සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා විරෝධතාවක….

පොලිසිය බිම වැටී සිටි රුවන් කුමාරට හිතාමතාම උරහිසට වෙඩි තිබ්බා
සූදුපළේ සිටි පිරිස් කියයි

යුක්තියේ මෙහෙයුමට අදාළව ගෙවුණු මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ රට පුරා විවිධ වැටලීම් සිදුකරමින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් විය. ඒ හේතුව නිසාම ජනතාවට ඉන් ලැබුණු සහනය මිල කළ නොහැකි තරම්ය. මෙම කාලසීමාව තුළ යුක්තියේ මෙහෙයුමට අදාළව සිදුකළ මෙහෙයුම් අතර සිදු වූ ඇතැම් වැටලීම් පිළිබඳව විවිධ චෝදනාවන්ද පොලිසියට එල්ල වූ අවස්ථාද බොහොය. ඒ ඇතැම් වැටලීම් නිලධාරීන්ගේ පුද්ගලික ඕනෑ එපාකම් මත සිදු වූ ඒවා බවට මෙන්ම ඇතැම් වැටලීම් නීතිය ඉක්මවා යෑම් පිළිබඳව ද චෝදනා එල්ල විය.

පසුගිය 31 වන දින අලුයම තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බූරුපළක් වැටලීමට තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන් තිදෙනකු කටයුතු කර තිබූ අතර ඒ පිළිබඳව ද ජනතාව හා පොලිසිය අතර ඇති වූයේ දැඩි මතභේදාත්මක තත්ත්වයකි. ඒ මෙම බූරුපළ වැටලීමේදී අදාළ නිලධාරීන් තිදෙනා කටයුතු කර තිබූ ආකාරය පිළිබඳවය. එම නිසාම මහජන කැළඹීමක් ඇතිවීම වැළැක්වීම සඳහාත් සැමට නීතිය සමානව ක්‍රියාත්මක විය යුතු නිසා, වැටලීම් සිදුකළ නිලධාරීන්ට එරෙහිව එල්ලවන චෝදනා නිසාත් මෙම නිලධාරීන් තිදෙනා වැටලීමේදී කටයුතු කළ ආකාරය පිළිබඳව මේ වන විට දකුණු පළාත භාර ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න යන මහත්වරුන්ගේ නියෝග පරිදි කඩිනම් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

තිස්සමහාරාම රන්මිණිතැන්න සූදුපළේදි පොලිස් ගිනි අවිය ඉබේ පත්තු වෙයි
වෙඩි වැදුණු රුවන් කුමාර

තිස්සමහාරාම, රන්මිණිතැන්න, ජය මාවතේ අංක 155 ලිපිනයේ පදිංචි 27 හැවිරිදි රුවන් කුමාර හා ඔහුගේ මිතුරන් කිහිප දෙනකු පසුගිය 30 වන දින රාත්‍රියේ මත් පැන් සාදයක් පවත්වා තිබුණේ කලකින් හමු වූ මිතුරන් කිහිප දෙනකුද සමගය. ඔවුන්ටත් නොදැනීම මත්පැන් සාදය මධ්‍යම රාත්‍රියද ඉක්මවා ගියේ ඔවුන්ටද නොදැනීමය. මධ්‍යම රාත්‍රිය යනු යක්කු ගස් නගින බහින වෙලාව යැයි සමාජයේ මතයක්ද තිබේ. ඒ අනුව යක්කු ගස් නගින වෙලේ මත්පැන් සාදය අවසන් කළ රුවන් කුමාර ඇතුළු පිරිස නිවෙස් වෙත යනවා වෙනුවට මත් පානය කිරීමෙන් පසු වෙරි මරගාතෙන්ම ගියේ ඒ අසල නිවසක පවත්වාගෙන ගිය බූරු පළකටය. මෙම බූරුපළ රන්මිණිතැන්න ප්‍රදේශයේ කලක පටන් ඉතා ප්‍රසිද්ධියේම පවත්වාගෙන යන බූරු පළකි. කාගේ හෝ ආශිර්වාද ඇතිව මෙම බූරුපළ පවත්වාගෙන ගිය පුද්ගලයන් විසින් මුදලට ඔට්ටු අල්ලමින් මෙම බුරුපළ පවත්වාගෙන ගොස් තිබුණි.

31 දින අලුයම 12.30ට පමණ එක වරම බූරුපළට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් තිදෙනකු පැමිණ තිබේ. පොලිස් නිලධාරීන් පැමිණෙනු දුටු එක් අයකු ඔන්න පොලිසියෙන් එනවා දුවපියව් කියා කෑ ගසා තිබේ. ඒත් සමගම බූරු කූට්ටම හා අතට අහු වූ මුදල්ද ගත් බුරුපළේ සිටි පිරිස හිස් ලූ ලූ අත දිව යන්නට විය. එකෙක්වත් දුවන්න එපා කියමින් වෙඩි තියාගෙනම පොලිස් නිලධාරීන් බූරුපළට පැමිණියේය. පොලිස් නිලධාරීන් පැමිණියත් එම ස්ථානයේ බිම එලා තිබූ ගෝනි පඩංගුවේ වාඩි වි බූරුවා ගහන දෙස බලාගෙන සිටි රුවන් කුමාරට දිව යෑමට තියා නැගිට ගැනීමටත් බැරි විය. ඒ ඔහු අධික ලෙස බීමත්ව සිටි නිසාවෙනි. බූරුපළ පැවති ස්ථානයට සිවිල් ඇඳුමින් පැමිණි තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන් තිදෙනකුගෙන් එක් අයකු බිම වාඩි වී සිටි රුවන් කුමාර අල්ලා ගත්තේ කුණුහරුප වැළක්ද කියමිණි. තිස්සමහාරාම රන්මිණිතැන්න පාසල පිටුපස පිහිටි කුඩා නිවසක් අසල මෙම බූරුපළ පවත්වාගෙන ගොස් තිබුණි. බිම වාඩිවී සිටි රුවන් කුමාර අසලට පැමිණි එක් පොලිස් නිලධාරියකු ඔහු අත තිබූ ගිනි අවියක් රුවන්ගේ හිස මතට තබා “උඹ විතරයි මෙතන ඉන්නේ, උඹවත් මෙතනම මරා දමා යනවා, හිටපු උන් කවුදැයි කියපං” යැයි කියා තිබේ. එහිදී බීමතින් සිටි රුවන් කුමාර “එහෙම වෙඩි තියන්නේ කොහොමද, පුළුවන් නම් වෙඩි තියපන්කෝ බලන්න. මාව මරන්න තරම් මන් වරදක් කළේ නෑ මෙතන” යනුවෙන් පවසා තිබේ. ඒත් එක්කම පොලිස් නිලධාරියා අත තිබූ ගිනි අවිය ක්‍රියාත්මක කර තිබුණේ රුවන් කුමාරගේ උරහිස පසාරු කරගෙන යවමිණි. වෙඩි ශබ්දයත්, රුවන්ගේ කෑ ගැසීමත් නිසා අවට ගම්වැසියන්ද එම ස්ථානයට එක්රොක් වීමත් සමග පොලිස් නිලධාරීන්ද කලබලයට පත්විය.

තමන් මුහුණු දුන් සිද්ධිය පිළිබඳව එක් දරු පියකු වූ 27 හැවිරිදි රුවන් කුමාර මෙසේ පැවසීය.

මම පොඩ්ඩක් බීලා හිටියේ. මම සූදුව ගහන තැන බිම වාඩි වෙලා බලාගෙන හිටියේ. එතකොටම එක සැරේටම වෙඩි තියාගෙන පොලිසියේ තුන්දෙනෙක් එතනට ආවා. කට්ටියම දිව්වා. මට දුවා ගන්න බැරි වුණා. මගේ ළඟට ආව පොලිසියේ එක්කෙනෙක් එයාගේ අතේ තිබ්බ ගිනි අවියෙන් මගේ උරහිසට වෙඩි තිබ්බා. මම වේදනාවෙන් කෑ ගහද්දිත් මට වෙඩි තියපු නිලධාරියා පාඩුවේ හිටියා. පස්සේ මගේ කෑ ගැසීම නිසා අවට කට්ටියත් එතනට ආවා. ඒ ආව අයගෙන් චාමර ප්‍රසන්න යන අයවත් අත්අඩංගුවට ගෙන මාංචු දැම්මා. ගමේ කට්ටිය මම වෙඩි වැදිලා හිටිය තැනට ඇවිත් පොලිසියට කෑ ගහනකොට මට වෙඩි තියපු පොලිසියේ කෙනාම බෙඩ්ෂීට් එකකින් මගේ උරහිස වෙළුවා. වෙඩි තැබීමෙන් මගේ ඇඟේ උණ්ඩ දෙකක් තියෙනවා. මම වේදනාවෙන් කෑ ගහද්දී හා ගමේ කට්ටියගේ විරෝධය නිසාත් පොලිසියේ අය ආව බයික් එකකම නන්වාගෙන මා පොලිසියට අරගෙන ගිහින් එතනත් මාව පැයක් එකහමාරක විතර තියාගෙන ඉඳලා පාන්දර 02.00ට විතර දෙබරවැව රෝහලට ඇතුළත් කළා. එතනින් මාව හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කළා. මාත් එක්ක අත්අඩංගුවට ගත්ත චාමරව මීටර් 500ක් විතර දුරක් අරගෙන ඇවිත් තෝ පලයන් යන්න කියා යැව්වා. මම වේදනාවෙන් කෑ ගහද්දිත් පොලිසිය කටයුතු කළේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන න්‍යායෙන්. මට පොලිසියෙන් වෙඩි තිබ්බා මදිවට මට බොරු නඩුවකුත් පටලවලා මාව රිමාන්ඩ් කිරීමටත් කටයුතු කළා. මම මට සාධාරණයක් ඉටු කරන්න කියලා තමයි ඉල්ලන්නේ’ යැයි ඔහු පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප තිස්සමහාරාම පොලිසියෙන්ද විමසීමක් කළ අතර එහිදී පොලිසිය පැවසුවේ තිස්සමහාරාම පොලිසියේ නිලධාරීන් තිදෙනකු විසින් බූරුපළක් වැටලීමට ගිය බවත්, එහිදී එහි සිටි එක් අයකු නිලධාරියකු හා පොර බැදීමක් සිදුව ඇති බවත්, එම අවස්ථාවේ එම නිලධාරියා සතුව තිබූ ගිනි අවිය ඉබේ ක්‍රියාත්මක වීමෙන් මෙම වෙඩි වැදීම සිදුව ඇති බවත්ය.

තිස්සමහාරාම රන්මිණිතැන්න සූදුපළේදි පොලිස් ගිනි අවිය ඉබේ පත්තු වෙයි
තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි

කෙසේ නමුත් වෙඩිවැදුණු පුද්ගලයාගේ වැඩිමල් සොහොයුරා වන එච්. කේ. රසික කුමාර යන අය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ හා අපක්ෂපාතී විමර්ශනයක් ඉල්ලා 01 වන දින හම්බන්තොට මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි අප කළ විමසීමකදී එහි හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකාරක තරංග එල්. පටබැඳි මහතා පැවසුවේ. ඒ අනුව ගොනු කරන ලද ලිඛිත පැමිණිල්ල පොලිස්පතිවරයා ඇතුළු වගකිවයුතු පාර්ශ්ව වෙත එහි පිටපත්ද සමග යොමු කළ බවද ඒ මහතා පැවසීය.

රන්මිණිතැන්න ගම්වැසියන් හා වෙඩි වැදුණු පුද්ගලයාගේ ඥාතීන් චෝදනා කරන්නේ පොලිසියේ තිදෙනා ඇවිත් වෙඩි තිබ්බා මදිවට රුවන් රෝහලට ඇතුළත් කරලා යළි එම ස්ථානයට ඇවිත් එම ස්ථානයේ තිබුණු සියලුම සාක්ෂි විනාශ කර දමා ගිය බවයි. එමෙන්ම මෙම ප්‍රදේශයේ හේන් ගංජා වගාවන් රැසක් පවතින බවත් ඒවායෙන් වැටලීම් නිලධාරීන්ට තුටුපඬුරු ලැබෙන බවත්ය. මෙම සූදුපළද කාලාන්තරයක සිට මෙම ස්ථානයේ පවතින එකක් බවත්, නියමිත වේලාවට තුටුපඬුරු නොලැබෙන විට පොලිසියේ ඇතැම් නිලධාරීන් මේ අයුරින් කටයුතු කරන බවත් ගම්මුන් පැවසීය. මේ වෙනකොට පොලිසිය විසින් වෙඩි වැදුණු පුද්ගලයාට අභූත චෝදනා රැසක් එල්ල කරමින් පොලිසිය විසින් තිස්සමහාරාම උසාවියට කරුණු වාර්තා කරලා රුවන් කුමාරව දින 07කට බන්ධනාගාරගත කිරීමට පොලිසිය කටයුතු කර තිබෙනවා ඉතා අසාධාරණ ලෙස. ගම්මුන් පවසන්නේ මෙතරම් කාලයක් තිස්සේ ඉතා ප්‍රසිද්ධියේ පවත්වාගෙන ගිය මෙම සූදුපළට එකවරම රෑ පොලිසියේ තිදෙනකු වෙඩි තියාගෙන ආවේ ඇයි? බීමතින් බිම වැටී සිටි පුද්ගලයාට වෙඩි තිබ්බේ කුමන අරමුණකින්ද?, එමෙන්ම බිම වැටී සිටින අයකුගේ හිසට ගිනි අවියක් තබා මරා දමන බවට පොලිස් නිලධාරියකුට තර්ජනය කළ හැකිද?, ගිනි අවියක් ලෝඩ් නොකර තිබියදී ඔටෝ එය පත්තු වෙන්නේ කෙසේද?, මෙම නිලධාරීන් රාජකාරිය සිදුකර ඇත්තේ බීමතින් සිටද?, වෙඩි තැබීමෙන් පසු වෙඩි වැදුණු පුද්ගලයා රෝහලට ඇතුළත් කර යළි එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් එහි තිබූ ලේ පැල්ලම් හා සාක්ෂි පොලිස් නිලධාරීන් විසින්ම විනාශ කළේ කුමක් නිසාවෙන්ද යන්න පිළිබඳව දැඩි සැකයක් පවතින බවත්ය. මේ නිසා මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ප්‍රදේශවාසීන් පවසති.

අත්අඩංගුවට පත් වෙඩි වැදුණු රුවන් කුමාර සන්තකයේ ගිනි අවියක් තිබූ බව ඇතුළු චෝදනා කිහිපයක් යටතේ තිස්සමහාරාම පොලිසිය විසින් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට සිදුකළ කරුණු වාර්තා කිරීමකට අනුව සැකකාර රුවන් කුමාර යන අය දින 07ක් දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා 31 වන දින නියෝග කර තිබේ. මෙහිදී ජංගම දුරකථනයක්, පඩංගුවක් හා රුපියල් 5900ක මුදලක්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව රුවන් කුමාර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේ වන විට හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තිස්සමහාරාම පොලිසියට චෝදනා එල්ලවීමත් සමග සිද්ධිය සම්බන්ධයෙන් හා වැටලීම සිදුකළ පොලිස් නිලධාරීන් තිදෙනාගේ ක්‍රියා කලාපය පිළිබඳව ද ගැටලු රැසක් මතුව තිබේ. ඒ හේතුව නිසාම මේ සම්බන්ධයෙන් දකුණු පළාත භාර ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, තංගල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. බී. කීර්තිරත්න යන මහත්වරුන්ගේ නියෝග පරිදි කඩිනම් විමර්ශනයක්ද ආරම්භ කර තිබේ.

මත්තල –
දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment