්මක ‘ඩයලොග් ලීග් ශූරතා’ වයස අවුරුදු 20 න් පහළ ප්‍රමුඛ පෙළ ලීග් රග්බී පාපන්දු තරගාවලියේ දෙවන අදියර හෙවත් සුපිරි 04 වටයට වරම් ලබා ගැනීමට ඉසිපතන විදුහල, රාජකීය විදුහල, ශාන්ත ජෝශප් විදුහල සහ වෙස්ලි විදුහල සමත් විය.

මෙවර තරගාවලියේ සුපිරි වටයට අවතීර්ණ වීමට මහනුවර දිසාවේ එකදු පාසලකට හෝ නොහැකි වීම කැපී පෙනෙයි. ඒ අනුව මෙවර ‘ඩයලොග් ලීග් ශූරතා කුසලාන’ කොළඹ පාසලක් සතු වීම මූලික වටය අවසානයේදීම තහවුරු වීම විශේෂත්වයකි.

දිවයිනේ ප්‍රමුඛතම පාසල් 12 ක සහභාගිත්වයෙන් ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරුණු මෙවර මූලික වටයේ තරග 30 ක් ආශ්‍රිතව ප්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කර ගනිමින් මෙම කණ්ඩායම් 04 තෝරා ගැනීමට ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය පියවර ගත්තේය.

මූලික වටයේදී 1 කාණ්ඩයේ ශූරයන් ලෙස කොළඹ රාජකීය විදුහල ද එකී අනු ශූරයින් ලෙස මරදාන ශාන්ත ජෝශප් විදුහල ද 2 කාණ්ඩයේ ශූරයින් ලෙස කොළඹ ඉසිපතන විදුහල ද එකී අනු ශූරයින් ලෙස බොරැල්ල වෙස්ලි විදුහල ද සුපිරි සිව් දෙනාගේ වටයට වරම් ලැබීය.

ඒ අනුව සංවිධානය කර ඇති සුපිරි වටය ආරම්භ කරමින් ලබන සෙනසුරාදා (06) ප.ව. 04.15 ට සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩාංගණයේදී වෙස්ලි විදුහල ට එරෙහිව රාජකීය විදුහල තරග බිමට අවතීර්ණ වෙති.

ඉරිදා (07) දින ප.ව.04.15 ට ඉසිපතන විදුහල සහ ශාන්ත ජෝශප් විදුහල අතර තරගය පැවැත්වේ. ඒ හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදීය.

ඉන් අනතුරුව ක්‍රියාත්මක කෙරෙන ඉසිපතන සහ රාජකීය අතර තරගය 14 දින ද ශාන්ත ජෝශප් සහ වෙස්ලි අතර තරගය 15 දින ද හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment