නවක වධය දෙන්නත් වට්ස්ඇප්…පේරාදෙණියෙන් අලුත්ම සොයාගැනීමක් !

777

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසු පිරිසක් නවක සිසුන්ට සමාජ මාධ්‍ය ඔස්සේ නවක වධය ලබාදුන් බව කියන සිද්ධියක් පිළිබඳව ඉකුත් සතියේ රටේ රාවයක් පැතිර ගියේය. අධ්‍යාපනය ලබන්නට දරුවන්ට ඉඩකඩ සීමා වූ මෙවන් යුගයක නවක සිසුනට අන්තර්ජාලය ඔස්සේ නවක වධය ලබා දීමට වැඩිහිටි සිසුහු කටයුතු කර තිබීම සැබැවින්ම සෝචනීයය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනය පාලක නිලධාරිවරයා ගේ පැමිණිල්ල පාදක කර ගනිමින්ය. නවක සිසුවෙකු විසින් ප්‍රධාන විනය පාලක නිලධාරිවරයා වෙත කරන ලද පැමිණිල්ලකින් පසු ඒ මහතා අදාළ සිදුවීම පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබුයේ ඉකුත් නොවැම්බර් පස්වැනිදාය. නවක සිසුන්ගේ දුරකථන අංක සම්බන්ධ කර ගනිමින් වට්ස් ඇප් සමූහයක් ගොඩ නගා එයට අසභ්‍ය වෙබ් අඩවි වල ලිපිනයන් යොමුකරන්නට වැඩිමහල් සිසුහු කටයුතු කර තිබේ. එම අසභ්‍ය වෙබ් අඩවිවල ඇති වීඩියෝ නරඹා ප්‍රතිචාර දක්වන ලෙස නවක සිසුන්ට බලපෑම් කර තිබෙන බව පරීක්ෂණ මගින් අනාවරණය වී තිබිණි.

එවැනි අත්දැකීම් ලබන්නට බහුතරයක් නවක සිසුන් අකැමැති වුවද, විශ්වවිද්‍යාලය තුළ ජීවත්වීම පිණිස එවැනි දෑ සිදු කිරීමට සිදුවන බව තේරුම් ගත් බොහෝ දරුවෝ අකැමැත්තෙන් අපුලෙන් එම කටයුත්තට මැදි ව සිටියහ. විශ්වවිද්‍යාලයට ප්‍රවිශ්ඨ වූ නවක දරුවන්ට තමන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා බාධා වන යම් කිසි සිදුවීමක් සිදුවන්නේ නම් , ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශ්වවිද්‍යාල පරිපාලනය මැදිහත් වන බව ආරම්භයේදිම ප්‍රකාශ කර තිබිණි. ඉන් උපරිම ප්‍රයෝජන ගෙන තිබුණේ දරුවන් අතලොස්සක් පමණි.

විශ්වවිද්‍යාල සිසුන්ට නිර්නාමිකව වුවද අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පහසුකම් සලසා තිබිණි. එම පැමිණිලි ද්වාරයට සිසුවෙකු විසින් සාක්කි සහිතව ඉහත නවක වධය අන්තර්ජාලයෙන් ලබා දෙන බවට පැමිණිලි කර තිබිණි. එලෙස ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක් පදනම් කර ගනිමින් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන විනයාරක්ෂක නිලධාරිවරයා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

මේ සම්බන්ධව කළ විමසීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා කියා සිටියේ, යම් සිසුවෙකුට මේ ඔස්සේ අගතියක් සිදුව ඇත්නම් ඊට අදාළ නීතිමය පියවර ගනු ඇති බවය. නවක දරුවකුට තමන් අකැමැති දෙයක් සිදු කිරීමට කිසිවකුටත් අයිතියක් නැති බවද හෙතෙම කියා සිටියේය. අධ්‍යාපනය හැදෑරීම පිණිස විශ්වවිද්‍යාලයට ඇතුළත්වන දරුවන්ගේ සමානාත්මතාව උදෙසා නවක වධය සාමාන්‍ය පරිදි ලබාදීම අතීතයේ සිදුවුවද, මේ වන විට එය අමානුෂික ස්වරූපයක් ගැනීම පිළිගත නොහැකි බවද නියෝජ්‍ය උපකුලපතිවරයා කියා සිටියේය.

අතීතයේ පටන් විවිධ අවස්ථාවල විශ්වවිද්‍යාලවල නවක වධය පාදක කරගනිමින් නීතිය ක්‍රියාත්මක වූ අවස්ථා තිබේ. 1974 වසරේදී එවකට විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය හෙවත් වර්තමානයේ කැලණිය විශ්වවිද්‍යාලය පුහුණු ගණිත ගුරුවරු කිහිපදෙනකු නවක වධයට ලක්වීමක් සම්බන්ධව විමර්ශනයක් සිදුකිරීමට සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් වී. ඩබ්. කුලරත්න කොමිසම පත්කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, උපාධි අපේක්ෂකයන් දොළොස් දෙනකු විශ්වවිද්‍යාලයෙන් නෙරපා දැමුණු අතර, සිදුවීම සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වීම නිසා එහි නිලධාරීන් හතර දෙනකුටද දඬුවම් නියම කර තිබිණි. ශ්‍රී ලංකා රජය විසින් විශ්වවිද්‍යාලයීය නවක වධය සිදුවීමකට එරෙහිව ගන්නා ලද ප්‍රථම ක්‍රියා මාර්ගය ලෙස මෙය හැඳින්වෙයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ රූපා රත්නශිලි ශිෂ්‍යාව, ඇයට ජ්‍යෙෂ්ඨ සිසුවියන්ගෙන් හිමිවූ ශාරීරික නවක වධය දරා ගත නොහැකිව ඉන් ගැලවීම පිණිස “රාමනාදන් ශාලාවේ” නේවාසිකාගාර දෙවන මහලින් බිමට පැනීම නිසා ආබාධිත තත්ත්වයට පත්වූවාය. මහලෙන් පැනීමට මොහොතකට පෙර ඇයට දරා ගත නොහැකි කායික වධ හිංසා ලබා දී තිබූ බවට තොරතුරු තිබිණි. 1997 වර්ෂයේදී, රූපා සිය පාදයන්ට ඇතිවූ ආබාධ නිසා හටගත් සිත් තැවුල් හා කරදර හේතුවෙන් සිය දිවි නසා ගත්තාය.

1997 වසරේදී පේරාදෙණියේ ඉංජිනේරු සිසුවෙකු වූ 21 හැවිරිදි එස්. වරප්‍රකාශ්, ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් ලබා දුන් දරුණු නවක වධය අතරතුර වකුගඩු අක්‍රීය වීමෙන් මරණයට පත්විය. රුහුණ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුවියක, නවක වධයේ ප්‍රතිඵලයක් ලෙස 1997 වසරේදී සිය දිවි නසා ගන්නා ලදී.

මේ සා තවත් සිදුවීම් ගණනාවක් නවක වධය හේතුවෙන් රටපුරා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුව තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති මගින් සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට පියවර ගෙන තිබේ. එය රටෙහි උත්තරීතර නීතිය වශයෙන් පිළිගැනේ. ව්‍යවස්ථාවට අනුව ඕනෑම මානව හිමිකම් උල්ලංඝනය වන සිදුවීමකදී හෝ කඩකිරීමක් සිදුවීමට ආසන්න අවස්ථාවකදී, 126 වන වගන්තියේ නියමයන්ට අනුව රටෙහි පුරවැසියාට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළ හැකි වෙයි. යම් කිසි අයෙකු විසින් ඕනෑම පාර්ශ්වයකට සිදුකරනු ලබන කෲර, ම්ලේච්ච හෝ අවඥා සහගත සැලකීමක්, මානව හිමිකම් උල්ලංඝනය වීමක් ලෙස ව්‍යවස්ථාව මගින් වැඩිදුරටත් හුවා දක්වා තිබේ.

විශ්වවිද්‍යාල සිසුහුද රටෙහි ක්‍රියාත්මක පොදු නීතිය යටත් පුරවැසියන් සේ සැලකෙයි. එම නිසා ව්‍යවස්ථාමය බලාත්මක කිරීම්, විශ්වවිද්‍යාල සිසුන්ටද එක සේ සමාන ලෙස බලපායි. ඔවුන් විසින් සිදුකරන ඕනෑම ආකාරයක සිවිල් හෝ සාපරාධී ක්‍රියාවක්, දඬුවමකට හේතු වන අතර විශ්වවිද්‍යාල සිසුන් විසින් සිදුකරන එවැනි හිමිකම් කඩකිරීමකදී ඔවුන් අදාළ අධිකරණයක් ඉදිරියේ නඩු විභාගයකින් අනතුරුව ලබා දෙන සුදුසු දඬුවමකට යටත් විය යුතු වෙයි.

1997 වසරේ සිදුවූ නවක වධයට අදාළ සිද්ධීන් පෙළකින් අනතුරුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්, අධ්‍යාපන ආයතනයන්හී නවක වධය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ 1998 අංක 20 පනත සම්මත කර ගනු ලැබීය. නවක වධය, වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා සහ නොහොබිනා සැලකීම් ආදිය අධ්‍යාපන ආයතනයන් තුළින් තුරන් කර දැමීම පනතේ සවිස්තරාත්මකව නිරූපණය කොට තිබේ. 1978 අංක 16 යන විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවා ඇති සියලුම උසස් අධ්‍යාපන ආයතනයන් සහ පනතට අදාළ උසස් අධ්‍යාපන ආයතනයන් මේ යටතේ නිරූපිතය.

ඒ අතර ශාස්ත්‍ර පීඨයද සැප්තැම්බර් විසිතුන්වැනිදා සිට අදටත් වසා දමා තිබේ. ඊටද හේතු වී ඇත්තේ නවක වධය ය. නවක වධයට පක්ෂ විපක්ෂ කණ්ඩායම් දෙකක් අතර ඇතිවූ ගැටුමට විසඳුම් සොයා යෑමේ ප්‍රයත්නය මත තවමත් ශාස්ත්‍ර පීඨ සිසුනට අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත. එහෙත්, මේ රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන පීඨයේ සියලු ආචාර්යය මණ්ඩලයට සියලු දීමනා සහිත මාසික වැටුප අදටත් ගෙවනු ඇත. දරුවන් වෙනුවෙන් වන ශාස්ත්‍ර පීඨයේ නඩත්තු කටයුතු ද ජනතා මුදලින් නඩත්තු වෙයි. ඒ සියල්ල එසේ වෙද්දී ආචාර්යයවරුන්ගේ සහ මහා ශිෂ්‍ය සංගම්වල කඹ ඇදිල්ල හේතුවෙන් ඒ කඹයෙන් උපාධි අපේක්ෂිත සාමාන්‍ය සිසුන්ගේ ගෙල ට තොණ්ඩුව වැටී ඇත. කඹයේ තවත් කෙළවරක ගැට ගැසී ඇති ලජ්ජා සහගත දේශපාලන බලපුළුවන්කාරකම්වල සෙවනැල්ල ඇතැම් ආචාර්යවරුන්ගේ සහ ශිෂ්‍ය සංගම්වල හිස මතට පතිත වී තිබේ. මේ ඔඩු දුවන්නේ තවත් අරගලයට නොපෙනෙන බලවේගයක් බව නම් පැහැදිලිය. ඒ අතර නවක සිසුන් ඉහත ආකාරයට අන්තර්ජාලය ඔස්සේ පීඩාකාරි ලෙස අත්දැකීම් ලබමින් සිටිති.

රටේ ලෝකයේ මේතරම් අර්බුද පවතින වකවානුවක විශ්වවිද්‍යාල සිසුහු නවක වධය තවත් එක් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කොට තිබේ. විශ්වවිද්‍යාල තුළින් බිහිවන බුද්ධිමතුන් රටේ ලෝකයේ මිනිසාගේ දියුණුවට නව දැනුම නව ආකල්ප වැපිරීම අරුමයක් නොවේ. එහෙත් නවක වධය වැනි හිංසනික ක්‍රියා සඳහා නව දැනුම නව තාක්ෂණය යොදා ගැනීම ඒ හැටි සුදුසු නොවන බව කිව යුතුව තිබේ.

සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment