දඹුල්ල ජැෆ්නා පෙරහුරුවේ ජය දඹුල්ලට

87

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල – ජැෆ්නා අතර තරගයේ ජයග්‍රහණය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 34කින් දඹුල්ලට පිරිනැමුණි. පී. සරා ඕවල් පිටියේ පෙරේදා (3) පැවැති මෙම තරගය නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය විය.

නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ලකුණු සටහනේ පළමු තැනට පත් මිනෝද් භානුකගේ නායකත්වයෙන් යුත් දඹුල්ල පිල හා දෙවැනි තැනට පත්ව සිටින ජනිත් ලියනගේ ගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා පිල හෙට (6 වැනිදා) පැවැත්වීමට නියමිත අවසන් මහා තරගයට සුදුසුකම් ලබා සිටියදී මෙම මූලික වටයේ හමුවීම තරග කාලසටහන අනුව සිදුවිණි. එබැවින් මෙම තරගය අවසන් මහා තරගයට පෙර කණ්ඩායම් දෙකට හොඳ පෙරහුරුවක් බවට පත් වූවේය. පසුගිය මාර්තු 23 වැනිදා දඹුල්ල – ජැෆ්නා හමුවී දඹුල්ල ලකුණු 76ක ජයක් වාර්තා කළ බැවින් මෙවර මෙතෙක් හමුවීම් දෙකේදීම දඹුල්ල ඉදිරියෙන් සිටියේය.

පෙරේදා තරගයේ කාසියේ වාසිය දඹුල්ල දිනා මුලින් පන්දු රැකීමට තීරණය කළ අතර, ජැෆ්නා පිල සියලු දෙනා දැවී ලකුණු 233ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුල්ල ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 186ක් රැස්කර තිබියදී අයහපත් ආලෝක තත්ත්වයෙන් තරගය නවතා දැමුණි. එවිට දඹුල්ල පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව 37 වැනි ඕවරය වෙද්දී ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ගණන ඉක්මවා තිබූ හෙයින් ජයග්‍රහණය පිරිනැමුණි.

දඹුල්ල ඉනිමට වේගවත් ශතකයක් එක්කළ පවන් රත්නායක පන්දු 102කදී නොදැවී ලකුණු 107ක් එක්කළ අතර, එයට හයේ පහර 2ක් හා හතරේ පහර 13ක් ඇතුළත් විය. ඔහු මෙවර තරගාවලියේ තරග 8කදී ලකුණු 287ක් ලබා පිතිකරුවන් අතර තෙවැනි ස්ථානයට පත්වීම ද විශේෂත්වයකි. ජැෆ්නා පිලට සොනාල් දිනකඩ ලකුණු 38ක් එක් කිරීමට සමත් වූවේය.

මෙම තරගයේදී මුලින් පන්දුවට පහරදුන් ජැෆ්නා පිලේ අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි රවිදු ප්‍රනාන්දු දඹුල්ලට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළ අතර, පන්දු 89කදී දැවැන්ත හයේ පහර 5ක් හා හතරේ පහර 11ක් සමග ලකුණු 100ක් වාර්තා කළේය.

ජැෆ්නා – සියලු දෙනා දැවී ලකුණු 233යි (ඕවර් 46.2) – නිෂාන් මධුෂ්ක 20 කසුන් අඹේරත්න 18, ළහිරු මධුසංඛ 11, රවීන් ද සිල්වා 13, රවිදු ප්‍රනාන්දු 100, දිලුම් සුධීර 16, ජෙෆ්රි වැන්ඩසේ 18 (අසිත ප්‍රනාන්දු 31/3, නුවන් තුෂාර 41/2, ළහිරු සමරකෝන් 41/3, දුෂාන් හේමන්ත 43/2)

දඹුල්ල – කඩුලු 4කට ලකුණු 186යි (ඕවර් 37) – පවන් රත්නායක නොදැවී 107, කමිදු මෙන්ඩිස් 14, සොනාල් දිනූෂ 38, ලසිත් අබේරත්න 10, ( යසිරු රුද්‍රිගු 41/1, දිලුම් සුධීර 22/1, ළහිරු මධුසංඛ 13/1, රවීන් ද සිල්වා 16/1)

advertistmentadvertistment
advertistmentadvertistment