ජීවිත 50ක් බේරා ගත් රියැදුරු දෙවියෙක්

835

නාවලපිටිය දොළොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් තිදෙනකු, මගින් පස්දෙනකු සහ බස් රථයේ රියැදුරා තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

මෙම අනතුර සිදු වී ඇත්තේ (09) දින උදෑසන 6.45 ට පමණ නාවලපිටිය දොළොස්බාගේ ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය උඩුවැල්ල ප්‍රදේශයේදීය.

නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් බස් රථය ධාවනය වෙමින් තිබූ අවස්ථාවේ බස් රථයේ ඉදිරි පසින් විශාල ශබ්දයක් ඇසුණු බවත්, ඒ සමගම බස් රථය රියැදුරු පාලනයෙන් මිදීමත් සමග බස් රථයේ රියැදුරා දැඩි පරිශ්‍රමයක් දරා බස් රථය මාර්ගය අබියස පිහිටි කන්දක ගැටීමට සලස්සවා බස් රථය නතර කරගෙන ඇති බවයි අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය පැවසීය.

බස් රථය අනතුරට පත් වූ ස්ථානයේ මාර්ගයේ අනෙක් පස මීටර් 300ක පමණ අධික බැවුමක් සහිත ප්‍රපාතයක් පිහිටා ඇති බවත්, බස් රථයේ රියැදුරා බස් රථය ප්‍රපාතයට පෙරළීම වළක්වා ගනිමින් සිදු වීමට ගිය විශාල අනතුරක් වළක්වාගෙන ඇති බවයි පොලිසිය කියා සිටියේ.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ පාසල් ළමුන් ඇතුළු මගින් පනස්දෙනකු පමණ ගමන් කර ඇති බවත්, එම බස් රථය පාසල් ප්‍රවාහනය කිරීම සඳහා ධාවනයට එක් කර ඇති බස් රථයක් බවත්, බස් රථය ධාවනයෙන් ඉවත් කර තිබියදී නාවලපිටිය ලංගම ඩිපෝවේ කාර්මික අංශයේ නිලධාරින් එම බස් රථය යළිත් අලුත්වැඩියා කර ධාවනයට එක් කර ඇති බස් රථයක් බවයි නාවලපිටිය ඩිපෝවේ නිලධාරියකු කියා සිටියේ.

නුවරඑළිය- නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment