ශ්‍රී පාද මාර්ගයෙ කඩ හදන්න ඉවක් බවක් නැතිව රක්‍ෂිතයේ ගස් කපනවා…

ගිය අවුරුද්දෙ එකතු කරපු නොදිරන අපද්‍රව්‍ය ටොන් 12යි…වෙනත් වසරවල ඊට වැඩියි…

විදේශිකයන් ෂොපින් බෑග් හිස් බෝතල් මග දාලා යන්නෙ නෑ…

අපේ මිනිස්සු කසළ බඳුන් දැක, දැක කැලේට කුණු දානවා…

උඩ මළුවේ කුණු දාන තැන පහුගිය කාලේ නාය ගියා…

පොලිතීන් දිරාපත් වෙන්න අවුරුදු පන්සියයි ප්ලාස්ටික්වලට ඊටත් වැඩියි…

නාහෙට නහන අය නිසා සිරිපාදෙට වෙන අපරාදේ

සිරි පා වන්දනාව හෙටින් ඇරඹේ. චාරිත්‍රාණුකූලව උඳුවප් පෝය දින හිමිදිරියේ සමන් දේව ප්‍රතිමාව, ආභරණ සහ සධාතුක කරඬුව රැගත් පෙරහැර ශ්‍රී පාද මළුව වෙත ගමන් කිරීමත් සමඟ දහස් සංඛ්‍යාත බැතිමතුන් සිරි පා කාරුණා කරන්නට පෙළගැසෙති. වාර්තා වන ආකාරයට මේ වනවිටත් සතර දිග්භාගයෙන් පැමිණි බැතිමතුන්ගෙන් නල්ලතන්නිය පිරී ගොස්ය. ශ්‍රීපාද මළුවට ගමන් කරන සෙසු මාර්ග ද බැතිමතුන්ට විවෘත කර තිබේ. රත්නපුර – පලාබද්දල, කුරුවිට – එරත්න, මුර්යාවත්ත – මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග අතරින් නල්ලතන්නිය සහ පලාබද්දල මාර්ග සිරිපා වන්දනාවට ප්‍රසිද්ධය.

උඳුවප් පෝය දින සිට වෙසක් පෝය දක්වා මාස හයක් පුරාවට දෙස්, විදෙස් බෞද්ධ, අබෞද්ධ බැතිමතුන් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් සමනල ගිරි තරණය කරමින් සිරිපා වන්දනා කරන බව සැබෑය. එම බැතිමතුන්ට සේවා සැපයීමට නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මළුව දක්වා ගමන් කරන කිලෝ මීටර් හයක මාර්ගය දිගට පමණක් වෙළෙඳසල් දහසකට ආසන්න සංඛ්‍යාවක් විවෘත කර තිබේ. ශ්‍රී පාද මළුවට ගමන් කරන සෙසු මාර්ගවල ද තාවකාලික වෙළෙඳසල් විවෘත කර තිබේ. ඒ සියලුම වෙළෙඳසල්වලින් ඉවතලන පොලිතීන්, ප්ලාස්ටික් බෝතල් සහ බැතිමතුන් රැගෙන යන නොදිරන අපද්‍රව්‍යවල එකතුව ටොන් ගණනකි. පසුගිය වන්දනා වාරය අවසානයේදී මස්කෙළිය ප්‍රාදේශීය සභාව, ගිනිගත්හේන, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්‍ෂවරුන්, පරිසර සංවිධාන සහ ස්වෙච්ඡා සංවිධානවල මැදිහත්වීමෙන් සිදුකරන ශ්‍රමදාන වැඩසටහන් අවසානයේදී ප්ලාස්ටික් බෝතල් ඇතුළුව, නොදිරන ඝන අපද්‍රව්‍ය ටොන් 12 ක් ඉවත් කර තිබිණි. පසුගිය වර්ෂවලට සාපේක්‍ෂව 2023 වර්ෂයේදී එකතු වී තිබුණු නොදිරන අපද්‍රව්‍ය ප්‍රමාණය අඩුය. ටොන් 40, 50 ඉවත් කළ වන්දනා වාර ද පසුගිය කාලය පුරාවට එමටය. එමෙන්ම සමනල කන්ද පහළට සේදී ගොස්, සුළඟේ ගසාගෙන ගොස් මහ වනයට එකතු වන නොදිරන අපද්‍රව්‍ය ප්‍රමාණයේ ගණනය කිරීමක් නොමැත. මාස හයක වන්දනා වාරයකදී එකතු වන නොදිරන අපද්‍රව්‍ය ප්‍රමාණය ගෙවී ගිය වසර ගණනාවකින් වැඩි කර බැලූ විට ශ්‍රීපාද අඩවියට සිදු කර ඇති හානිය කිසිසේත් ගණනය කළ නොහැකි තරමේ දැවැන්ත පරිසර හානියකි.

“සිරීපාදෙ නඟින එක විදේශිකයෙක්වත් ෂොපින් බෑග්, බෝතල් කැලේට විසි කරන්නෙ නෑ. ඒ මිනිස්සු ෂොපින් බෑග් තුන, හතර ගෙනියන්නෙත් නෑ. දහය, පහළොවක් යන කණ්ඩායමක කෑම, බීම සහිත ෂොපින් බෑග් ගෙනියන්නෙ එකයි නැති නම් දෙකයි. කඩේකින් මොනවහරි ගන්නකොට ෂොපින් බෑගයක දාලා දෙන්න හදනකොට එපා කියනවා. කෑම කාලා තැන, තැන දාන්නෙත් නෑ. කසළ බඳුනක් හොයාගෙන ඉඳුල් වෙනම, කෑම කොළ වෙනම පිළිවෙළට බහාලනවා. අපේ මිනිස්සු එක්කෙනා ෂොපින් බෑග් තුන, හතරෙ බඩු අරගෙන යනවා. ගෙනියන්නත් අපහසුයි. ඒත් උස්සගෙන යනවා. ඒ වගේම අපේ අය කෑවා, කොළය ගුලි කරලා කෑලේට විසි කරනවා. වතුර බෝතලය බීලා හිස් බෝතලය කෑලේට විසි කරනවා. කිසිම චාරයක් නෑ. ඒ කරන වරද නිසා කැලයට, සතා සිව්පාවට හානියක් වෙනවා කියලා මොහොතකටවත් ඒ අය හිතන්නෙ නෑ. වැඩියෙන් කැලේට විසි කරන්නෙ ෂොපින් බෑග්. දෙවනුවට පොඩි වතුර බෝතල්. ලොකු බෝතල් විසි කරන්නෙ නෑ. හුඟදෙනෙක් පහළට අරගෙන එනවා. ඒ නිසා මේ පාර අපේ කඩේ පොඩි වතුර බෝතල් විකුණන්නෙ නෑ. ෂොපින් බෑග් දෙන්නෙත් නෑ. අපි පරිසරයට ආදරෙයි. පරිසරය රැකුණොත් තමයි අපිත් රැකෙන්නෙ…” ශ්‍රීපාද උඩ මළුව ආසන්නයේ මාමා කඩේ සෙල්වතුරේගේ කතාව ක්‍රියාවට නංවන්නෙ නම් ඉතාම අගනේය. එහෙත් ඔහු හා අප සම්බන්ධ වූයේ දුරකථනයෙනි. එහෙයින් ඔහු වචනයෙන් පවසන පරිසරහිතකාමී බව ක්‍රියාවෙන් ඔප්පු කර ඇති ද යන්න අපි නොදනිමු.

සමනල ගිරි මුදුනට ගමන් කරන මාර්ග දෙපස මෙන්ම ශ්‍රීපාද උඩ මළුවේ එකතු වන නොදිරන අපද්‍රව්‍ය හැටන් දෙසට පහළ හෙළට විසි කරන බව වාර්තා වේ. කාලයක් තිස්සෙ එකතු වූ එම කුණු ගොඩ පසුගිය වර්ෂා කාලයේදී නාය ගොස් විශාල පරිසර හානියක් සිදු වූ බව ද වාර්තා විය. දේශපාලන අධිකාරිය විසින් අදාළ ප්‍රාදේශීය සභාවලට ප්‍රතිපාදන ලබා නොදීම නිසා ශ්‍රීපාද වාරය අවසානයේදී අපද්‍රව්‍ය ඉවත් කිරීමේදී දැඩි දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුව ඇති බව ද වාර්තා වේ. ශ්‍රී පාද මළුවට යන මාර්ග දෙපස නොදිරන ඝන අපද්‍රව්‍ය ඉවත් කිරීමට ප්‍රාදේශීය සභාවලින් යොදවන කම්කරුවන් ද අපද්‍රව්‍ය තොග පහළට රැගෙන ඒම නොකර, ශ්‍රීපාද අඩවියේම තැන, තැනට එකතු කරන බව සැල වේ. අපද්‍රව්‍ය ඉවත් කිරීම නිවැරැදිව සිදු කරනුයේ පරිසර සංවිධාන සහ ස්වෙචඡාවෙන් පිරිසිදු කරන කණ්ඩායම් පමණක් බව නල්ලතන්නියෙන් ලැබෙන ආරංචි මාර්ගය. කම්කරුවන්, වන්දනාකරුවන්, කඩහිමියන් දැන හෝ නොදෙන නොදිරන අපද්‍රව්‍ය කැලයට බැහැර කිරීමෙන් සිදු කරන හානිය අති විශාලය. එමෙන්ම නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මාර්ගයේ තැනින්, තැන තිබෙන වැසිකිළි, කැසිකිළිවල ප්‍රමිතියෙන් තොරව ඉදිකර තිබෙන වළවල් සිරිපා වාරය ආරම්භ වී මාර්තු මාසය වන විට උතුරා යන බවත්, එවිට අවට මහා දුගඳක් හමන බවත් වාර්තා විය. ශ්‍රී පාද අඩවියෙන් ලැබෙන තතු මත අදාළ රාජ්‍ය ආයතන, ශ්‍රී පාදස්ථානය භාරව සිටින ගිහි පැවිදි දෙපාර්ශ්වය මේ ගැටලු ගැන සංවේදී නොවීම සංවේගජනක තත්ත්වයක් බව සැබෑය. එවැනි පසුබිමක ඝන අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීමෙන් සිදුවන විනාශය ගැන මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න පැහැදිලි කරනවිට මගේ නළල දහදියෙන් තෙත් විය. මේ ඒ බය හිතෙන කතාවය.

“පොලිතීන් බෑගයක් දිරාපත් වෙන්න අවුරුදු පන්සියක් විතර ගත වෙනවා. ප්ලාස්ටික් බෝතල් දිරාපත් වෙන්න ඊටත් වැඩි කාලයක් ගත වෙනවා. ඒ වගේම පොලිතීන්, ප්ලාස්ටික් බෝතල් පරිසරයට මුදාහැරෙන මුල් කාලයේදී, කෑම ඔතල තියෙන ඒවා නම් පල් වෙලා දුගඳ හමනවා. විවිධ බැක්ටීරියා, දීලීර වර්ග හැදිලා පරිසර දූෂණය කරනවා. වතුර පිරිලා, මදුරුවො බෝකරන ලෙඩ රෝග වාහකයෙක් වගේම පරිසරය අවලස්සන කරන දූෂකයෙක් විදිහට ක්‍රියාත්මක වෙනවා. වසර දෙක, තුනක් යනකොට පොලිතීන්, ප්ලාස්ටික් කැබැලිවලට කැඩිලා ශුද්ධ පොලිතීන්, ප්ලාස්ටික් කෑලි බවට පත් වෙනවා. ශුද්ධ පොලිතීන්, ප්ලාස්ටික් අතිශය දරුණු දෙයක් විදිහට තමයි සැලකෙන්නෙ. ශුද්ධ ප්ලාස්ටික් ශාකවල, මුල්වලින් ඇතුළු වෙලා ගස්වල රැඳෙනවා. ඇළ, දොළ, ගංගාවලට එකතු වන ශුද්ධ ප්ලාස්ටික් මාළු කනවා. ඒ මාළුන්ව මිනිස්සු කනවා. මස් මාළු, බිත්තර, එළවළු, පලතුරු, මොන දේ ආහාරයට ගත්තත් ඒ තුළින් ශුද්ධ ප්ලාස්ටික් අපේ ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. ගණනය කර ඇති ආකාරයට සතියකට ක්‍රෙඩිට් කාඩ් එකක් තරමේ ශුද්ධ ප්ලාස්ටික් අපේ ශරීරයට ඇතුළු වෙනවා. ඒක අතිශය භයානක තත්ත්වයක්. එයින් මිනිසාට කරන හානිය ගැන තවම විද්‍යාත්මක පරීක්‍ෂණයක් නෑ. ඕවා අපේ මිනිස්සු නොදෙන තමයි බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී පාද වන්දනාවේ යනකොට පොලිතීන්, ප්ලාස්ටික් අරගෙන යන්නෙ. ඝන අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීමේ භයානකකම නිවැරැදිව අවබෝධ කර දෙනවා නම් බුද්ධිමත් මිනිස්සු ඒ වරද කරන්නෙ නෑ. ඒත් රජයෙන් ඒ පිළිබඳ හරි හැටි දැනුවත් කිරීමක් කරන්නෙ නෑ. විශේෂයෙන්ම රටටම ජල සම්පත බෙදාහරින සමනල රක්ෂිතය වැනි වටිනා පරිසර පද්ධතියක් පොලිතීන්, ප්ලාස්ටික්වලින් වැනසෙනකොට එම පරිසර හානියත් එක්ක රට තුළ ඇති වන ව්‍යසනකාරී තත්ත්වය කෙබඳු වෙයිද දන්නෙ නෑ…” මහාචාර්ය සෙනෙවිරත්න මහතාගේ අනතුරු ඇඟවීම බරපතළය. ඒ ගැන අදාළ ආයතන නිලධාරීන්ගේ කඩිනම් අවධානය යොමු විය යුතුය.

එමෙන්ම නිතර තද සුළං හමන, මීදුම් සහිත සීතල පරිසරයක මදුරුවො බෝ නොවෙන බව විද්‍යාත්මක මතයකි. එහෙත් වන්දනාකරුවන් විසින් අපද්‍රව්‍ය ගොඩ ගසමින් මදුරුවන්ට බෝවීමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන බැවින් රාත්‍රී කාලයට ශ්‍රීපාද මළුවේ අසුන්ගෙන සිටීමට නොහැකි තරමට මදුරුවො බෝ වී සිටින බව ද ආවාරේ සිරිපා කරුණා කළ බැතිමතුන් කිහිපදෙනෙක්ම අප සමඟ පැවසූහ. එමෙන්ම සමනල අඩවියේ ජීවත් වන සතුන් ද ඉවතලන පොලිතීන් ආහාරයට ගෙන අවදානම් තත්ත්වයට පත් වූ අවස්ථා විටින් විට වාර්තා විය. ශ්‍රී පාද මළුවට ගමන් කරන මගෙහි වෙළෙඳසල් තැනීමට ඉවක් බවක් නැතිව රක්‍ෂිතයේ ගස් කපන බව ද සැල විය. එම තොරතුරුවල සත්‍යතාව සොයාබැලීමට නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී රත්නායක මහතාව දුරකථනය ඔස්සේ අපි සම්බන්ධ කරගත්තෙමු.

“මම මේ කාර්යාලයේ වැඩ භාරගෙන වැඩි කාලයක් නෑ. මට ලැබිලා තියෙන වාර්තාවලට අනුව වන්දනාකරුවො ඉවතලන අපද්‍රව්‍ය බහුලව ආහාරයට ගන්නෙ ඌරෝ. ගෝන්නු, වැලි මුවන් ඇතුළු විවිධ සත්තු පොලිතීන් මිශ්‍ර ආහාර කනවා. ඒ සතුන් පොලිතීන් කෑවම අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා මිය යන අවස්ථා තියෙනවා. ඒ නිසා ඝන අපද්‍රව්‍ය කැලයට මුදාහැරීම වන සතුන්ට විශාල හානියක්. එම හානිය අවම කරගැනීමට ශ්‍රී පාද මාර්ගය දෙපස යම් දුර ප්‍රමාණයකින් දිරන, නොදිරන අපද්‍රව්‍ය බහාලීමට වෙන, වෙනම කසළ බඳුන් තියලා තියෙනවා. ඒත් අපේ වන්දනාකරුවො ඒ බඳුන්වලට අපද්‍රව්‍ය දාන්නෙ නෑ. පහසුවට කැලේට විසි කරනවා. ඒක පරිසරයට කරන විශාල හානියක්. විශේෂයෙන්ම ශ්‍රී පාද අඩවිය වැනි පූජනීය පරිසරයකට එහෙම කරන එක පව්…” වනජීවී ස්ථාන භාර නිලධාරී රත්නායක මහතා කැළිකසළ බැහැර කිරීමේ පාපකර්මය සිහිපත් කරනවිට ඇමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක වල්පොළ පියනන්ද හාමුදුරුවෝ එහි විපාකය ගැන මෙසේ පැහැදිලි කළහ.

නාහෙට නහන අය නිසා සිරිපාදෙට වෙන අපරාදේ
නාහෙට නහන අය නිසා සිරිපාදෙට වෙන අපරාදේ

“ශ්‍රී පාදස්ථානය තරම් උතුම් ස්ථානයක් බෞද්ධ ජනතාවට තවත් නැති තරම්. ඒ නිසා ගමන කොතරම් දුෂ්කර වුණත් ශ්‍රී පාද වන්දනාව සෑම බෞද්ධයකුගේම චාරිත්‍රයක්. ගෞතම බුදුරාජාණන් වහන්සේගේ ආධ්‍යාත්මික ස්පර්ශය ලබන්නට ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව මහ වනයට අපද්‍රව්‍ය බැහැර කරමින් විනාශකාරී අයුරින් හැසිරෙනවා නම් ඒක ඔවුන් රැස් කරගන්නා මහා පාපකර්මයක්. ඒ වගේම ඔබ කෑම කාලා ඉවතලන ලන්ච්සීට් එක කන සතා එයින් හටගන්නා රෝගී තත්ත්වයකින් මැරුණොත් ‘පානාතිපාතා වේරමණී සික්ඛා පදං සමාධියාමි’ ශික්ෂා පදය කැඩිලා මහා අකුසලයක් සිද්ධ කරගන්නවා. ඒ නිසා පව් තර කරගන්න සිරීපාදෙ යන්න එපා. ඒක ශ්‍රී පදස්ථානයටත් කරන අගෞරවයක්. ගහට කොළට, සතා සිව්පාවුන්ට, ඇළට දොළට ආදරය කරන ධර්මතාවයක් පිළිපදින මිනිස්සු විදිහට බෞද්ධ බැතිමතුන්ගෙන් එවැනි අකටයුතුකම් වෙන්න බෑ. ඒත් මෙච්චර කාලයකට වන්දනාවේ යන බැතිමතුන් පරිසරයට අපද්‍රව්‍ය බැහැර කරමින් ශ්‍රී පාද අඩවියට විශාල හානියක් කරලා තියෙනවා. හෙටින් එළැඹෙන සිරිපා වාරයේදීවත් රමණීය සිරිපා අඩවියට අපද්‍රව්‍ය බැහැර කිරීමෙන් වැළකී සිරිපා කරුණා කරගන්නා ලෙස ලෝකවාසී සියලු බැතිමතුන්ගෙන් අප ඉල්ලා සිටිනවා. පරිසරයට ආදරය කරන, පරිසරයත් සමඟ ජීවත්වන මිනිසුන්ට සොබාදහමේ ආශීර්වාදයත් ලැබෙනවා. ඒ නිසා මෙවර සිරිපා කරුණා කරන්න යනකොට සොබාදහමේ ආශීර්වාදයත් ලබාගෙනම වන්දනා ගමන අවසාන කරන්න අදිටන් කරගන්න…” වල්පොළ පියනන්ද හාමුදුරුවන්ගේ උතුම් දහම් පණිවිඩයත් සිත් හි තැන්පත් කරගෙන සිරිපා කරුණා කිරීමට යෑමට පෙර සමනල අඩවියේ සුවිශේෂත්වය සහ ඔබ ඉවතලන ඝන අපද්‍රව්‍ය ශුද්ධ ප්ලාස්ටික් ලෙස තම ශරීරයට ඇතුළු වන අති භයානක මේ කතාවත් දැන සිටිය යුතු බව අපගේ අදහසය.

මෙරට මධ්‍යම කඳුකරයේ පිහිටි ප්‍රධාන කඳු වැටියක් වූ සමනල කන්ද මීටර් 2,243 ක උසකින් යුත් කේතුකාකාර හැඩයකින් යුක්තය. සිරිපා අඩවියේ සම්පූර්ණ භූමි ප්‍රමාණය හෙක්ටයාර 22380 කි. රත්නපුර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක දෙකට මැදිව පිහිටා ඇති ශ්‍රීපාද රක්‍ෂිතය කෑගල්ල දිස්ත්‍රික්කයට ද අයත් වේ. රත්නපුර, කුරුවිට, දැරණියගල, නුවරඑළිය, මස්කෙළිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් ශ්‍රීපාද රක්‍ෂිතයේ වැඩි භූමි ප්‍රමාණයක් අයත්ව ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයටය. එම ප්‍රමාණය අක්කර 43707 කි. නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් ප්‍රමාණය අක්කර 12243 කි. ජෛව විවිධත්වයෙන් අනූන කඳුකර වැසි වනාන්තරයක් වන සමනල කන්ද 1940 ඔක්තෝබර් 25 වැනිදා අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. පසු කාලීනව ජෛවගෝල රක්‍ෂිතයක් මෙන්ම ලෝක උරුමයක් ලෙස ද නම් කොට තිබේ. ශ්‍රීපාද අඩවියටම ආවේණික වූ ශාක විශේෂ මෙන්ම විවිධ ශාක විශේෂවලින් බහුල එම රක්‍ෂිතය තුළ අලි, කඳුකර කොටි, වල් බළලා, කොළ දිවියා, ගෝන්නු, වැලි මුවන්, මුගටියා, හම්බාවා, ඌරො, දඬුලේනා, වලස් වඳුරා, රිළවා ඇතුළු විවිධ සතුන් ජීවත් වෙති. උභය ජීවී විශේෂ 21 ක් සහ උරග විශේෂ 38 ක් පමණ ශ්‍රීපාද අඩවියෙන් හමු වී ඇත. එමෙන්ම සමනල විශේෂ රාශියක් ද ජීවත් වෙති. ඝන ශාක වැස්මකින් සහිත බැවින් යාල, උඩවලව වැනි වියළි කලාපීය වනෝද්‍යානවලදී මෙන් ශ්‍රී පාද රක්‍ෂිතයේදී වන සතුන් දැකගැනීමට ද අසීරුය.

එමෙන්ම ශ්‍රී පාද රක්‍ෂිතයේ වාර්ෂික වර්ෂාපතනය සාමාන්‍ය මිලි මීටර් 5000 කි. නිරිතදිග මෝසම පවතින මැයි, ජුනි, ජූලි මාසවලදී වැඩිම වර්ෂාපතනය වාර්තා වන සමනල රක්‍ෂිතයට මාස හයක් පුරාවට අනෝරා වැසි වැටෙන බව ද සැබෑය. සිරිපා වාරයේදී උඩ මළුවට යන මාර්ග දෙපසට එකතු වී ඉවත් නොකළ පොලිතීන්, ප්ලාස්ටික් කුණාටු සහිත මහ වැස්සට සේදී ගොස් ජල මාර්ගවලට එකතු වේ. ඒ පුංචි දිය පාරවල් මහ ජල කඳක් ලෙස මවුස්සාකැලේ ජලාශයට ගලා බසිති. එමෙන්ම ශුද්ධ ප්ලාස්ටික් බහුල සමනළ කඳු වැටිය සෝදාගෙන ගලා බසිනා සිව් මහා ගංගාවල ජලය පිරිපහදු කරමින් පානීය ජලය ලෙස රට පුරා බෙදාහරින බව සැබෑය. එම ගංගාවල ජලය වන සතුන් බොන බව සැබෑය. ගොඩ, මඩ වගා බිම් අස්වැද්දීමට භාවිත කරන බව සැබෑය. අවසානයේ ඒ මහා ගංගාවෝ මහ මුහුදට ගලා බසිති. ඒ ජල කඳ තුළ ගසාගෙන ආ ශුද්ධ ප්ලාස්ටික් මුහුදු මාළුන්ගේ ශරීර කූඩු තුළට ද ඇතුළු වෙති. ඒ මසුන්ව මිනිස්සු අනුභව කරති. ගංගාවලින් පිරිපහදු කර දෙන වතුර බොති. මස්, එළුවළු, පලා වර්ග කති. සිරිපා කරුණා කරන්නට ගොස් ඔබ ඉවත දමන ලද ෂොපින් බෑගය, ප්ලාස්ටික් බෝතලය වසර දෙක තුනකින් මරණීය විෂ සහිත ශුද්ධ ප්ලාස්ටික් ලෙස ශරීරයට ඇතුළු වන චක්‍රය තේරුම් ගැනීමට ඔබ බුද්ධිමත් විය යුතුය. එවිට අනාගතයේදී උද්ගතව විය හැකි මහා ඛේදවාචකය අවම කරගත හැක. එහෙත් එය නතර කිරීමට දැන් ප්‍රමාද වැඩිය.

තරංග රත්නවීර
ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

advertistmentadvertistment
advertistmentadvertistment