සමාජ – දේශපාලන අංශවල ප්‍රමුඛතාව තවමත් දේශපාලනයටය. දේශපාලන බැන අඬගසා ගැනීම්, ආණ්ඩුවට වුවමනා ආකාරයටම මැතිවරණ පැවැත්වීම්, පමණක් නොව පක්ෂ අභ්‍යන්තරවල විවිධ ගැටුම් ආදියෙන්ද පිරුණු පුවත් සුපුරුදු ලෙස මේ සතියේද වාර්තා විය. එසේ වුවද තව දින කීපයකින් එළඹෙන මෙ රටේ මහා සංස්කෘතික උළෙල පිළිබඳව අමුතු ප්‍රබෝධයක් ඇති බවක් නම් නොපෙනේ. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ සංස්කෘතික අමාත්‍යාංශයට තිබෙන එකම ගැටලුව අවුරුදු නැකැත් මුල්කරගත් වාද විවාද බවද පැහැදිලිය. අලුත් අවුරුද්ද විශේෂයෙන්ම නැකැත් මුල් කරගත් උත්සවයක් බව සැබෑය. රාජ්‍ය නැකැත් කමිටුවක් ද පත්කරගෙන ඇත්තේ ඒ වැඩේ හොඳින් හා බහුතර ජනතාවකගේ අවධානයට ලක්කිරීම සඳහා විය යුතුය. එහෙත් බොහෝවිට මේ නැකැත් කමිටුවල ක්‍රියාකාරකම් අවුල් ජාලාවක් හදන බවද රහසක් නොවේ. අලුත් අවුරුද්ද පමණක් නොව වෙසක් හා පොසොන් වැනි ප්‍රධාන ආගමික උත්සව සඳහාත් රාජ්‍ය අනුග්‍රහ, රාජ්‍ය මැදිහත්වීම් සිදුවන බව ද අපි දනිමු. එහිදීත් බොහෝවිට වැඩ අවුල් වන ආකාරයක්ද පෙනේ. මිහින්තලේ විහාරාධිපති ආචාර්ය වලවාහැංඟුණවැවේ ධම්මරතන නාහිමියන් දින කීපයකට පෙර රාජ්‍ය නිලධාරීන් ද සහභාගි වූ පොසොන් කමිටු රැස්වීමෙන් නැඟිට ගියේ ආණ්ඩුවේ අනුග්‍රහයද ප්‍රතික්ෂේප කරමින්ය.

උන්ට අවුරුදු අපට වැට් බදු!

රටේ ප්‍රධාන ජාතික සංස්කෘතික හා ආගමික උත්සව සඳහා ආණ්ඩුවක් අනුග්‍රහය දැක්වීම නොමනා දෙයකැයි කිසිවකුට කිව නොහැක. එහෙත් දේශපාලනඥයන් මේ බොහෝ දේවල් සඳහා ඉදිරිපත් වන්නේ දේශපාලන ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණ ඉදිරියට දමා ගෙනය. බොහෝ ගැටලු ඇතිවන්නේද ඒ නිසාය. එහෙත් රටක සංස්කෘතික හා ආගමික උරුමයන් ආරක්ෂා කිරීමේ වගකීම දේශපාලනඥයන්ට මෙන්ම ආණ්ඩුවලට පැහැරහැරීමට නොහැකි බව ද සිහිපත් කළ යුතුය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බලනවිට මෙරටේ ජාතික, සංස්කෘතික හා ආගමික උත්සව සමඟ රාජ්‍ය පාලනය බැඳී තිබුණු බව ඉතිහාසයේ දැක් වේ. විදේශ ආක්‍රමණ මෙන්ම රටවල් යටත් කර ගැනීම්වලදී ඒ බොහෝ ආක්‍රමණිකයන් විසින් ඒ ඒ රටවල සංස්කෘතික හා ආගමික වටිනාකම් විනාශ කිරීමට දක්වන ලද අවධානය කැපී පෙනේ. රාජාණ්ඩු ක්‍රමයේ සිට නූතන ප්‍රජාතන්ත්‍රවාදය තෙක් පැමිණි ගමන අපට විවිධ දෘෂ්ටි කෝණ ඔස්සේ විමසා බැලීමට ද හැකිය. ලංකාව ලෝකයට වඩාත් විවෘත නොවූ සියවස් ගණනක අතීතයට වඩා අද සමාජ දේශපාලනය යහපත් නොවන බව අපට පැවසීමට සිදුවීම අවාසනාවකි. අනුරාධපුර යුගයේ සිට මහනුවර රාජධානිය බිඳ වැටීම තෙක් වූ ඉතිහාසය වුවද අපට ලබාදී තිබෙන සාධනීය හා නිෂේධනීය අත්දැකීම් බොහෝය. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යන යුරෝපීය ආක්‍රමණිකයන් පමණක් නොව ඉන්දියානුවන් විසින් ද මෙරටට සිදුකරන ලද විනාශය සුළුපටු නොවේ. එහෙත් ඒ කිසිදු ආක්‍රමණිකයකුට මෙ රටේ මුල් බැස ගත් සංස්කෘතික හර පද්ධතිය මෙන්ම ඒ සමඟ බැඳුණු සාරධර්ම හා ආගමික වටිනාකම් මුලිනුපුටා දැමීමට නොහැකි විය. එසේ වුවද නූතන ප්‍රජාතන්ත්‍රවාදය සමඟ එබඳු සංස්කෘතික චර්යාවන් විකෘති කිරීමේ මෙහෙයුම්ද දැකගත හැකිය. ජාතිය හා ආගම මානව සමාජ තුළ විවිධ භේද ඇති කිරීමට යොදා ගැනීම අද බොහෝවිට සිදු වන්නකි. එදා අධිරාජ්‍යවාදීන් හෝ ආක්‍රමණිකයන් විසින් සිදු කළ ඒ විනාශය අද සිදු කරනු ලබන්නේ දේශපාලන පක්ෂ හා නායකයන් විසිනි. ඒ සඳහා ඇතැම් ආගමික නායකයන් එක්වීම ද බරපතළ ප්‍රශ්නයක් වී තිබේ. නිසැකයෙන්ම අද ලෝකයම මුහුණ දී සිටින එක් ගැටලුවක් වන්නේ මිනිසා ජීවත් කිරීමේ අභියෝගයට මුහුණදීමට වඩා ශිෂ්ටාචාර හා සංස්කෘතීන් අතර යුද්ධයකට යැයිද සිතේ.

ලෝකය ගැටුම්වලින් පිරී ගිය තැනක් බවට පත්ව තිබෙන්නේ බලය හා ධනය පිළිබඳ තෘෂ්ණාව නිසාය. ලංකාවේ සිදුවන්නේද එයම බව දැන් ජනතාව ද වටහාගෙන තිබේ. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, සදාචාර මූලධර්ම මෙන්ම සංස්කෘතික බැඳීම් ද නොතකා ක්‍රියාකරන මුග්ධ දේශපාලන මෙහෙයුම් ගැන අපට ද විවිධ අත්දැකීම් තිබේ. අද අප මුහුණ දී සිටින ආර්ථික අර්බුදය අතිශය බැරෑරුම්ය. ජනාධිපති රනිල් පවා සඳහන් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණය, බදු ප්‍රතිපත්තිය වැනි දේවල් අද ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්ප නැති බවය. ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් ගැන රටම ඇස් විදහාගෙන බලා සිටිති. එහෙත් ඒවායින් ජයගෙන මේ රට ඉදිරියට රැගෙන යෑම ලේසි පහසු කාර්යක් නොවේ. පක්ෂවල අවුල් වියවුල් පමණක් නොව පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් ද නිසා ශීඝ්‍රයෙන් අපේක්ෂා භංගත්වයට පත් වූ ජනතාව විසින් කරන ලද අරගලය පවා අද බොහෝදෙනකුට අමතක වී තිබේ. මේ ආණ්ඩුව කෙරෙහි මෙන්ම බොහෝ දේශපාලන පක්ෂ හා ඒවායේ හැසිරීම් ද ජනතාවගේ අප්‍රසාදයට ලක්ව තිබේ. පොහොට්ටුව යළිත් තම බලය අලුත් කර ගැනීමේ ක්‍රම සහ විධි කල්පනා කරමින් සිටියි. එදා රාජපක්ෂවරුන්ගේ පාලනයට එරෙහිව නැඟුණු ජනතා විරෝධයට උඩින් පැන වුවද තම දේශපාලන පවුල රැක ගැනීමට ඔවුහු පසුබට නොවෙති. නාමල් වටා රඳවා තිබෙන ඔවුන්ගේ බලාපොරොත්තු පමණක් නොව රටම දනී. එහෙත් ඒ ගැටලුවට මේ දේශපාලන වාතාවරණය තුළ විසඳුමක් නැත. ජනාධිපතිවරණය සඳහා රනිල්ට වඩා සුදුසු චරිතයක් ද අද ඒ කඳවුරට නැත. එහෙත් තවමත් රනිල් භූමිය පරීක්ෂා කරමින් සිටින ආකාරය ද පෙනේ. දේශපාලනය යනු මතුපිටින් බලා තීරණ ගැනීමට ඉක්මන් විය යුතු දෙයක් නොවන බව රනිල්ගේ මාමණ්ඩිය මෙන්ම එජාපයට ඓතිහාසික ජනබලයක් ලබාදුන් ජේ.ආර්. ජයවර්ධනගේ පාඩමය. එහිදී උපක්‍රමශීලී නොවන කිසිවකුට ජය ලබාගත නොහැකි බව ද ජේ.ආර්. ගේ දැක්ම විය. මේ වනවිට රනිල් පොහොට්ටුවේ ප්‍රබල කණ්ඩායමක් දිනාගෙන සිටියි. රාජපක්ෂ කඳවුරේ ඉතිරිව සිටින අය කෙබඳුද? ඒ අයගෙනුත් ජනතාවගේ ප්‍රසාදය දිනාගත් අය කී දෙනෙක් සිටිත්ද?

ශ්‍රී.ල.නි.ප. නායකයා පමණක් නොව පක්ෂයම අර්බුදයකය. මෛත්‍රිපාල විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය මෙන්ම ඇතැම් අනාවරණයන් දැන් පාස්කු අර්බුදය තවත් සංකීර්ණත්වයකට රැගෙනවිත් තිබේ. සන්ඩේ ටයිම්ස් පුවත්පත මේ පිළිබඳව මතු කළ කාරණා බොහෝය. කාදිනල්තුමන්ගේ පාර්ශ්වයද එයට ප්‍රතිචාර දක්වමින් සිටියි. අනෙක් කරුණ ශ්‍රී.ල.නි.ප.යේ තනතුරු අහිමි කළ අමරවීර, දුමින්ද හා ලසන්ත දැන් ඒවාට වාරණයක් ලබාගෙන තිබීමය. නිමල් සිරිපාල, අමරවීර හා ලසන්ත ඇමති ධුර හොබවන්නෝය. දුමින්ද ආණ්ඩුවට සහාය දෙන්නෙකි. මොවුන්ගේ බැඳීම් පක්ෂයට වඩා ජනාධිපති රනිල්ට බව පෙනේ. ජයවර්ධන එදා ශ්‍රී.ල.නි.ප.ය විසුරුවාට වඩා මේ තත්ත්වය බරපතළය. මේ දේශපාලන චංචලභාවය ශ්‍රී.ල.නි.ප.යේ අභාවය ඉක්මන් කරවන්නකි. පක්ෂය මෛත්‍රීගෙන් බේරාගත යුතු බවක් ද ඔවුහු කියති. ජනාධිපති රනිල්ට ස.ජ.බ.යෙන් බහුතරයක් දිනාගත හැකිද? යන ප්‍රශ්නයත් අද මතු වේ. සරත් ෆොන්සේකාත් අවුලක විය යුතුය. පක්ෂයේ කටයුතු සිදු වූ ආකාරය ඔහුගේ විවේචනයට ලක්වී තිබේ. රනිල්ගේ ප්‍රතිපත්ති විවේචනය කිරීමේදී පය බුරුලෙන් තබා යන කීපදෙනෙක්ම ස.ජ.බ.යේද සිටිති.

දැන් අපි එළඹෙන අලුත් අවුරුද්ද හා ඒ පිළිබඳ ජනතා සූදානම හා ආණ්ඩුවේ ප්‍රතිචාර ගැනත් විමසා බලමු. අපගේ අවබෝධය හා පිළිගැනීම වන්නේ අලුත් අවුරුද්ද මෙරටේ පැවැත්වෙන විශිෂ්ටතම සංස්කෘතික උළෙල බවය. රාජ්‍ය පාලකයන් ප්‍රමුඛ සියලු ආකාරයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් තම අනාගත පරපුර උදෙසා ලබාදෙන ආඪ්‍යතම සංස්කෘතික දායාදය අලුත් අවුරුද්ද ලෙස හැඳින්විය යුතුය. ආණ්ඩුවත් ඇතැම් විද්වතුන්ට අනුවත් මේ එළඹෙන්නේ සිංහල හින්දු අලුත් අවුරුද්දය. අපට නම් මෙම හැඳින්වීම ප්‍රශ්නකාරී වේ. සිංහල යනු ජනවර්ගයකි. හින්දු යනු තවත් ජනවර්ගයක් වන දෙමළ අයගේ ආගමික විශ්වාසයකි. එසේ නම් මේ හැඳින්වීම සිංහල දෙමළ අලුත් අවුරුද්ද හෝ බෞද්ධ හින්දු අලුත් අවුරුද්ද විය යුතුය යන තර්කයට අපටත් එකඟ විය හැකිය. මේ හැඳින්වීම යටත් විජිත පාලකයන් විසින් ආරෝපණය කරන ලද බව සමහරු පවසති. සිංහල බෞද්ධ මෙන්ම දෙමළ හින්දු ලෙස වෙන වෙනම අනන්‍යතාවන්ද තිබේ. සිංහල අලුත් අවුරුද්ද යන්න නොඉවසූ අය පිනවීම සඳහා පසුව මෙය සිංහල – දෙමළ අලුත් අවුරුද්ද ලෙස ව්‍යවහාර කළ බව ද මේ වාද විවාද අනුව පෙනී යයි.

උන්ට අවුරුදු අපට වැට් බදු!

මෙ රටේ සිංහල බෞද්ධයන්ගේ විශේෂ ගෞරවයට පාත්‍ර වූ උත්සව තුනකි. ඒ අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය හා පොසොන් උත්සවයයි. දෙමළ හින්දුන්ටද අලුත් අවුරුද්ද, දීපවාලි හා තෛපොන්ගල් ලෙස සංස්කෘතික ආගමික උත්සව තුනක් තිබේ. මේ දෙපිරිසම ජ්‍යොතිෂය පිළිගනිති. නැකැත්, හඳහන හා වෙනත් සුබ මුහුර්ත ඒ අනුව පිළිගත් දේවල්ය. අලුත් අවුරුද්ද සඳහා සිංහලයා දිගු කලක් කැපවූ ආකාරයත් ඒ සමග බැඳුණු බෞද්ධ සිරිත් විරිත් හා සම්ප්‍රදායන් ඔවුන් ආරක්ෂා කළ බවත් පෙනේ. ජෝන් ඩේවි, රොබට් නොක්ස් වැනි බ්‍රිතාන්‍ය පාලකයන්ගේ ලේඛනවලද මෙම අලුත් අවුරුදු සිරිත් විස්තර කර තිබේ. හිරු, සඳු, තරු මෙන්ම පරිසරයේ බොහෝ දේවල් වන්දනා කළ ජනතාව ඒවායේ බලපෑම් මහපොළවේ ජීවත්වන සියලු සතුන්ටම ඇතැයි වටහා ගත්තේ විද්‍යාව ව්‍යාප්ත වීමටත් කලින්ය. සිංහලයන්ගේ සංස්කෘතිය මහින්දාගමනයෙන් පසු සිංහල බෞද්ධ සංස්කෘතිය බවට පත්වීම සම්බන්ධයෙන් වුවද වාද විවාද බොහෝ ඇත. සිංහල සංස්කෘතිය මූලික වසයෙන් බුදුදහමෙන් හා එම සංස්කෘතියෙන් වැඩුණු හා අර්ථවත් වූ බව ද විද්වත්හු සඳහන් කරති. ජාතික හා සංස්කෘතික අනන්‍යතාව වෙනුවට ජනප්‍රිය සංස්කෘතිය හිස තබා ගත් අය ද සිටිතියි සමාජ විද්‍යාඥයන්ගේ වාද විවාද අනුවද පෙනීයයි. එහෙත් සිංහල අලුත් අවුරුද්ද ලෙස ඉතිහාසයේ සඳහන් සංස්කෘතික හර පද්ධතිය සුරැකිය යුතුය යන පණිවුඩය මෙම අලුත් අවුරුද්ද අපට ලබා දෙයි. සිංහල සංස්කෘතිය නොඉවසූවෝ හුදු අධිරාජ්‍යවාදීන් හෝ යටත් විජිතවාදීන් හෝ නොවෙති. ලාංකික සමාජයේ හැම අංශයක් කෙරෙහිම විහිදී ගියේ ඉංග්‍රීසි සංස්කෘතිය බව පිළිගන්නා විද්වත්හු ද සිටිති. පෘතුගීසින්ගෙන් ලැබුණු නම් ගම් මෙන්ම බයිලා හා නැටුම් ද අදත් ඉතිරිවී තිබේ. එසේම ඉංග්‍රීසි අධ්‍යාපනය, පාලන ක්‍රම, ඇඳුම්, ආහාර රටා හා බොහෝ දේ අපට දක ගත හැකිය. බ්‍රිතාන්‍ය පාලකයන් අපේ හැදියාව උඩු යටිකුරු කළ ආකාරයට වඩාත් වගකිව යුත්තේ ස්වදේශීය පාලකයෝය. ඉංග්‍රීසීන් අපට නිදහස ලබා දෙනවිටත් අපේ සංස්කෘතික වටිනාකම් අභියෝගයට ලක්ව තිබුණි. ඉන්දියාව අපට වඩා ස්වදේශීය අභිමානයකින් අවදි කිරීමට එදා ජාතික නායකයන්ට හැකි විය.

අලුත් අවුරුද්ද මේ ස්වදේශීය අභිමානයත් – සංස්කෘතික ආඪ්‍යත්වයත් පිළිබඳ උත්කර්ෂවත් උළෙල ලෙස හැඳින්වීම නිවැරදිය. එහි සමාරම්භය සාහිත්‍යයේ හා ජනප්‍රවාද ඔස්සේ ඈතට විහිද යන ආලෝක ධාරාවකි. ඒ පිළිබඳව බොහෝ උපුටා දැක්වීම් කළ හැකිය. අපේ ඉපැරණිම ජාතික උරුමයක් වන සීගිරි ගීයක අවුරුදු සිරිතක් බවට පත්ව ඇති සඳ බැලීම සිහිපත් කෙරෙන ගීයක් ඇත. පාඨකයන්ට ප්‍රයෝජනයක් වේ යැයි හැඟෙන නිසා ඒ ගීයම උපුටා දක්වමි.

“අගනිනි අත්සලව් මෙගී පොහොන්නෙක් නැතිද

නව බග්ළසන්ද් දුටු මිනිසක්හු නොවප්න්නෙයි”

මේ ගීය සීගිරියට පැමිණි අයෙක් සඳ

දැකීමෙන් ප්‍රමුදිතව ලියමින් ප්‍රශ්නයක් නගයි

අත්සලා තාලය අල්ලා තමන් සමග එක්වන

ලෙස ඔහු පවසයි. බක්මහේ අලුත් ළා

සඳ දුටු තැනැත්තෙකු ගැන නොතකා

ඉන්නේ ඇයි? වර්ජනය කරන්නේ ඇයි?

පරණවිතානයන් සිහිපත් කරන්නේ අවුරුදු සඳ බැලීමේ සිරිත සිංහලයා අත් නොහල බවයි. මේ පසුකාලීනව ජනකවියා හඳ බැලීම ගැන තවත් දේ සමාජගත කළ ආකාරයයි.

දුක් දුරු බදාදා
සඳ නොබලන් සෙනසුරා දා
සඳ බලනු ඉරි දා
ඊට සැපතක් වේය සඳු දා

විද්‍යඥයන් සඳ මතට පා තබන මෙම සියවසේ සඳ පිළිබඳ ජනවහරේ හා කවි සමයේ එන දේවල් කෙනෙකුගේ උපහාසයට ලක්වීමට ද බැරි නැත. එහෙත් ආගමික විශ්වාස, සංස්කෘතික උරුමයන් බුද්ධිවාදයට හසු නොවන ඉමක තිබෙන දේවල් දැයි සිතීමට ද බැරි නැත. ඒ අනුව මෙම අලුත් අවුරුද්ද සිංහල දෙමළ දෙවර්ගයටම පෙන්වා දෙන්නේ මානව ශිෂ්ටාචාරයේ දිගු ගමනේදී ඒ මඟ දෙපස දැල්වුණු අර්ථ සංඥා නොවේද?

අලුත් අවුරුද්ද යනු ඒ ජන සංස්කෘතියෙහි ජීවයත් හරයත් ගැඹුරත් සිහිපත් කරවන ප්‍රබලම අවස්ථාවකි. සමාජ විද්‍යාඥයන්ට අනුව ලොව කිසිදු මානව ශිෂ්ඨාචාරයක මෙබඳු සාමූහික සම්මුතීන් සිරිත් නැත. අවුරුදු උදාවට පෙර ලිප ගිනි නිවන ගෘහණිය පසුව නැකතට එය අලුතින්ම අවුලවන්නීය. මේ ලිප ගිනි මෙළවීම මුළු රටේම එකට සිදු වෙයි. එයට බැඳුණු ආහාර අනුභවය, ගනුදෙනු කිරීම, වැඩ ඇල්ලීම මෙන්ම රැකියා සඳහා පිටත්ව යෑම ආදී තවත් සිරිත් විරිත් කීපයක්ම එකම නැකතකට එකම ආකාරයට සිදුවීම ද මෙම අවුරුදු සිරිත්වල ලක්ෂණයයි. අවුරුදු කැවිලි අවුරුදු ක්‍රීඩා මෙන්ම නෑගම් යෑම ද මේ සිරිත් අතර මුතුහරක් සේ එකට ඇමිණී තිබෙන දේවල්ය. මේවා සමාජ විද්‍යාඥයන්ගේ මෙන්ම සංස්කෘතික විචාරකයන්ගේද විවිධ අර්ථකථනවලට ලක්වී තිබේ. අවුරුද්දක් පුරා විවිධ කටයුතුවල නිරතව සිටින විශේෂයෙන් ගොවිතැන් බත්කිරීම වෘත්තීය කර ගත් ජනතාවට ලැබෙන විරාමය, විවේකය මේ අවුරුද්ද විසින් සකසා දෙනු ලබයි. නෑයන් හමුවීම, පරණ නොහොඳ නෝක්කඩුකම් අමතක කිරීම, වැඩිහිටියන් වන්දනා කිරීම ආදී සමාජ බැඳීම් රැසක් මේ අවුරුද්ද නිසා සිදු වේ.

කිසියම් රටක ජීවත්වන විවිධ ජනකොටස් සඳහා පොදු වූ චර්යා ධර්ම පද්ධතියක් හෝ සංස්කෘතික වටිනාකම් තිබිය හැකිද? ආගමික නිදහස පවා අහිමි මූලධර්මවාදී සමාජ පවා තිබේ. තලේබාන්වරුන්ගේ ආකල්ප හා නිදහස අප පිළිගත් සංස්කෘතිය සමග අහසට පොළව මෙන්ය. ධනවාදී පාරිභෝගික සමාජ ආකල්ප මේ වනවිට අපේ රටේද ප්‍රශ්නකාරී වී තිබේ. ’ධනවාදය ව්‍යාප්ත වූ සමාජයක නිර්ධන පන්තියට හිමිවන ස්ථානය කුමක්ද? මුදලින් වටිනාකම් මැන බලන සමාජයකට සංස්කෘතික වටිනාකම් සාරධර්ම අදාළ විය හැකිද? ඒවා මානව ශිෂ්ටාචාර කටුගෙයි තැන්පත් කළ යුතු දේවල්ද? වැනි ප්‍රශ්න නගන්නෝද සිටිති. එහෙත් සියවස් ගණනාවක් මුළුල්ලේ ගලා ආ ඒ සංස්කෘතික ප්‍රවාහය නොසිඳී නොසැලී අතීතයෙන් වර්තමානයටත් වර්තමානයෙන් අනාගතයටත් ගලාබසිනු ඇත.

දැන් යළිත් අපි වර්තමානයට පිවිසෙමු. දරුවන් නඩත්තු කළ නොහැකිව පියෙක් දිවි නසාගත් පුවතක් දිවයින (03 දා) වාර්තා කර තිබුණි. ලංකාවේ දුප්පත්කම දෙගුණ වී කුසගින්න නිවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ලෝක බැංකුව කියා තිබේ. පාලකයන් අවුරුදු තෑගි ලෙස වැට් බද්ද ඉහළ දමද්දී බී ලූනු හා අල විකුණා කීපදෙනෙක් රු. කෝටි 8000ක් ලාබ ගත් බව පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි කමිටුවේ පාඨලී චම්පික කියයි. සුරාබදු දෙපාර්තමේන්තුව මිලියන ගණනක බදු අමතක කරද්දී එහිම තවත් පිරිසක් ගංජා වෙළෙඳාමේ නිරතව සිටිති. ආණ්ඩුව සුපිරි වර්ගයේ පැට්රල් හා ඩීසල් සහනයක් ලබා දෙන්නේ ඉන්ධන මිල දරාගත නොහැකි බහුතර පිරිසක් සුසුම් හෙළද්දීය. කුමක් හෝ වාසනාවකට සෞඛ්‍ය වර්ජනය නතර වී තිබේ. භාණ්ඩ මිල පහළට එන බව ආණ්ඩුව කීවත් වෙළෙඳපොළ තවමත් පාරිභෝගිකයා ගැන ළතෙත් බවක් නැත. කුලී වැඩ, සුළු පරිමාණ රැකියා, ඉදිකිරීම් කටයුතු නැති පසුබිමක මුදලක් අතට එන මඟක් නැති සෑහෙන පිරිසක් ද සිටිති. ආණ්ඩුවේ සහල් සහන, වෙනත් අනුග්‍රහ පිළිබඳ ලවක් දෙවක් නැතුව ඇසෙයි. එහෙත් අවුරුද්දට බොහෝ කාලයක සිට ලිප ගිනි නිවා, ආහාර අනුභවයද වේලකට සීමා කරගත් ජනතාවක් වැඩි වශයෙන් සිටින රටක අවුරුදු සතුට ගැන කවර කතාද? ගසා කෑ එකාට අවුරුදුය. ගසා කෑ මේ වින්දිතයන්ට වැට් බදුය. බඩු තිබිය හැකිය. ඒත් අගහිඟකම් ඉහටත් උඩින්ය.

advertistmentadvertistment
advertistmentadvertistment