කුඩුත් විකුණලා කරන්දෙණිය සුද්දාගේ ගෝලයෙක්

අයියයි මල්ලියි දෙන්නම ආමි එකේ

පැයක් ඇතුළත හතරක් මරලා

“ලේ පිපාසිත බන්දුට අපි කියනවා වධක බන්දුට අපි කියනවා මේවා වහාම නවත්වන්න. නැත්නම් ඉදිරියේදී බන්දුට රනිල් උන්නැහැ ඉන්නකම් ඔය සෙල්ලම් දාවි. රනිල් උන්නැහැ හැමදාම ඔය පුටුවේ ඉන්නේ නැහැ. බලය නැතිවුණදාට එදා අරගලයේ කාපු ටොකු නෙවෙයි බන්දුට කන්න වෙන්නේ. රටේ ඉන්නත් නැති වෙනවා” එලෙස පවසමින් සුපුරුදු පරිදි අපරාධකරුවන් වෙනුවෙන් රෙදි නොමැතිව පෙනී සිටින සංවිධානයක් පසුගිය දිනක මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය. ඉන්පසු කාන්තාවක් පැමිණ මෙලෙස පැවැසුවාය.

“මම හොරොව්පතාන අතුරුදන් වූ කපිල කුමාර සිල්වාගේ මව. මගේ නම කුමුදුනි ජයසේකර. මම පදිංචි පොත්තවල පාර, කහව කියන ලිපිනයෙ. මගේ පුතා පසුගිය මස 27 වැනිදා සවස 6.30ට පමණ පාන් ගේන්න කඩේට ගිය වෙලාවේ ඉඳන් අතුරුදන් වෙලා ඉන්නේ. මගේ පුතාට දුවලා දෙන්නෙක් ඉන්නවා. අද වෙනතුරු එයා ගැන ආරංචියක් නැහැ. ආරක්ෂක අංශ කියන්නේ ඒගොල්ලො ළඟ නැහැ කියලා. ඒ වුණාට පුතා අතුරුදන් වෙන්නේ පසුගිය 27 වැනිදා සවස ගෙදරින් පාන් ගෙන්න ගියාට පස්සේ. එදිනම අපේ
ගෙදරට එනවා සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන් හයදෙනෙක් සහ කාන්තාවෝ දෙදෙනෙක්.”

“එලෙස ආපු අය අපේ දුරකථන අරගෙන අපිව වෙන වෙනම කාමරවලට දැම්මා. ඊට පස්සේ මට ඇහුණා මගේ මහත්තයට පරුෂ වචනවලින් බනිනවා. එතකොට මම කිව්වා එහෙම බනින්න එපා මගේ මහත්තයා ලෙඩෙක්. එයා පොඩි දේටත් කලබල වෙනවා කියලා. ඒක නිසා මට ඕන දෙයක් කරන්න කියලා. එතකොට මට තමයි බලපෑම් කළේ. මගේ මානසික මට්ටම බිංදුවටම වැටුණා. පැය ගාණක් මගෙන් ප්‍රශ්න කළා. මට මතක නැහැ මොනවා කිව්වද කියලා. මට තර්ජනය කළා. මාව ගොඩක් අසරණ කළා.”

“මගෙන් ඇහුවේ මගේ ලොකු පුතා ගැන. ඒ කියන්නේ කපිල කුමාර ගැන. දිගින් දිගටම එයා ගැන විස්තර ඇහුවා. මම බැරිම තැන කිව්වා මට විනාඩි දහයක් හාන්සි වෙන්න දෙන්න කියලා. ඒ ඉන්න දුන්නෙත් නැහැ. මට වතුර ටිකක් විතරයි බොන්න දුන්නේ. මටත් ඉදිරියෙදි බයිපාස් එකක් කරන්න තියෙනවා. මමත් ලෙඩෙක්. මට කිසිම අනුකම්පාවක් කළේ නැහැ. ඒගොල්ලෝ 27 වැනිදා ඉඳන් 28 වැනිදා උදේ වෙනකම් ප්‍රශ්න කළා.”

පාන් ගෙඩියක් පෙන්නා එස්.ටී.එෆ්.එකටත් මඩ ගසා පාතාලයන් රකින අලුත්ම මෙහෙයුමක්

“28 වැනිදා උදේ මගේ ෆෝන් එකට එක දිගට කෝල් වගයක් ආවා. මම කිව්වා ඒක ආන්සර් කරන්න දෙන්න කියලා. පස්සේ ඒගොල්ලො දුන්නා ෆෝන් එක. ඒ කතා කළේ මගේ ලේලි. ඒ කියන්නේ කපිලගේ බිරිඳ. එයා කිව්වා ඊයේ ගෙදරින් ගිය කපිල අයියා තවම ගෙදර ආවේ නැහැ කියලා.”

“මම කිව්වා පුතේ හොරොව්පොතාන පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න කියලා. එතකොට කිව්වා ඔව් යන්න හදන්නේ කියලා. මම අඬ අඬා කිව්වා ආපු අයට මගේ පුතා හොයාදෙන්න කියලා. ඒගොල්ලෝ කනකට ගත්තේ නැහැ. කපිලගේ දුව හිටියේ මගේ ළඟ. එයත් අඬන්න ගත්තා. තාත්තව හොයලා දෙන්න කියලා. එතකොට ඒගොල්ලො කිව්වා අඬන්න එපා දුවේ තාත්තා ඉන්නේ අපි ළඟ කියලා. ඒක නිසා මම හිතුවා මේගොල්ලෝ පුතාව ඇරස්ට් කරලා මගෙන් ප්‍රශ්න කරන්න ඇවිත් කියලා. කොයිම වෙලාවකවත් ඒගොල්ලෝ කිව්වේ නැහැ ඒ අය කවුද කියලා. නමුත් අපෙන් දිගටම ප්‍රශ්න කළා. මම හිතන් හිටියේ පුතා ඒගොල්ලො ළඟ තියාගෙන ප්‍රශ්න කරනවා කියලා.”

“ආයි 30 වැනිදා ඒගොල්ලො අපේ ගෙදරට ආවා. ඇවිත් සුහදශීලිව මගෙත් එක්ක කතා කළා. ඊට පස්සෙ මගෙන් ඇහුවා කෝ කපිල කියලා. මම කිව්වා කපිල ඉන්නේ ඕගොල්ලො ළඟනේ කියලා. එතකොට කිව්වා අපි ළඟ කපිල නැහැ. අපිත් කපිලව හොයනවා කියලා. එතකොට මම කිව්වා එදා දුවට කිව්වේ කපිල ඉන්නවා කියලා.” එතැනින් නොනැවතුනු ඇය තවත් බොහෝ දේ පැවසුවාය. තනිකරම ඇය චෝදනා එල්ල කළේ ආරක්ෂක අංශ වෙතටයි.

උණහපුළුවාට උගේ පැටව් ලොකුයි කියා කියමනක් අපි ජනවහරෙන් අසා ඇත්තෙමු. ඒ අනුව බලන කල මෙම මවට තම පුතා ලොකු වන්නට ඇත. එම නිසාම තම පුතා අපරාධකරුවෙකු වුවත් සමාජය ඉදිරියේ ඔහුට නිර්දෝෂි පුද්ගලයකු කිරීමට ඇය උත්සාහ කළාය. එහෙත් ගැටලුව එය නොවේ. මෙය පිටුපස සිටින පුද්ගලයාය. මෙම පුද්ගලයා පාතාල නායකයින් සමග සම්බන්ධතා පවත්වා ඔවුන්ගේ මුදල්වලට අපරාධකරුවන් නිවැරැදිකරුවන් කර ආරක්ෂක අංශවලට විශේෂයෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකායට මඩ ගසන පුද්ගලයෙකි.

පොලිස් විශේෂ කාර්ය බළකාය අපරාධකරුවකු අත්අඩංගුවට ගතහොත් ඊට පසුදිනම මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එම අපරාධකරු නිවැරදිකරු කිරීමට මෙම පුද්ගලයා උත්සාහ දරති. එයට ඕනතරම් උදාහරණ තිබේ. කරන්දෙණිය සුද්දාගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂක බාලේන්ද්‍ර ඝාතනය කළේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 09 වැනිදාය. එම ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගත්තේ එම සිද්ධිය සිදුවී දින කිහිපයක් ගතවීමට මත්තෙන්ය. එලෙස එම සැකකරුව අත්අඩංගුවට ගත් පසු ඉහත සඳහන් කළ පුද්ගලයා එම සැකකරුගේ බිරිඳ සමග මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේ සැකකරු ඉතා අහිංසක පුද්ගලයකු බවයි. පසුව සොයා බැලීමේදී හෙළිවුණේ එම සැකකරු මනුෂ්‍ය ඝාතනවලට සහ හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවලටද ලක්වූ පුද්ගලයකු බවකි. ඔහුට විරුද්ධව නඩු කිහිපයක්ද විභාග වෙමින් තිබුණි.

පාන් ගෙඩියක් පෙන්නා එස්.ටී.එෆ්.එකටත් මඩ ගසා පාතාලයන් රකින අලුත්ම මෙහෙයුමක්

වැඩිදුරටත් සොයා බැලීමේදී අනාවරණය වූයේ මෙම පුද්ගලයා දැනට විදේශගතව සිටින කරන්දෙණිය සුද්දා නමැති පාතාල අපරාධකරුගෙන් මුදල් ලබාගෙන එම මාධ්‍ය සාකච්ඡාව පවත්වා ඇති බවයි. මෙවැනි අපරාධකරුවන් නිවැරදිකරුවන් කරන මෙම පුද්ගලයාගේ ඉතිහාසයද එතරම් හොඳ එකක් නොවේ. යුද්ධය පැවැති සමයේදී එල්ටීටීඊ සංවිධානයෙන් මුදල් ලබාගෙන ට්‍රාන්ස්ෆෝමර් පිපිරවීමේ චෝදනාවද මෙම පුද්ගලයාට එල්ල වී තිබේ. බහුතරයක් මොහුව හඳුන්වන්නේ ‘සිංහල කොටියා’ යන නමින්ය.

පසුගිය දින මෙම පුද්ගලයාගේ අනුදැනුම ඇතිව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හට මඩ ගැසීමට පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී කතාබහට ලක්වූ කපිල කුමාර සිල්වා යනු කවුරුන්ද යන්න පිළිබඳව අපි සොයා බැලුවෙමු.

කපිල යනු පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තම පුතා නිර්දෝෂි යැයි පැවසූ තිරිමාදුර නෙළුම් කුමුදුනි ජයසේකර යන අයගේ වැඩිමහල් පුතාය. ඇයට පිරිමි දරුවන් තිදෙනෙකි. ඉන් දෙදෙනකුම ඍජුවම පාතාලය සමග සම්බන්ධතා පවත්වන අය වෙති.

කපිල යනු හිටපු හමුදා සෙබළෙකි. පසුව ඔහු යුද හමුදාවෙන් පළාවිත් පාතාලයට සම්බන්ධ විය. කරන්දෙණිය සුද්දාගේ ගෝලයෙකි.

සෝබනා ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා දැනට විදේශගතව සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මෙහෙයවන ප්‍රබල අපරාධකරුවෙකි. 2011 වර්ෂයේ කරන්දෙණිය ප්‍රදේශයේ සිටි වෛද්‍ය ජයසිංහ නොහොත් හිත හොඳ දොස්තර නමින් ප්‍රසිද්ධ වෛද්‍යවරයා ලක්‍ෂ පහක කොන්ත්‍රාත්තුවකට ඝාතනය කිරීමේ ප්‍රධාන වෙඩික්කරු මොහුය. එකල ඔහු කමාන්ඩෝ බළකායේ සේවය කළ සෙබළෙකි. මොහු විසින් දැනට මනුෂ්‍ය ඝාතන විස්සකට අධික ප්‍රමාණයක් සිදුකර තිබේ.

කරන්දෙණිය සුද්දාට දැනට මාස කිහිපයකට ඉහතදී ඝාතන කොන්ත්‍රාත්තුවක් ලැබුණි. ඒ පිටිගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමටයි. එම ව්‍යාපාරිකයා සිල්ලර බඩු කඩයක් පවත්වාගෙන යන අතර මුදලට බූරු ගැස්සවීම ද සිදුකර ගෙන යයි. දැනට වසර කිහිපයකට ඉහත දී මොහු මනුෂ්‍ය ඝාතනයක් සිදු කළේය. එම මියගිය පාර්ශ්වයේ ඥාතීහු මෙම ව්‍යාපාරිකයා සමග සිටියේ බද්ධ වෛරයකිනි. එම නිසා ඔවුන් ලක්‍ෂ 50ක මුදලකට මෙම ව්‍යාපාරිකයා මැරීමේ කොන්ත්‍රාත්තුව කරන්දෙණියේ සුද්දාට ලබා දුන්නේය.

එලෙස කොන්ත්‍රාත්තුව ලබාගත් කරන්දෙණියේ සුද්දා කපිලට ඒ බව දැන්නුවේය. ඒ අනුව කපිල එම ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට සැලසුම් කළේය.

දිනය පසුගිය මාර්තු මස 11වැනිදාය. එදින කපිල තවත් පුද්ගලයකු සමග එම ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට පිටිගල ප්‍රදේශයට ගියේය. එලෙස ගිය ඔවුහු එම ව්‍යාපාරිකයාගේ සිල්ලර කඩය අසළ යතුරුපැදිය නවතා වෙඩි පිට වෙඩි තැබූහ. එහෙත් ඔහුට ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට නොහැකි විය. එම වෙඩි වැදී තිබුණේ එම සිල්ලර බඩු කඩයට පැමිණ තිබූ අහිංසක තරුණයන් දෙදෙනකුටයි. එයට අමතරව වෙඩි වැදී මියගිය තරුණයකුගේ බිරිඳකට ද වෙඩි වැදී තිබිණි. එලෙස වෙඩි තැබූ ඔවුන් එම ස්ථානයෙන් නිරුපද්‍රිතව ගියේ අම්බලන්ගොඩ ප්‍රදේශයටයි.

අම්බලන්ගොඩ ප්‍රදේශයට ගිය කපිල එහිදී ද වෙඩි තබා තරුණයන් දෙදෙනකු ඝාතනය කළේය. පැයක් ඇතුළත සිදුකළ මෙම සිව් පුද්ගල ඝාතන සිද්ධිය පිළිබඳව භීතියට පත්වූ ජනතාව කතා කිරීමට පටන් ගත්හ. ඒ සමගම පොලිසිය ද මේ පිළිබඳව කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්‍ෂණ සිදු කළහ. එම පොලිස් පරීක්‍ෂණවලට අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු මෙම ඝාතන සිද්ධිය පිළිබඳ සියලු විස්තර සොයා ගත්හ. ඒ අනුව ඔවුන් මෙහි ප්‍රධාන සැකකරු වන කපිල අත්අඩංගුවට ගැනීම සඳහා සැලසුම් සකස් කළේය. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් දෙකක් මවගේ නිවසට සහ ඔහු පදිංචි නිවසට ගියේ පසුගිය මස 27වැනිදාය.

පාන් ගෙඩියක් පෙන්නා එස්.ටී.එෆ්.එකටත් මඩ ගසා පාතාලයන් රකින අලුත්ම මෙහෙයුමක්

එලෙස ගිය එක් කණ්ඩායමක් මෙම සැකකරුගේ මවගෙන් (මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ කාන්තාව) ප්‍රශ්න කර තිබිණි. එහිදී ඇය ප්‍රකාශ කර තිබුණේ “මගේ ලොකු පුතා අපරාධවලට සම්බන්ධ නොමැති බවත්, දෙවැනි පුතා වන කැළුම් නිරෝෂ නම් අම්බලන්ගොඩ ඝාතන සිද්ධියකට සම්බන්ධ බවයි. ඒ අනුව එම නිලධාරීන්ට තවත් ඝාතන සිද්ධියක සැඟවුණ තොරතුරු කපිලගේ මවගෙන් ලබා ගැනීමට හැකි විය.

එම ඝාතන සිදුකර තිබුණේ 2022.08.21 වැනිදා අම්බලන්ගොඩ ප්‍රදේශයේදීය. එම ප්‍රදේශයේ දෙල්දුව රිවස් ඉන් හෝටලය තුළදී මෙම වෙඩි තැබීම සිදුකර තිබූ අතර එහි පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තිබිණි. එහි ප්‍රධාන සැකකරු වූයේ කපිලගේ දෙවැනි සහෝදරයා වන කැළුම් නිරෝෂ ද සිල්වාය.

කැළුම් නිරෝෂ ද හිටපු හමුදා සෙබළෙකි. ඔහු ශ්‍රී ලංකා පාබල හමුදාවේ වසර ගණනක් සේවය කර තිබිණි. හමුදා සේවයෙන් විශ්‍රාම ගිය පසු ඔහු ද පාතාලයට සම්බන්ධ වී ඇත. ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු එම සැකකරු ඉපලෝගම පොලිස් වසමේදී අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී විෂ මත්ද්‍රව්‍යක් වන ට්‍රයිස්ටයිල් මෝෆින් හෙවත් හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 74ක ප්‍රමාණයක් ද සොයාගෙන තිබිණි.

තවද කපිල කරන්දෙණිය සුද්දාගේ හෙරොයින් ජාවාරමට ද සම්බන්ධ පුද්ගලයෙකි. හොරොව්පතාන ප්‍රදේශයේ හෙරොයින් ජාවාරම කපිල විසින් සිදුකර ගෙන ගිය අතර අනුරාධපුර මහාධිකරණයේ හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ මොහුට විරුද්ධව නඩුවක් ද විභාග වෙමින් පවතී.

මෙවැනි අපරාධ රැසකට සම්බන්ධ කපිල නමැති පුද්ගලයා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඔහු නිර්දෝෂී පුද්ගලයකු බවට හඟවමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හට මඩගැසීමේ ව්‍යාපාරයක නිරතවන සිංහල කොටියා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයාගේ බලාපොරොත්තුව කුමක්ද යන්න පිළිබඳව ඔහුගේ හෙන්චයියන් හැර සැවොම දනිති.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment