බඩු හංගලා ගාණ අරින මෝල්කාරයෝ හා කූට වෙළෙන්දෝ

‘පිටකොටුවේ කීරි සම්බාත් මිසින්’

රටේ සහල් හිඟයක් නෑ…

ආණ්ඩුව වී ගන්න කොට ගොවියා විකුණලා ඉවරයි

මේ සූදානම සහල් ආනයනයට

මෝල්කරුවන් හදන්නේ වැඩිමිලට හාල් විකුණන්න
ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්

“හාල් ගිනි ගණන්” කියන කතාව දැන් නැවතත් ජනතාව අතර කතාබහට ලක්ව පවතින්නකි. තවද එළැඹෙන උත්සව සමය අරබයා හාල් මිල ගණන් ඉස්සීමට වෙළෙඳ ප්‍රජාව උත්සාහ ගන්නා බවද බොහෝ පාරිභෝගිකයෝ චෝදනා කරති. මහකන්නයේ වී අස්වැන්න මේ වනවිට කැපී අවසන්ව ඇති නමුත් වෙළෙඳපොළ තුළ පවත්නා “සහල් මාෆියාව” තවමත් නතර වී නැති තරම්ය. මෙයට හේතු බොහෝමයකි. පසුගිය අවුරුදු කිහිපය තුළ මෙරට වී ගොවියාගේ වී අස්වැන්න මිලදී ගැනීමට රජයේ වී අලෙවි මණ්ඩලය අපොහොසත්වීම එක කාරණයකි. අනෙක් කාරණාව වන්නේ මෙරට වෙළෙඳපොළ තුළ සහල් මිලේ මිල තීරකයා වන්නේ මහාපරිමාණ වී මෝල්කරුවන් වීමය. තවද නැති සහල් හිඟයක් මවාපාන මෙරට වෙළෙඳ ප්‍රජාවද මෙම ප්‍රශ්නයේ කොටස්කරුවන්ය.

සහල් මිලේ දැන් තත්ත්වය

අවුරුදු කාලෙටම හිටු කියලා නගින සහල්

සාමාන්‍ය වෙළෙඳසල්වල සහල් මිල කෙමින් කෙමින් වැඩිවන තත්ත්වයක් නිරීක්‍ෂණය කළ විට පෙනෙන්නට ඇත. දැනට පවතින මිල ගණන් අනුව නාඩු සහල් කිලෝව රුපියල් 230 කි. සම්බා සහල් 230 – 250 ත් අතර මිලක පවතී. සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 200-210 ත් අතරය. රතු කැකුළු කිලෝවක් රුපියල් 165-170 ත් අතර මිලක පවතී. මෙහි දැකගත හැකි සුවිශේෂී කරුණ වන්නේ වෙළෙඳපොළ තුළ කීරි සම්බා සහල් හිඟයක් පැවතීමය. සාමාන්‍ය වෙළෙඳපොළ තුළ සහල් මිල ඉහළ අගයක පැවැතියද තොග වෙළෙඳපොළෙහි සහල් මිල තත්ත්වය ගැන සොයා බැලීමට මෙරට සහල් තොග අලෙවිකරුවන් අතර ප්‍රධාන තැනක් උසුලන පිටකොටුව පස්වන හරස් වීදියේ හා හතරවන හරස්වීදියේ පිහිටා ඇති සහල් තොග වෙළෙඳසල් කිහිපයකටම ගොස් සහල් මිල පරීක්‍ෂා කළෙමු. මෙම වෙළෙඳසල්හි සිටින ව්‍යාපාරිකයන්ගෙන් පවතින සහල් මිල විමසීමේදී ඒ ගැන ඔවුන් දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයකි.

“හාල් මිල ටිකක් වැඩිවෙලා තියෙන්නේ. තවම තියෙන්නේ කලින් ගෙනාපු සහල්. අලුත් සහල් තවමත් වෙළෙඳපොළට ආවේ නැහැ. ඉදිරියේදී සහල් මිල තව ටිකක් වැඩිවෙයි.” ඔහුගෙන් සහල් මිල ගණන් විමසීමේදී පවතින සහල් මිල ගැන විස්තරයක් අපට ලබාදුන්නේය.

ඒ අනුව සුදු කැකුළු සහල් කිලෝවක තොග මිල 190-200 අතර පවතී. රතු කැකුළු සහල් රු. 165-175 කි. රතු සම්බා හා සුදුසම්බා සහල් කිලෝවක තොග මිල 220-230 කි. නාඩු සහල් කිලෝවක තොග මිල 205-210 අතරය. කීරි සම්බා 350-400 අතර පවතී. බොහෝ ව්‍යාපාරිකයන්ගෙන් කීරි සම්බා ගැන ඇසූ විට ඔවුන් කියා සිටියේ කීරි සම්බා සහල් වෙළෙඳපොළ තුළ පවතින්නේ ඉතා අඩුවෙන් බවත් තිබෙන සහල්ද ඉතා ඉහළ මිලක පවතින බවත්ය. ඇතැම් ස්ථාන වෙත ගිය අපට දැකගත හැකිවූයේ කීරි සම්බා සහල් ඇටයක්වත් මේ කියන ස්ථාන තුළ ඇසට පෙනෙන මානයක නොතිබෙන බවකි.

උත්සව සමයට කලින්ම හැංගෙන කීරි සම්බා

එළඹෙන උත්සව සමයට පෙර සිටම කීරි සම්බා සහල් වෙළෙඳපොළ තුළ හිඟයක් පවතින බව එහි නිරීක්‍ෂණය කළ අපට පෙනී යන කාරණයකි. පිටකොටුව ආශ්‍රිත සහල් තොග වෙළෙඳසල් වෙත ගොස් විමසූ විට මේ බව තහවුරුකර ගැනීමට අපට හැකිවිය. ඇතැම් වෙළෙඳසල් මගින් අපට කියා සිටියේ කීරි සම්බා අවශ්‍යනම් ඒ සඳහා අදාළ වෙළෙඳසල් තුළට පමණක් යායුතු බවය. මේ කතාවෙන් හෙළිවන්නේ අවුරුද්දට කළින්ම පිටකොටුවේ කීරි සම්බාත් අතුරුදන්වී ඇති බවය. තවත් විදියකින් කිව්වොත් මෙම වෙළෙඳසල් හිමිකරුවන් ළඟ අවුරුද්දට කල් තියාම කීරි සම්බා සහල් හංගා ගේම ගැසීමට කල්යල් බලා සිටින බවය. පිටකොටුවේ වෙළෙඳසල් අතර ඉතා අවම ප්‍රමාණයක පමණක් කීරි සම්බා සහල් ඇතත් තිබෙන සහල් රුපියල් 400 ක් පමණ බව අපට දැනගන්නට ලැබිණි. මෙවැනි තොග මිල පමණක්ම රුපියල් 400 ක් වන මේ කීරි සම්බා සහල් සාමාන්‍ය වෙළෙඳසලකදී තවත් ඉහළ මිලකට විකිණෙනු ඇත. එසේ නම් ළඟ අවුරුද්දට කීරි සම්බා මිනිස්සුන්ට කන්න වෙන්නේ ගිනි ගාණටය.

පාලන මිල කැලේ පාරිභෝගික අධිකාරියත් නිදි

සහල් සඳහා පාලන මිලක් තිබුණද මේ වනවිට එම පාලන මිල ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත. මෙරට පාරිභෝගික අධිකාරිය නින්දේ පසුවෙත්දී කූඨ වෙළෙඳ ව්‍යාපාරිකයන් තමන්ට හිතූ හිතූ මුදලට සහල් අලෙවි කරන ආකාරය වෙළෙඳසල් නිරීක්‍ෂණය කළ විට පෙනෙන කරුණකි. තවමත් පාරිභෝගික අධිකාරිය කරන්නේ රූපවාහිනිය ඉදිරියේ මාධ්‍ය සංදර්ශන පමණකි. වැටලීම් කරනවා නම් පාරිභෝගික අධිකාරියට බොහෝ දුර යෑමට අවශ්‍ය නැත. පිටකොටුවේම හාල් ගණන් උස්සන මුදලාලිලාට නීතිය ක්‍රියාත්මක කිරීමට ඔවුනට හැකියාවක් ඇත. එහෙත් සිදුවන්නේ එය නොවන බවත් තෝරු මෝරු සිටියදී හාල්මැස්සන් පමණක් අත්අඩංගුවට ගන්නා පාරිභෝගික අධිකාරිය තීන්දු ගන්නේ කැකිල්ලේ රජුන්ගේ තීන්දුමය. එමෙන්ම මෙරට සහල් මිල තීරකයා වන මහාපරිමාණ සහල් මෝල් හිමියන් ගැනද මේ කියන පාරිභෝගික අධිකාරිය මීට වඩා සැලකිලිමත් විය යුතුය.

තොග මිල වැඩිවෙන විට ඉබේම වැඩි වන හාල් මිල

තොග මිල වැඩිවෙන විට හාල් මිල වැඩිවන්නේ ඒ සඳහා වියපැහැදම් වන අනෙකුත් වියදම්ද සමඟය. බොහෝ විට ප්‍රවාහනය සඳහාම අධික මිලක් දැරීමට සිදුවීම ප්‍රධාන කරුණකි. තවද සේවක පඩි නඩි හා අනෙක් වියපැහැදම්ද මේ කියන තොග මිලටම එකතු කරන්නට ව්‍යාපාරික ප්‍රජාවටද සිදුවනු ඇත. තවද සහල් මිල ඉහළ යන්නේ ප්‍රධාන ව්‍යාපාරික ස්ථානවල වෙළෙඳ ව්‍යාපාරිකයන් මවනා කෘත්‍රීම සහල් හිඟය නිසාවෙනි. මේ හේතුවෙන් ඇතැම් සහල් වර්ග වෙළෙඳපොළ තුළ නොමැති වීමෙන් මෙම සහල් ප්‍රශ්නය තවත් වැඩිවනු ඇත. කොටින්ම කිවහොත් කීරි සම්බා සහල් වෙළෙඳපොළ තුළ හිඟයක් පවතින නිසා ඇතැම් වෙළෙඳුන් කීරි සම්බා සහල් අලෙවි කරන්නේද තමන්ට හිතෙන ගණන් වලටය. වෙළෙඳපොළෙහි සහල් මිල ඉහළ යවන්නේද මේ කියන ව්‍යාපාරික ප්‍රජාවමය. වී මෝල් මුදලාලිලාද මේ කියන සහල් කතාවේ ප්‍රධාන කොටස්කරුවෝ වෙති. මේ මෝල් මුදලාලිලා විසින් මෙරට වී
ගොවියාගෙන් ඉතා අඩු මුදලකට වී තොග මිලදී ගෙන ඔවුන් විසින්ම සහල් හිඟයක්ද මවා පා තමන් සතු වී තොග සහල් බවට පත්කර වැඩි මිලකට වෙළෙඳපොළට අලෙවි කරන්නට යෙදෙන්නේ ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙළාගන්නා අටියෙනි. එමෙන්ම තොග මිල වැඩිවන විට තොග මිලට සාපේක්‍ෂව එම මුදලට වඩා රුපියල් 5-10 ක් වැඩියෙන් සිල්ලර කඩ මුදලාලි විසින් සහල් විකුණනු ලබයි. දැනට වෙළෙඳපොළ තුළ පවතින සහල්වලින් බොහොමයක්ම රුපියල් දෙසීයේ සීමාව පැන ඇත්තේද එහෙයිනි.

පවතින තත්ත්වය පිළිබඳ ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතාගෙන් විමසීමේදී ඔහු දැක්වූයේද මෙවන් අදහසකි.

“මෙවර මාස් කන්නයේ වී වගාකරල තියෙන්නේ හෙක්ටයාර හත්ලක්‍ෂ විසිපන්දහසකට අඩු ප්‍රමාණයක්. මෙවර අපේක්‍ෂිත වී ප්‍රමාණය පිළිබඳව කිසිදු හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අදාළ විෂය භාර කෘෂිකර්ම ඇමැතිවරයා කියනවා රට සහලින් ස්වයංපෝෂිතයි කියලා. 2021 ට පෙර කුඹුරු අක්කරයකින් වී කිලෝ 2000-3000 ගත්තා. නමුත් මේ පාර අස්වැන්න අක්කරයකින් වී අස්වැන්න 1500-2000 වැනි ප්‍රමාණයක් තමයි තිබෙන්නේ.

පසුගිය යල කන්නයේ ගොවිජන සේවා මධ්‍යස්ථානවලට, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවලට ගොවියන්ට කලට වෙලාවට පොහොර ටික දී ගන්න බැරිවුණා. වන්දි මුදල් දීගන්න බැරිවුණා. පොහොර සහනාධාරය සඳහා නිකුත් කරන මුදල් ටික දීගන්න බැරිවුණා. නමුත් කෘෂිකර්ම ඇමැතිවරයා මාධ්‍ය ඉදිරියේ සපයන්නේ විහිළු.

වී අලෙවි මණ්ඩලය

“අද වනවිට වී අලෙවි මණ්ඩලය ස්වභාවිකව මරණයට පත්වී හමාරයි. 0.001%ක් වත් ආහාර සංචිත පවත්වා ගන්න අසමත්වෙලා. මෙවරත් අස්වනු නෙළීමෙන් පසුවයි වී අලෙවි මණ්ඩලය මුදල වෙන්කර ගත්තේ. මේ නිසා ගොවියා වී ටික දුන්නේ පුද්ගලික වෙළෙඳුන්ට. ඒ වී ටික වේලන්නේවත් නැතිව. ආණ්ඩුවේ මිලට වඩා රුපියල් 10-12 ක් වැඩියෙන් මේ කියන මෝල්කරුවන් වී මිලදී ගත්තා. හම්බන්තොට, අනුරාධපුර, නොච්චියාගම ඇතුළු වී අලෙවි මණ්ඩලයේ වී ගන්නා ස්ථාන 10 ක් පමණ තමයි වී ගන්නේ. ගොවියා වී අස්වනු නෙළා පෞද්ගලික වී වෙළෙඳුන්ට විකුණුවට පස්සෙ තමයි මේ අලෙවි කියන වී අලෙවි මණ්ඩලය වී ගන්නෙ. අද ගොවියාට වී වේලන්නත් රුපියල් 12,000 ට වඩා යනවා. ඒ නිසා තෙත පිටින්ම වී ටික වී මෝල්කරුවන්ට දෙන්න ගොවියා දැන් පුරුදු වෙලා ඉන්නෙ. මෙරට තුළ වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 350 තිබුණත් මේ වනවිට 38 ක් වැනි ප්‍රමාණයක් තමයි වී මිලදී ගන්නේ.

අවුරුදු කාලෙටම හිටු කියලා නගින සහල්

ඔහු පෙන්වා දෙන්නේ මෙරට වී අලෙවි මණ්ඩලය කලට වේලාවට අවශ්‍ය තීන්දු තීරණ නොගැනීම නිසා මෙරට ගොවියාගේ වී තොග වී මෝල්කරුවන් විසින් මිලදී ගන්නා බවයි. තවද එදා සිට මේ දක්වාම රටේ වී අලෙවි මණ්ඩලය බෝඩ් ලෑල්ලට පමණක් සීමාවී තිබෙන බවටද ඔහු කියූ කතාවෙන් අපට තේරුම්ගත හැක. රටෙහි වී අලෙවි මණ්ඩලය සතුව ගබඩා 350 ක් පැවතියත් විවෘතව තබන්නේ එයින් 38 ක් වැනි කුඩා ප්‍රමාණයකි.

පසුගිය දිනවල වාර්තා වූයේද වී අලෙවි මණ්ඩලයේ ගබඩා වල රතු නාඩු පමණක්ම තිබෙන බවකි. එහි සභාපතිවරයා කියන පරිදි මිලදී ගත් කිලෝ ලක්‍ෂ 15 කින් 98% ක් ඇත්තේ රතු නාඩු පමණක් බවය. මෙවැනි වාතාවරණයක් යටතේ රජය විසින් ගෙන යන වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ නිසියාකාරව ක්‍රියාත්මක නොවීමත් සහල් මිල ඉහළ යෑමටත් හේතුවක් බව පෙනී යන කරුණකි.

අවුරුද්ද නිසා වී ගැනිල්ලත් පස්සට..

සිංහල දෙමළ අලුත් අවුරුද්ද අවසන් වන තුරු වී අලෙවි මණ්ඩලය මගින් වී මිලදී ගැනීම තාවකාලිකව නවතා ඇති බව එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ කියා සිටියි. එයට හේතු ලෙස ඔවුන් කියා සිටින්නේ ගොවීන් වී අලෙවියෙන් පසු ඒ සඳහා ගෙවනු ලබන මුදල් බැංකුව මගින් ගෙවීමේදී සිදුවිය හැකි ප්‍රමාදයන් හේතුවෙන් මෙම පියවර ගත් බවකි.

සහල් හිඟයක් නෑ…හිඟය මවන්නේ මහා පරිමාණ මෝල්කරුවන් හා මුදලාලිලා

සහල් හිඟයක් වෙළෙඳපොළ තුළ පවතින බව ප්‍රචාරය ගියද අනුරාධ තෙන්නකෝන් මහතා පවසන්නේ එයට හාත්පසින්ම වෙනස් කථාවකි.

“වෙළෙඳපොළ තුළ දැනට මතයක් තියෙනවා සහල් වල හිඟයක් තිබෙනවා කියලා. එහෙම සහල් හිඟයක් කොහේවත් නැහැ. මේ ඇතැම් සහල් ආනයනය කරන මුදලාලිලා හා පිටකොටුවේ කූඨ වෙළෙඳුන් කිහිපදෙනකු විසින් කරන වැඩක්. මේ අය කරන්නේ හාල් තොග හංගලා කෘත්‍රිමව සහල් හිඟයක් මවාපෑමයි. පාරිභෝගික සේවා අධිකාරිය අසමත් වෙලා තිබෙනවා සහල් කිලෝවක් නිෂ්පාදනය කරන්න යන පිරිවැය විද්‍යාත්මකව ගණනය කර මිල නියාමන කොමිෂන් සභාවක් ස්ථාපනය කරන්න. එවිට රටේ ගොවියාටත් සහනයක් ලැබෙනවා. දැන් පාරිභෝගික අධිකාරිය කරන්නේ සීත කාමර තුළ ටයිකෝට් දමාගෙන කොළඹ වෙළෙඳුන්ගෙන් සහල් මිල අරගෙන ගැසට් ගහන එක. මේ ගැසට් ප්‍රායෝගික නැහැ. ආණ්ඩුවේ සැලැස්ම වන්නේ මේ රටේ සහල් මිල ඉහළ හේතුකොටගෙන එය පාලනය කිරීමට පිටරටින් සහල් ආනයනය කිරීමට. වෙළෙඳ අමාත්‍යාංශයේ හා මහ භාණ්ඩාගාරයේ ඇතැම් නිලධාරීන් මේ කියන ආනයන ජාවාරමට සම්බන්ධයි. මේ උත්සව සමයේ සහල් හිඟයක් සම්බන්ධයෙන් කතාබහ ඇතිකිරීමෙන් සහල් හිඟයක් මවාපාන ආණ්ඩුව කරන්නේ ආනයනකරුවන් ලවා සහල් ආනයනය කොට අතයට කොමිස් ගැනීමට දරන වෑයමක්.”

කඩා වැටුණු කෘෂිකර්මාන්තය හා ජනජීවිතය

ගෝඨාභය රාජපක්‍ෂ ගෙන ආ කාබනික පොහොර ප්‍රශ්නය හේතුවෙන් අපේ රටේ කෘෂිකර්මාන්තය අඩියටම පසුගිය කාලය තුළ වැටිණි. මේ හේතුවෙන් මෙරට බෝග වගාව හා කෘෂි නිෂ්පාදන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමකට ලක්විය. අනුරාධ තෙන්නකෝන් පවසන අන්දමට මෙරට ගොවියාට කෘෂි නිෂ්පාදන විකුණා ගන්න හැකියාවක් අද ගොවියාට නැත. රටේ සහල් ඒකාධිකාරිය මෙරට මෝල්හිමියන් සතුව පවතිද්දී ඔවුන් රිසි පරිදි හාල් මිලට ඉහළ යැවීමෙන් මෙරට ජනතාවට පසුගිය වසර කීපය තුළදී මෙන්ම මෙවර අලුත් අවුරුද්දේද සිදුවන්නේ හාල් මිලෙන් බැට කෑමටය. මාධ්‍ය ඉදිරියට පැමිණ මහා පරිමාණ හාල් ව්‍යාපාරිකයන් කියන්නේ එළඹෙන උත්සව සමයේ සහල් හිඟයක් ගැනය. හිඟය කෙසේ වෙතත් දැනටත් පාරිභෝගික අධිකාරිය තමන්ගේ රාජකාරිය නියමිත පරිදි ඉටුකරන බවක් නම් අපට පෙනී යන්නේ නැත. මේ කියන මහා පරිමාණ මෝල් හිමියන් කරන්නේ හොරාට පෙර මුට්ටිය දමා බැලීමටය. එහෙත් මෙරට කිසිදු සහල් හිඟයක් නොමැති බවද අනුරාධ තෙන්නකෝන් පුන පුනා කීවද බොරදියෙහි මසුන් බා ගන්නා මේ මෝල්කරුවන් හදන්නේ උත්සව සමයේ රටේ ජනතාවගේ පොකැට්ටුවට විදීමටය. මේ නිසා අප හැම විටම කියා සිටින්නේ පවතින සහල් මාෆියාවේ හොර දෙටුවන්ට වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. ආණ්ඩුවද දැන් කියන්නේ රටේ හාල් හිඟයක් පැවතුන හොත් රටින් හාල් ආනයනය කරන බවකි. තවද ආණ්ඩුව සැලසුම් කර ඇති පරිදි අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් නොමිලයේ ලබාදීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ කියන තරම් සහල් බෙදාදීමට ආණ්ඩුවේ වී අලෙවි මණ්ඩලය සතුව සහල් නොමැති වීමය. එසේ නම් ආණ්ඩුව මේ සැරසෙන්නේ පිටරටින් සහල් ආනයනයට නොවේද? පසුගිය වසර වල මෙන් සහල් ආනයනය කරන ව්‍යාපාරිකයා තර කොට කොමිස් මුදල් ලැබෙන ක්‍රමවේදයකට පිඹුරුපත් මේ කියන රජයේ නිලධාරීන් දැනටමත් සකසා ඇතැයි අප විශ්වාස කරමු. පිටරට සහල් කතාව කෙසේ වෙතත් මෙරට පවතින සහල් මාෆියාවට නීතියේ වැටබැඳිය යුතුමය. නැතහොත් සිදුවන්නේ හොරුන්ට හා කූඨ වෙළෙඳුන්ට රජ කරන්නට දී දුප්පතා කුසගින්නේ මියැදීම බලාසිටීමය.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment