ස්ත්‍රී දූෂණ නඩුවේ විත්තිකරු නිදහස්: පැමිණිලිකාරියට නඩු

1768

ස්ත්‍රි දූෂණ නඩුවක පැමිණිලිකාරිය අසත්‍ය සාක්කි ලබාදීම හේතුවෙන් ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය විත්තිකරු නඩුවෙන් මුදා හැර පැමිණිලිකාරියට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන ලෙස අහංගම පොලිස් ස්ථානාධිපතිවරයාට නියෝග කළාය.

මෙසේ මුදා හරිනු ලැබුවේ අල්ගෙවත්තගේ සමන් ප්‍රිති ජයලත් නමැති විත්තිකරුවෙකි.

අහංගම පොලිස් වසමේ තිත්තගල්ලේ දී 2015 ජුනි 27 වැනිදා එවකට අවුරුදු 15යි මාස හයක් වූ බාලවයස්කාර දැරියක නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට නිවසින් පිටතට ගෙන ගොස් ස්ත්‍රී දූෂණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.

එවකට පාසල් සිසුවියක වූ පැමිණිලිකාරිය ජංගම දුරකථනය ඔස්සේ සැකකරු හඳුනාගෙන ඇති බවත් ඒ අනුව සිද්ධිය වූ දින විත්තිකරු බයිසිකලයකින් පැමිණ ඇය වෙනත් නිවසකට කැඳවාගෙන ගොස් දූෂණය කර ඇති බවත් නඩුවේ මුල් අවස්ථාවේ දී සඳහන් විණි.

එහෙත් නඩු විභාගයේදී මේ වන විට 24 වැනි වියේ පසුවන පැමිණිලිකාරිය අධි චෝදනාවේ සඳහන් මූලිකාංග ඔප්පු කිරීමට අපොහොසත් වන ලෙස අසත්‍ය සාක්කි දීම හේතුවෙන් විත්තිකරු මුදා හැරීමට තීරණය කළ මහාධිකරණ විනිසුරුවරිය අසත්‍ය සාක්ෂි දීමේ චෝදනාව යටතේ පැමිණිලිකාරියට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියෝග කළාය.

අහංගම පොලිසිය වෙනුවෙන් සැරයන් නන්දසිරි මහතා (34148) පෙනී සිටියේය.
අහංගම – සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment