ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ලීසිං පදනම මත තවත් ගුවන් යානයක්

248

ශ්‍රී ලන්කන් ගුවන් සේවා යානා දිගින් දිගටම ප්‍රමාද වීම සහ අවලංගු කිරීමට ලක් වීමට ප්‍රධාන හේතුව වී තිබූ ගුවන් යානා හිඟයට යම් පිළියමක් ලෙසින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය එයාර් බස් ඒ. 320 වර්ගයේ ගුවන් යානයක් ලීසිං පදනම මත ලබා ගෙන ඇති අතර එම ගුවන් යානය පෙරේදා (21 වැනිදා) දින සවස මැලේසියාවේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ.

4 ආර් – ඒබීඑස් යන අනුක්‍රමනික අංකය යටතේ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කර ඇති මෙම ගුවන් යානය, අවශ්‍ය පින්තාරු කටයුතු සහ අනෙකුත් සේවා පහසුකම් ස්ථාපිත කිරීමෙන් එළැඹෙන 29 දින කටුනායක සිට මාලදිවයින බලා ප්‍රථම මංගල ගුවන් ගමන පිටත්ව යෑමට නියමිතය. ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවකින් යුතු මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 12 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 138 ක් තිබේ. මෙම නව ගුවන් යානය ඉන්දීය උප මහාද්වීපය, ඈත පෙරදිග සහ මැදපෙරදිග ගුවන් කළාප වෙත සිය ගුවන් මෙහෙයුම් කටයුතු එක් කිරීමට නියමිතය. මෙම නව ගුවන් යානය මිලදී ගැනීමත් සමග ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතුව පටු බද සහිත ගුවන් යානා 12 ක් සහ පුළුල් බද සහිත ගුවන් යානා 10 වශයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු සමස්ත ගුවන් යානා සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් තිබේ.

කටුනායක – ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment