පස්දෙනෙක් ඉන්න ගෙදරක ඇඳුමක් ගන්නෙ පොඩි එකාට විතරයි

රටින් හතරෙන් එකක් අවුරුදු කන පළමු අවුරුද්ද

අන්තිම දවසෙවත් බිස්නස් එකක් වුණොත් තමයි

මේ බක් මාසය හෙවත් භාග්‍යවන්ත මාසයයි. ගොවි ජනතාවගේ අටුකොටු ධන ධාන්‍යවලින් පිරී ඉතිරී යන මාසයයි. අත මිට මිල මුදල් යහමින් ගැවසෙන මාසයයි. මනුෂ්‍ය වර්ගයා පමණක් නොව අප අවට ඇති පරිසරය ද මේ භාග්‍යවන්ත මාසය සැමරීමට සූදානම් වේ. එරබදු මල් රතට රතේ දිලිසෙමින් ගස්වැල් පලවැලවලින් පිරී ඉතිරී යන්නේ අපේ සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පරිසරය ද ආශිර්වාද කරන්නාක් මෙනි.

පරිසරය ඒ ආකාරයෙන් අලුත් අවුරුද්දට ලක ලෑස්ති වෙද්දී ජනතාවත් අලුත් අවුරුද්දට සති කිහිපයකට පෙර සිටම සූදානම් වෙයි. ගෙවල් දොරවල් සුද්ද පවිත්‍ර කරමින් තීන්ත ආලේප කරමින් පටන් ගන්නා අවුරුදු සූදානමේ ඊළඟ අදියර වන්නේ ගෙදර දොරට අවැසි බඩුමුට්ටු, ඇඳුම් ආයිත්තම් මිලට ගැනීමය. එම සූදානමේ ප්‍රධානම නගරය එසේත් නැතිනම් අවුරුදු සූදානමේ තරම කියාපාන කැඩපතක් වන්නේ කොළඹ පිටකොටුව ප්‍රදේශයයි. අවුරුද්දට මාසයකට එකහමාරකට පෙර සිටම පිටකොටුවේ කඩ සාප්පු අතිශයින් කාර්ය බහුල වන්නේ ඒ සූදානමේ ප්‍රතිඵලයක් හැටියටය. මෙවර එම සූදානම කෙසේදැයි දැනගැනීම සඳහා අප පිටකොටුව ප්‍රදේශයේ සංචාරය කළේ පාස්කු ප්‍රහාරයෙන් හා කොරෝනා වසංගතයෙන් අවුරුදු ගණනාවක් ගිලගත් අපේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මේ වසරේවත් ජනතාව මහත් ඉහළින් සැමරීමට සූදානම් වනවාදැයි විමසා බැලීමටය.

වසර විස්සකට අධික කාලයක් තිස්සේ කොළඹ අලුත් අවුරුදු සූදානම දකින අප හට මෙවරත් දක්නට ලැබුණේ කොළඹ මීට අවුරුදු අටකට දහයකට පෙර තිබුණු තත්ත්වයට තවමත් පත්ව නැති ආකාරයයි. වෙනදා මේ කාලය වනවිට අතුරු සිදුරු නැතිව පිරීයන කොළඹ නගරයේ අද එවන් තත්ත්වයක් දකින්නට නැත. ජනතාව තමන්ගේ රාජකාරි කටයුතු සඳහා කොළඹ නගරයේ ඔබමොබ ඇවිදිනවා හැරෙන්නට වෙළෙඳසල්, කඩ සාප්පු ආදියේ පොදි කන ජනතාවක් තවමත් දකින්නට නැත. ඒ වෙනුවට දකින්නට ඇත්තේ තැන් තැන්වල ජනතාව එකතු වී ආණ්ඩුවේ පතුරු අරින ආකාරයයි. මේ දිනවල ජනතාව ආණ්ඩුවේ නායකයන්ගේ දෙමව්පියන් පවා මතක් කරමින් බණින්නේ ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙනි. “උන්ගෙ ලොකු ලොකු වාහනවලට සහන අපට හුළං” යන වාක්‍ය යාන්තමට කන වැකුණේ තරුණයන් කීපදෙනකු පළමුවැනි හරස්වීදියේ ජංගම දුරකථන උපාංග අලෙවි කරන ලෑලි තට්ටුවක් අසලට වී ආවේගයෙන් කරන කතාබහක් අතරතුරය.

තවත් තැනක පසුගියදා පහළ දැමූ ගෑස් පිළිබඳ කතාව ය. රුපියල් 1300ට තිබුණු ගෑස් සිලින්ඩරය රුපියල් 135කින් මිල අඩුකර රුපියල් 4115 කට ආණ්ඩුව විකුණනවා යැයි තවකෙක් කියනු ඇසිනි. තවත් තැනක බඩු මිල පිළිබඳ කතා ය. තවත් තැනක මැතිවරණය පිළිබඳ කතාවය. ඒ එකදු තැනකවත් අලුත් අවුරුදු සූදානම පිළිබඳ කිසිදු කතාබහක් නැත. ජනතාවට දැන් අලුත් අවුරුද්ද ඇති නැති ගාණය.

මේ සියලු කතාබහ අතරින් අප මල්වත්ත පාර, පළමුවැනි හරස්වීදිය, දෙවැනි හරස් වීදිය, කෙළින් වීදිය වැනි ස්ථානවල සංචාරය කළේ අලුත් අවුරුද්දට ජනතාවගේ සූදානම පිළිබඳ සොයා බැලීමටය.

ගිනි ගහන මධ්‍යහ්නයේ නිකටට අත් තබාගෙන හිස් බැල්මෙන් පාර දෙස බලාසිටින වයස අවුරුදු හතළිහක් පනහක් යැයි සිතිය හැකි පුද්ගලයෙක් දෙස අපේ නෙත් යොමුවුණේ ඉබේමය. එම බැල්මෙහි ගැබ්ව තිබුණේ දහසකුත් එකක් ප්‍රශ්න හමුවේ ඔහු අසරණව ඇති සෙයකි.

“ඉතින් කොහොමද මුදලාලි බිස්නස් සරුද… සුපුරුදු පැනය අප ඔහු වෙත යොමුකළේ ඔහු තුළ හද තුළ කැකෑරෙන ප්‍රශ්න ගොන්නක් ඇතැයි කියා සිතුණු නිසාය.

පිටකොටුව බෝධිරාජ මාවතේ රෙදිපිළි අලෙවිසලක හිමිකරුවකු වූ කේ. එල්. ජී. මහින්ද මහතා ඔහුට මුහුණ දීමට සිදුව ඇති ප්‍රශ්න එකින් එක අප හමුවේ දිගහැරියේ මේ ආකාරයෙනි.

අවුරුදු සිරි හරියටම පේන පිටකොටුවේ වේළෙන බිස්නස්

“රටේ ආර්ථිකේ වැටිල කියන්නෙ මිනිස්සු දැන් බලන් ඉන්නෙ අවුරුදු කන්න නෙවෙයි උදේට කෑවොත් දවල්ට කන්නෙ කොහොමද කියලයි. එහෙම වාතාවරණයක් තුළ මිනිස්සු අවුරුදු සමරනව කියල කියන්නේ ගොඩක් අමාරු කාර්යයක් වෙලා තියෙන්නෙ. මිනිස්සුන්ට එදිනෙදා දේවල් කරගන්නවට අමතරව වෙනත් දෙයක් කරගන්න අමාරුයි අද තියෙන තත්ත්වයත් එක්ක. 30% විතර අවුරුද්ද සමරයි. අනෙක් අයට වෙන්නේ ඒගොල්ලො අවුරුදු සමරනව බලන් ඉන්න.

ආර්ථිකේ වැටෙන්න කලින් බිස්නස් එකක් තිබුණ. ගෙදරක පස්දෙනෙක් හිටිය නම් ඒ පස් දෙනාටයි තව යුතුකම් ඉෂ්ට කරන්න ඕන කෙනෙක් ඉන්නව නම් ඒ හැමෝටම අවුරුද්දට ඇඳුමක් අරන් දීල යුතුකම් ඉටුකරන සිරිතක් තිබුණ. දැන් යුතුකම් ඉටුකරනවා තියා තමන්ගෙ වැඩ කොටසවත් කරගන්න බැරි තත්ත්වෙකට ඇවිල්ල තියෙන්නෙ. පස්දෙනෙක්ගෙ පවුලක අද ඇඳුමක් ගන්නෙ පොඩිම දරුවට විතරයි. අද තමන්ගෙ අම්ම තාත්තට, සහෝදර සහෝදරියන්ට යුතුකම් ඉෂ්ට කරන්න අමාරුයි. වෙන අවුරුදුවලට වඩා මේ අවුරුද්දෙ ඇඳුම් මිල අඩුවුණත් ගන්න මිනිස්සු නැහැ.

බිස්නස් එකක් කරද්දි මේ වගේ සීසන් එකකදි ඕනම කෙනෙක් ලොකු මුදලක් යට කරනව. අතේ සල්ලි නැතිවුණාම ළඟ තියෙන බඩුවක් තියල හරි කාගෙන් හරි ඉල්ලල තමයි බඩු දාන්නෙ. එහෙම දාන්නෙ දාපු මුදල වගේම ලාබෙකුත් බලාපොරොත්තුවෙන්. නමුත් අපි බලාපොරොත්තු වන මුදල නොලැබීමෙන් වෙන්නෙ අපි ණයකාරයො වෙන එක.

මේ කඩේට කුලී ගෙවන්න ඕනෙ. ලයිට් බිල්, වතුර බිල් ගෙවන්න ඕනෙ. කලින් සේවකයො දෙතුන් දෙනෙක් වැඩ කරත් දැන්නම් තවත් කෙනෙකුට රස්සාවක් දෙන්න බැරි තත්ත්වයක් තියෙන්නෙ. අපේ බිස්නස් 60%කට වඩා අඩුවෙලා තියෙන්නෙ. මගේ ජීවිතේ මේ වගේ ආර්ථික පීඩනයක් දැනුනමයි.”

එම වෙළෙඳ සලෙන් සමුගත් අප ඉදිරියට ගමන්ගත් කෙටි දුර තුළ වෙළෙඳ සල් රාශියකින් අප හට එම වෙළෙඳසල් තුළට ආරාධනා කළේ අප පාරිභෝගිකයන් යැයි සිතා කෙසේ හෝ එක භාණ්ඩයක් හෝ විකුණාගැනීමේ අටියෙනි. බෝධිරාජ මාවත අවසන අඩි සීයේ පාර ආරම්භ වන ස්ථානයේ ඇති කුඩා වෙළෙඳ සල තුළ සපත්තු ගොඩගසා ඇතත් ඒ කිසිවක් මිලදී ගැනීමට කිසිදු පාරිභෝගිකයකු නැත. වෙළෙඳසල් හිමිකරුවන්ගේ සහ සේවකයන්ගේ මේ දිනවල එකම රාජකාරිය වී ඇත්තේ අල්ලාප සල්ලාපයේ යෙදීම පමණි.

අප වෙළෙඳ සලට ඇතුළු වනවාත් සමගම ඉදිරියට ආ මුදලාලි මහතා ආ… එන්න මහත්තයා අඩුකරල දෙන්නම්… යැයි පැවසීය. අප කවුරුන්දැයි හඳුනවා දුන් පසු එම වෙළෙඳ සලේ හිමිකරු වන එම්. ටාලිත් මහතා තම හඬ අවදි කළේය.

“මේ දවස්වල බිස්නස් හුඟක්ම අඩුයි. මිනිස්සු අතේ සල්ලිත් නෑ. ඒ වගේම වියදමත් සැරයි. ලයිට් බිල්, වතුර බිල් වැඩියි. මිනිස්සු හරි අමාරුවෙන් ජීවිතේ අරන් යන්නේ. අපිත් හරි අමාරුවෙන් බිස්නස් එකක් අරගෙන යන්නේ. වෙනද මේ වෙනකොට කරගන්න බැරිතරම් බිස්නස්. දැන් දවසටම කෑලි දෙක තුනකට වඩා විකුණගන්න බැහැ. ඒක මදි ජීවිතේ අරන් යන්න. ණය වෙලා තමයි අපි යන්නේ.

අඩු ගාණට මිනිස්සු පේව්මන්ට් එකින් බඩු අරන් යනවා. කොලිටිය බලන්නේ නැහැ. දැන් කඩවලට එන්නේ නැහැ. ඒකට මිනිස්සුන්ට දොස් කියන්න බැහැ. හැමෝම අමාරුවෙන්නේ ජීවත් වෙන්නේ. අපි විතරක් නෙවෙයි බඩු ගන්න මිනිස්සුත්, ලොකු මුදලාලිලත් ඒ තත්ත්වයටම තමයි වැටිලා තියෙන්නේ. කස්ටමස්ලා බඩු ගත්තොත් තමයි අපිට බිස්නස් තියෙන්නේ. අපි බඩු ගත්තොත් තමයි ලොකු මුදලාලිලට බිස්නස් තියෙන්නේ.

මේ පාර සිංහල අවුරුද්දයි, දෙමළ අවුරුද්දයි, මුස්ලිම් අවුරුද්දයි තුනම එකට ඇවිල්ලා තියෙන්නේ. ඒත් බිස්නස් නෑ. මොකද මිනිස්සු අතේ සල්ලි නැහැ. මිනිසුන්ට ඒකට තදින්ම බලපාල තියෙන්නෙ ලයිට් බිලයි වතුර බිලයි වැඩි වෙච්ච එක. අපිට වෙනද රුපියල් 3500යි ලයිට් බිල එන්නෙ. මේ පාර තිබුණු රස්නෙත් එක්ක වැඩිපුර ෆෑන් එක පාවිච්චි කරා. මේ පාර ලයිට් බිල රුපියල් 12,500යි. හැම කෙනාටම ඔය වගේ තමයි. කන්න බොන්න බඩු ගන්න තියෙන සල්ලි ටිකෙන් බිල් ගෙවන්න වෙලා. මේකෙන් වෙන්නේ අපි ණයකාරයෝ වෙන එක. දැන් අපිට වෙලා තියෙන්නේ හොරු වගේ හැංගිලා ජීවත් වෙන්න. අපි රෝලක්නේ අරන් යන්නේ. ඒක එක තැනකින් හිරවෙච්ච ගමන් ඔක්කොම ඉවරයි.

දැන් ගොඩක් කඩවල හිටපු සේවකයෝ අයින් කරලා. අල්ලපු කඩේ කෙනා පොඩි සයිඩ් සපෝට් එකක් දීගෙන වැඩේ කරගෙන යනවා.”

එම්. ටාලිත් මහතාට සමුදුන් අප සහල්, පරිප්පු, අල, ලූනු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත හතර වන හරස්වීදිය දෙසට ගමන් කළේ ඇඳුම් පැළඳුම් නැතත් මිනිස්සු අවුරුද්දට කන බොන ටිකවත් ගන්නවාදැයි දැනගැනීම සඳහාය.

ඒ. ෂන්මුගරාජා මහතා හතර වන හරස්වීදියේ තොගබඩු අලෙවිසලක හිමිකරුවෙකි. මේ අලුත් අවුරුද්ද ඔහුට දැනෙන ආකාරයයි.

“ඉස්සර වගේ දැන් වෙළෙඳාම නැහැ. හුඟාක්ම අඩුයි. බී ලූනු 450යි 500යි. චයිනා එක විතරක් තුන්සීයයි. ඒක කවුරුවත් ගන්නේ නැහැ. හාල් පරිප්පු මිල දවසින් දවස වෙනස් වෙනවා. මේ අවුරුදු සමය කියලා අපිට තේරෙන්නේ නැහැ. මිනිස්සු ගොඩක්ම අඩුයි. අවුරුදු සමය නෙමෙයි වෙනද සාමාන්‍ය විදිහට යන වෙළෙඳාමවත් දැන් නැහැ. දැන් සියයට විස්සක් විසිපහක්වත් බිස්නස් එක නැහැ. උදේ ඉඳන් කඩේ ඇරලා ඔහේ බලාගෙන ඉන්නවා. ගිය අවුරුදුවල කන්නවත් වෙලාවක් නැහැ. ඒකට මේ පාර. කාල නින්දකුත් දාන්න පුළුවන්.

වෙනද මේ පාරේ මිනිහෙකුට යන්න එන්න බැහැ. කරත්තෙකට යන්න බැහැ. ලොරි ගහලා හැමතැනම. ඩ්‍රයිවර්ලා කොළඹ එන්න කැමති නැහැ. ඒ තරමට තදබදය. ඒත් දැන් බලන්න මුළු පාරම හිස්. අවුරුදු සීසන් නෙවෙයි දැන් නෝමල් සීසන්වලටත් වඩා බිස්නස් අඩුයි. වෙනද මාර්තු මාසෙ ඉඳන්ම කරගන්න බැරිතරම් බිස්නස්. මේ පාර අන්තිම දවස් දෙකේ තුනේ මිනිස්සු ආවොත් තමයි බිස්නස් එකක් තියෙන්නේ. නැත්නම් සොරි තමයි.”

ෂන්මුගරාජා මහතා පැවසූ කරුණ සත්‍යයකි. වෙනදා මේ අතුරු මාර්ග දිගේ අවුරුදු සමයට තියා සති අන්ත දිනයකවත් පයින් ඇවිද යෑමට නොහැකි තරම් රථවාහනය. බඩු පටවාගත් කරත්තය. තමන්ගේ බර මෙන් දෙතුන් ගුණයක් හිස මත බර පටවාගත් නාටාමිවරුන්ය. නමුත් අද ඒ කිසිවකු දකින්නට නැති ගාණය. ඒ තරමට කොළඹ පාරවල් පාළු වී ඇත.

අතුරු මාර්ග දිගේ ඉදිරියට ගිය අප පළවෙනි හරස් වීදියේ පදික වේදිකාවේ අත් ඔරලෝසු විකුණන කඩවසම් තරුණයෙක් ඉදිරියේ නතරවිණි. ඔහු නමින් මොහොමඩ් රියාස්ය. අපි සුපුරුදු පරිදි අපේ පැනය ඔහු වෙත යොමු කළේය. සමච්චලයට මෙන් සිනහසුණු ඔහු “මොන බිස්නස් ද මහත්තයා පේන්නේ නැද්ද වේලෙනවා.” යැයි පැවසීය. ඒ අතරතුර කාන්තාවක් පැමිණ ඔරලෝසුවල මිල ගණන් විමසා නැවත තිබූ තැනින්ම තබා පිටත්ව ගියේ ලොකු ලොකු වෙළෙඳසල්වලින් නොව අඩුම ගණනේ පේව්මන්ට් එකේ තියෙන ඔරලෝසුවක්වත් මිලට ගැනීමට තරම් ජනතාව අතේ මුදල් නොමැති බව සනාථ කරමිනි.

“දැක්කනෙ මහත්තයා මිනිස්සු ඇවිල්ලා බලලා යනවා විතරයි. ගන්නෙ නැහැ. මිනිස්සුන්ට ගන්න සල්ලි නෑ. ගිය අවුරුදු වගේ නෙවෙයි මේ පාර මිනිස්සු ඇත්තෙම නෑ. මේ තියෙන බිස්නස් එකෙන් යන්තම් දවස ගැට ගහගන්නවා විතරයි. ඊට වඩා දෙයක් කරන්න බැහැ. මේකෙන් හම්බු කරන සල්ලිවලින් බිරිඳයි ළමයයි නඩත්තු කරන්න ඕනේ. බිස්නස් එක වැඩි දියුණු කරගන්න ඕනේ. ඒත් දැන් බිස්නස් නැති නිසා හම්බෙන කීය හරි ඉතුරු කරගන්න බැහැ නිකන්ම වියදම් වෙලා යනවා.

මම මෙතනට බිස්නස් කරන්න ඇවිල්ලා දැන් අවුරුදු අටකට වැඩියි. මගේ මේ ජීවිත කාලය තුළම කොරෝනාවලට රට වැහුවට පස්සේ බිස්නස් අඩුම අවුරුද්ද මේක. මේ පාර බිස්නස් 80%කට වඩා අඩු වෙලා තියෙන්නේ.”

පැවති දැඩි හිරු රශ්මියත් සමග අප දෙවැනි හරස් වීදිය දිගේ තැඹිලි කරත්තයක් තල්ලු කරගෙන ගිය තරුණයකුයෙන් අලුත් අවුරුදු කොහොමදැයි ඇසීය. “විකාර කතා කරන්න එපා මහත්තයා. මොන අවුරුදුද. අපි මේ ජීවිතේ ගැටගහගන්න හෙණ ගේමක් ගහනව. මෙච්චර පායන කාලයක් වෙලත් තවම තැඹිලි ගෙඩි 20ක් විකුණගන්න බැරිවුණා. මහත්තයල අවුරුදු ගැන කතා කරනව.”

අතේ පිහියකුත් තියාගෙන සිටි තරුණයාගේ ස්වභාවය එතරම් හොඳ නැති බව තේරුම්ගත් අප හිමින් සීරුවේ එතැනින් මාරුවිණි.

අප කතාබහ කළ සියලු දෙනා පැවසූ කාරණය වන්නේ පසුගිය හැම අවුරුද්දකටම වඩා මේ පාර දැඩි දුෂ්කරතාවකට පත්ව ඇති බවයි. ජනාධිපතිවරයා එම තනතුරට පත්වුණු මොහොතේ පටන් පවසන්නේ ඉදිරි මාස හය දුෂ්කර කාල පරිච්ඡේදයක් බවයි. ඉතා අසීරුවෙන් වැල් පාලමෙන් ගොඩවිය යුතු බවයි. ජනාධිපතිවරයා දුෂ්කරක්‍රියා කරන සය මාසය තවමත් නිමා වී නොමැත. ජනාධිපතිවරයා නොදන්නවාට මේ වනවිට ජනතාව වැල් පාලමෙන් පහළට වැටී යළි ගොඩ ආ නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ජනාධිපතිවරයාගේ උපදේශකයකු හෝ ඔහුට අවබෝධ කළහොත් 2025 වසරවත් වැටී සිටින වළෙන් ජනතාව ගොඩගෙන සියලු දෙනාටම එකට සැමරිය හැකි සුබ අලුත් අවුරුද්දක් නිර්මාණය කරගත හැක.

සමීර කන්නන්ගර
ඡායාරූප – රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment