සිතුවම් කලාවේ.. ඔහු අසිරිමත් සිත්තරෙකි

167

කුලුණුබර මුහුණින් යුත් බුදුරුව සහිත සිත්තමක් වර්ණ ගන්වමින් ඇත. පින්සලක් අතින් ගත් සිත්තරා ඉතා සංයමයෙන් එම කටයුත්තේ නිරත වන අයුරක් දැකගත හැක. තවත් තැනක නිමාවට පත් කරන ලද මනරම් චිත්‍ර නිර්මාණ රැසක් පිළිවෙළකට තබා ඇත. ඒ සෑම සිතුවමකම නිමැවුම්කරු වන්නේ මට පිටුපා සිතුවමක් වර්ණ ගන්වමින් සිටින සුමිත් අක්මීමන නම් අපූර්ව සිත්තරාය. ඔහුගේ නිර්මාණයන් ද අපූර්වත්වයෙන් යුක්තය. සෑම නිර්මාණයක්ම ඔහුටම අනන්‍ය වූ ශෛලියක් ඇත. විශේෂයෙන්ම බුදු සිරිත සිතුවමට නැඟීමේදී ඔහු විසින් දක්වන සමත්කම අදහාගත නොහැකිය. සියැසින් දැකිය යුතු එය වචනයෙන් විස්තර කළ නොහැක.

සුමිත් අක්මීමන නම් අසිරිමත් නිර්මාණ හැකියාවෙන් පොහොසත් සිත්තරා තමන් නිරත නිර්මාණ කටයුත්ත මඳ වේලාවකට නතර කරනු ලැබුවේ අප හා කතාබහක නිරතවීම පිණිසය. ඉහත විස්තර කරන ලද සිතුවම් සමුහයේ පමණක් නොව ඔහු තවත් සිතුවම් හා මූර්ති නිර්මාණ දහස් ගණනක මැවුම්කරු ය. ඔහුගේ විශේෂත්වය බවට පත් වන්නේ සිතුවම් කලාවේ පමණක් නොව, මූර්ති නිර්මාණයේ ද ඒක ලෙස, එක සේ සමත්කම් දැක්වීමය. මෙරට වෙහෙර විහාරස්ථාන 60කට අධික ප්‍රමාණයක් ඔහු විසින් කරන ලද චිත්‍ර හා මූර්ති නිර්මාණයන් තුළින් හැඩගැන්වී ඇත. එපමණක් නොව ඉන්දියාවේ චෙන්නායි නුවර මහා බෝධි විහාරයේ වියන්තලය හා පසුබිම් දර්ශන, මල් ලියකම් ආදිය ද ඔහුගේ නිර්මාණයන් වේ.

සිතුවම් කලාවේ.. ඔහු අසිරිමත් සිත්තරෙකි
සුමිත් අක්මීමන

ගාල්ල අක්මීමන විජය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු මේ වනවිට රටම හඳුනන චිත්‍ර හා මූර්ති ශිල්පියෙක්ය. අප හා කතාබහට එක්වූ ඔහු, තමන් මෙතෙක් ආ ගමන්මඟ පිළිබඳව විස්තර කර සිටියේ මේ අයුරින්ය.

“චිත්‍ර ශිල්පය කියන්නෙ ස්වභාව ධර්මය එක්ක තදින් බැඳුන කලාවක්. ඒ නිසා එක්තරා ආකාරයකින් ස්වභාවධර්මය ප්‍රතිනිර්මාණය කිරීමක් ලෙසත් චිත්‍ර කලාව හඳුන්වන්න පුළුවන්. මගේ ගමනේ ආරම්භය සිද්ධ වෙන්නෙ එහෙමයි. ගම, ගමේ වෙල් එළිය, ඊට ඉහළින් ඇති අහස, අවට පරිසරයේ ගහකොළ හොඳින් රසවින්ද කෙනකු නම් ඔහුට සාර්ථක චිත්‍ර ශිල්පියකු වීමේ අවස්ථාව උදාකර ගන්න පුළුවන්. ඉන් අනතුරුව තමයි දැන උගත් ගුරුවරුන් යටතේ ඒ හැකියාව තව තවත් ඔප මට්ටම් කර ගන්න පුළුවන් වෙන්නේ.”

මේ වනවිට සිතුවම් කලාව සහ මූර්ති නිර්මාණය ඔස්සේ ඔහු බොහෝ දිගු ගමනක් පැමිණ ඇත. සිතුවම් කලාව මෙන්ම මූර්ති නිර්මාණය කිරීම තුළින් ද ඉහළ ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටින සුමිත් අක්මීමනගෙන් අප ඊළඟට විමසා සිටියේ ඔහු මූර්ති කලාවට පිවිසි ආකාරය පිළිබඳව ය.

“පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ චිත්‍ර විෂයය කලාවක් ලෙස ප්‍රගුණ කරන්න මට අවශ්‍ය වුණා. සමාරිස් සන්දරගේ කියන චිත්‍ර ගුරුන්නාන්සෙ මට මුණගැසෙන්නෙ එතැනදී. ඒ ගුරුහරුකම් මගේ හැකියාව දියුණු කරගන්න ලොකු ශක්තියක් බවට පත්වෙනවා. කාලයක් එතුමන් යටතේ ශිල්පය හදාරන අතරේ දවසක් ගුරුන්නාන්සෙ කිව්ව ඒ අයගෙ පරම්පරාව නැතිවෙන දවසක මූර්ති නිර්මාණකරුවන් අඩු වෙනවා, ඒ හින්ද චිත්‍ර ශිල්පය ප්‍රගුණ කරන අතරෙම මූර්ති ශිල්පයත් ඉගෙන ගන්න කියලා. ඒ වෙද්දී මූර්ති ශිල්පය ඉගෙන ගන්න මගේ කැමැත්තක් තිබුණේ නෑ. ඇඟ මහන්සි කරලා කරන වැඩක් හින්ද මම බෑ කියලා ගෙදරත් ගියා. පහුවෙනිදා මගේ ගුරුවරයා ගෙදරට පණිවිඩයක් එවල තිබුණා, එක දවසක් ඇවිත් කරල බලන්න කියලා.

“එදා මගේ ගුරුවරයාගේ අයියත් එතැන හිටියා. ඒ වෙද්දී ඔහුට අවුරුදු 80 ක් විතර ඇති. මම නැවත ඇවිත් වැඩ කරනවා බලන් හිටියා. ගුරුවරයාගේ අයියා කිවවා ඔය ළමයගෙ ඇඟේ මේ කලාව තියෙනවා, දිගටම වැඩ කරගෙන යන්න කියලා. ඉන් පස්සෙ තමයි චිත්‍ර කලාවට අමතරව මූර්ති නිර්මාණය පිණිසත් යොමු වෙන්න මම තීරණය කරන්නේ…..”

මූර්ති කලාව පිළිබඳව පළමුව ඔහු තුළ ඇති වන අකැමැත්ත කැමැත්තක් බවට පත් වන්නේ එතැන් සිටය. මේ වනවිට එය කෙතරම් ද යත් මෙරට සිටින මූර්ති නිර්මාණ ශිල්පීන් අතර සුමිත් අක්මීමනට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් ය.

“වැල්ලවත්ත සුවිසුද්ධාරමය, ගල්කිස්ස ධර්මේන්ද්‍රාරාමය, කොට්ටාව ධම්මකිත්‍යාරාමය, වීදාගම පුරාණ විහාරය, නාන්දූව, මොරොන්තුඩුව රාජමහා විහාරය, වදුරංකුලිය සරණංකරාරාමය, වලස්මුල්ල ජයසුමනාරාමය, පිළියන්දල මකුළුදූව විජයනන්දාරාමය, පැලැන්වත්ත සත්බුදු මහා වෙහෙර, කැස්බෑව අභයනන්දාරාමය, කහතුඩුව දක්ෂිණ අධිවේගී මාර්ගය අසල සමාධි බුදු පිළිමය, පිළියන්දල, මඩපාත දේව මන්දිරය ඇතුළු තවත් වෙහෙර විහාරස්ථාන බොහොමයක මගේ නිර්මාණයන් දැකගන්න පුළුවන්. ඊට අමතරව අපේ රටේ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථාන රැසකත් වැඩ කීපයක් කරන්න මාව තෝරගෙන තිබෙනවා. ඉදිරියේදී ඒ කටයුතු ආරම්භ කරන්න පුළුවන්කම ලැබේවි. දශක හතරක අත්දැකීම් සහිත චිත්‍ර හා මූර්ති ශිල්පියකු ලෙස හැකිතාක් කලක් මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීම තමයි මගේ ලොකුම අපේක්ෂාව බවට පත්වෙලා තිබෙන්නේ…”

සුමිත් අක්මීමන විසින් සිතුවමට නඟන ලද බොහෝ සිතුවම් අතර ‘සුදු පැහැයට’ හිමිව ඇත්තේ සුවිශේෂි ස්ථානයකි. වර්ණයක් ලෙස සුදු පැහැය බහුලව යොදා ගැනීමේ හේතුව කුමක්ද යන්න පිළිබඳව ඔහුගෙන් විමසීමේදී ඒ පිළිබඳ සුමිත් පැහැදිලි කිරීමක් සිදු කළේ මේ අයුරිනි.

සිතුවම් කලාවේ.. ඔහු අසිරිමත් සිත්තරෙකි

“චිත්‍ර කලාව තුළ සුදු පැහැය වර්ණයක් ලෙස භාවිතා කරන ශිල්පීන් ඉන්නෙ බොහොම ටික දෙනයි. ඒ සඳහා හොඳ ශිල්පීය දැනුමක් තිබෙන්න ඕන. ඒ වගේම හරිම පරිස්සමෙන්, සංයමයෙන් යුතුව තමයි සුදු පැහැය වර්ණයක් ලෙස භාවිතා කරනවා නම් කරන්න වෙන්නේ. ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් තිබෙන චිත්‍ර ශිල්පියකු නම් ඔහු කවරකු වුවත් සුදු පැහැය කියන්නේ හොඳ වර්ණයක්.

ඒ තුළින් අපූර්වත්වයෙන් යුත් නිර්මාණයක් සිතුවමට නඟන්න පුළුවන්. චිත්‍ර ශිල්පියෙක් ලෙස සුදු පැහැය මගේ බොහෝ නිර්මාණවලට ඇතුළත් කර ගන්නවා. ගසක අතු ඉති පවා සුදු පැහැයෙන් වර්ණගන්වන්න මා තුළ ලොකු කැමැත්තක් පවතිනවා. එය අත්හදා බැලීමේ මට්ටමක පවතින දෙයක් නොවෙයි. චිත්‍ර කලාව තුළ එය සුවිශේෂී ශෛලියක් වශයෙන් හඳුන්වන්නත් පුළුවන්.”

සුදු පැහැය පිළිබඳ මා තුළ වූ කුකුස සුමිත් අක්මීමන විසින් සංසිඳවූවේ ඒ ආකාරයෙන්ය. ඔහුගේ ගති පැවතුම් ආදියේ මෙන්ම කටහඬෙහි ද වුවේ සිත්තරකු සතුව පැවතිය යුතු තැන්පත් බවකි. මෙරට විහාර බිතු සිතුවම් කලාවේ දැවැන්තයකු වූ සුමිත් අක්මීමන තම මෙහෙවර නිහඬව සිදු කළ ද ඔහු විසින් කරන ලද සේවය අගයනු වස් ඔහු වෙත පිරිනමන ලද සම්මාන සහතික ආදිය ද බොහෝය. කලාකීර්ති, විශ්වාභිනන්දන (බස්නාහිර පළාත් චිත්‍ර හා මූර්ති) ආදී සම්මානයන් ද ඒ අතරට අයත්ය. තොරණ කලාව තුළ ද මහත් දස්කම් දක්වන්නට සමත්, සුමිත් අක්මීමන පිටකොටුව මැනිං වෙළඳපොළ, නිලම්මහර, කිරිබත්ගොඩ, හොරණ, හෝමාගම ආදී මෙරට ප්‍රකට තොරණ රැසක ප්‍රධාන චිත්‍ර ශිල්පියා ලෙස ද කලක් කටයුතු කර ඇත. ඊට අමතරව ප්‍රකට වෙළෙඳ දැන්වීම් ආයතනයක නිර්මාණ අධ්‍යක්ෂවරයෙක්, කලා අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කර ඇති සුමිත් අවසන් වරට ද අප හා සඳහන් කර සිටියේ චිත්‍ර හා මූර්ති කලාව යනු මෙරට ජන හදවත් තදින් ස්පර්ශ කළ කලාවක් බවත් එය මතු පරපුර වෙත ප්‍රදානය කිරීම තමන් සතු වගකීමක් සේ සලකමින් ඉදිරියටත් ක්ෂේත්‍රය තුළ කටයුතු කරන බවත්ය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment