ව්‍යවස්ථානුකූලව පළමුවෙන්ම පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයයි. නමුත් එක්සත් ජාතික පක්ෂ (එජාප) නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ඔහුගේ අනුග්‍රාහක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය) අතර ඒ සම්බන්ධයෙන් තවමත් එකඟතාවයක් නොමැත. ලබන වසරේ පැවැත්වීමට නියමිත මහමැතිවරණය 2024 සැප්තැම්බර්/ඔක්තෝබර් පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පෙර කැඳවිය යුතු බවට පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ දැඩිව කළ යෝජනාව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇත.

ජනාධිපතිවරයාගේ /එජාපයේ සහ පොහොට්ටු පක්ෂයේ අවශ්‍යතාවයන් සපුරාලීමට මැතිවරණ දෙකම එකම දිනයක පැවැත්වීමට ඇති අවස්ථාව රජය විමසා බලන බවට පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පසුගියදා කළ ප්‍රකාශය ද රටේ අවධානයට යොමු විය යුතුය.

එජාප නායක ජනාධිපතිවරයාගේ උපාය මාර්ගය සහ අවශ්‍යතා, ජනාධිපතිවරයාගේ සහ තවමත් පාර්ලිමේන්තුවේ විශාලතම කණ්ඩායම වන පොහොට්ටු පක්ෂයේ අවශ්‍යතා, ප්‍රධාන විපක්ෂයේ අවශ්‍යතා, සමස්ත විපක්ෂයේ අවශ්‍යතා, ද්‍රවිඩ දේශපාලනය, බටහිර අවශ්‍යතා, ඉන්දීය අවශ්‍යතා, බටහිර සහ ඉන්දීය අවශ්‍යතා, ගෝලීය දකුණ ශ්‍රී ලංකාව සම්බන්ධව ගනු ලබන ප්‍රවේශය යන කරුණු කාරණාවලට අවධානය යොමු නොකර බංකොලොත් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දෙන අභියෝගය තේරුම්ගත නොහැක.පළාත් සභා (වසර 5 කට ආසන්න කාලයකින් ප්‍රමාදය) සහ පළාත් පාලන ඡන්දය (පැවැත්වීමට නියමිතව තිබුණේ 2023 මාර්තු 3 වන සතිය අවසාන වීමට පෙරය) අතුරුදන් කර ඇති තත්ත්වය තුළ පළමුවෙන් පැවැත්වීමට අවස්ථාව ඇති ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විමසා බලමු.

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මේ වසරේ අග භාගයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ශක්තිමත් පදනමක් මත ඉදිරිපත් කළ යුතු බව නිල වශයෙන් පළමුවෙන්ම ප්‍රකාශ කළේ එම පෙරමුණේ ප්‍රධානියකු වන නීතිඥ ශිරාල් ලක්තිලකය. ඒ පසුගිය පෙබරවාරි පළමුවන සතියේය.

යහපාලන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ (2015-2019) සම්බන්ධීකරණ ලේකම්වරයකු වූ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වූ ලක්තිලක 2018 සැප්තැම්බර් 20 දින ශ්‍රීලනිප නායක ජනාධිපතිවරයාගේ උපදේශකයකු ලෙස පත්විය. ඒ සිරිසේන ජනාධිපතිවරයා යහපාලනය උඩු යටිකුරු කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් දියත් කිරීමට සති කීපයකට පෙරය. එවකට පාඨලී චම්පික රණවක එජාපයෙන් තරග කර කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහු එදා නියෝජනය කළේ අද අභාවයට ගොස් ඇති 2004 දී පිහිටුවනු ලැබූ ජාතික හෙළ උරුමයයි. එජාප – ශ්‍රීලනිප යහපාලන ආණ්ඩුවේ එතුමා ප්‍රබල අමාත්‍ය ධුරයක් ද දැරීය. (අමාත්‍යවරයා 2016 පෙබරවාරි මාසයේ 28 රාජගිරියේ සිදුකළ අනතුර හේතුවෙන් සන්දීප් සම්පත් ගුණවර්ධන බරපතළ තුවාල නොලබන්නට ඔහුගේ වර්තමාන තත්ත්වය වෙනස් විය හැකිව තිබුණි. එම සිද්ධිය යහපාලන ආණ්ඩුවටද සැලකිය යුතු බලපෑමක් කළේය.)

අද පාඨලී චම්පික රණවක සහ ශිරාල් ලක්තිලක නියෝජනය කරන්නේ එක්සත් ජනරජ පෙරමුණයි. එය තවමත් මැතිවරණ කොමිසම විසින් ලියාපදිංචි කළ පක්ෂයක් නොවේ. නව එක්සත් ජනරජ පෙරමුණේ ව්‍යවස්ථාව හා නිලධාරී මණ්ඩලය පිළිබඳ නිල ලේඛන මැතිවරණ කොමිසම වෙත 2023 ජුනි 06 භාර දීම සිදුවිය. එම පක්ෂය අරගලයට පෙර දේශපාලන මෙහෙයුමක් දියත් කළේ 43 සේනාංකය ලෙසය. ඒ අරගලය 2022 මාර්තු 31 පුපුරා යෑමට සති කීපයකට පෙරය.

කෙසේ වෙතත් පාඨලී චම්පික රණවක වර්තමාන පාර්ලිමේන්තුවට ඇතුළු වූයේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (සජබ) නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීවරයකු ලෙසය. මන්ත්‍රීවරයා එම පක්ෂයෙන් වෙන්වී ඇති බව අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. ඊට පෙර පාර්ලිමේන්තුවේදී ඔහු නියෝජනය කළේ එජාපයයි. සජබට මාරු වීම 2020 ආරම්භයේදී සිදු විය.

පාඨලී චම්පික රණවක මෙවර ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම්ය. ඇත්ත වශයෙන්ම 2019 ජනාධිපතිවරණයට තරග කිරීමට ඔහුට වුවමනාවක් තිබූ බව රහසක් නොවේ. නමුත් අවස්ථාවක් උදා නොවීය. මෙවර එතුමාට ජනාධිපතිවරණයට යම් ප්‍රවේශයක් ලබා ගත හැකිද?

තවදුරටත් වර්ධනය වෙමින් පවතින අතිශය ව්‍යාකූල ශ්‍රී ලංකා දේශපාලන තත්ත්වය තුළ පාඨලී චම්පික රණවක නැවතත් ජනාධිපතිවරණට තරග කිරීමට අවස්ථාවක් පතා ඇත. සජබ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාද තමන්ට අවස්ථාවක් ලැබුණහොත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමැත්ත පළ කර ඇත. සජබ නායක සජිත් ප්‍රේමදාස (කොළඹ දිස්ත්‍රික්කය) ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව දැනටම ප්‍රකාශ කර ඇති පසුබිමේ එම පක්ෂයෙන්ම පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරු දෙදෙනකු වන සරත් ෆොන්සේකා (ගම්පහ දිස්ත්‍රික්කය) සහ පාඨලී චම්පික රණවක (කොළඹ දිස්ත්‍රික්කය) තමන්ගේ ජනාධිපතිවරණ සූදානම සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීම අවධාරණය කරන්නේ වර්තමාන දේශපාලන ව්‍යාකූලත්වයයි.

ලක්තිලක පෙබරවාරි මාසයේදී කළ ප්‍රකාශය පසුගියදා එක්සත් ජනරජ පෙරමුණේ නායකයා ස්ථිර කළේය. ඒ හෝමාගම පැවැත් වූ ජන හමුවකදී නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරක් ලෙසය. වර්ධනය වෙමින් පවතින අර්බුද සහ අභියෝග ජය ගැනීමට හැකි දේශපාලන සන්ධානයක් බිහි කිරීමට මැදිහත් වන බව ප්‍රකාශ කළ පාඨලී චම්පික රණවක නිර්මාණය කෙරෙන සන්ධානය විසින් මැතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු නියෝජිතයන් (එතුමා අදහස් කරන්නේ මහ මැතිවරණය විය යුතුය) නම් කළ යුතු බව අවධාරණය කළේය. එහිදී ජනාධිපතිධුරාපේක්ෂකත්වය භාරගන්නා ලෙස ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත්, එම අභියෝගය භාර ගැනීමට තමන් සූදානම් බවද ඔහු ප්‍රකාශ කළේය. සන්ධානය විසින් වෙනත් පුද්ගලයකු ජනාධිපතිවරණය සඳහා නම් කළහොත් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙනී සිටින බවද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

එක්සත් ජනරජ පෙරමුණ “දේශය වෙනුවෙන් එක්වන පියවරක්” වැඩපිළිවෙළ පෙබරවාරි 14 වැනිදා ඉදිරිපත් කෙරිණ. ඊට සමගාමීව නව දේශපාලන සන්ධානයක් සඳහා වූ සාකච්ඡා ආරම්භ වී තිබේ. එක්සත් ජනරජ පෙරමුණ මාර්තු 28 නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව නව දේශපාලන සන්ධානයක් බිහි කිරීමේ අරමුණ මැතිවරණ ජයග්‍රහණයක් ලබා ගැනීම නොවේ. එම ක්‍රියා පිළිවෙත රට ගොඩනැඟීමේ නිශ්චිත වැඩපිළිවෙළක් වටා පමණක් ගොනුවිය යුතුය ලෙස එම පෙරමුණ නිකුත් කළ නිවේදනය අවධාරණය කර ඇත.

දේශපාලන ව්‍යාකූලත්වය උච්ඡතම තත්ත්වයක බව අමුතුවෙන් කිව යුතු නැත. අර්බුද ජයගැනීමට සන්ධානයක් බිහිකිරීමට සාකච්ඡා කිරීම ම අර්බුදයකි. අර්බුදය තවදුරටත් තීව්‍ර කිරීමකි. තවත් සන්ධානයකට දේශපාලනික ඉඩක් තිබේද? හිටපු ජනාධිපති සහ ශ්‍රීලනිප නායක මෛත්‍රිපාල සිරිසේන සමග ගැටුමක පැටලී සිටින දයාසිරි ජයසේකර ද මෑතකදී සන්ධානයක් ප්‍රකාශයට පත් කළේය. පොහොට්ටු පක්ෂයෙන් ගැළවුණු විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ගෙවිඳු කුමාරතුංග නියෝජනය කරන උත්තර ලංකා සභාගයද සන්ධානයකි. ඇත්ත වශයෙන්ම සන්ධාන ගොන්නක් ඇත. නමුත් එම සන්ධාන පවතින තත්ත්වය තුළ ජනාධිපතිවරණයට ‘සහභාගි’ වන ආකාරය තවමත් පැහැදිලි නැත. එක්සත් ජනරජ පෙරමුණ ගොඩනැඟීමට බලාපොරොත්තු වන සන්ධානය සමග ජනාධිපතිවරයාගේ පක්ෂය වන එජාපය (පාර්ලිමේන්තුවේ එක ජාතික ලැයිස්තු අසුනකට සීමාවී ඇත) හෝ ජවිපෙ/ජාජබ (පාර්ලිමේන්තු නියෝජනය ආසන තුනකි) කිසිසේත්ම එකඟතාවයකට පැමිණිය නොහැක. ජනාධිපතිවරයාගේ පොහොට්ටු දේශපාලනය සමග එක්සත් ජනරජ පෙරමුණේ අරමුණු කිසිදු ආකාරයකට ගැළපිය නොහැක.

සජබ අර්බුදය

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ මීට පෙර කිසිම අවස්ථාවක මේ ආකාරයට බෙදී වෙන්වී නැත. දේශපාලන පක්ෂ සීසීකඩ වී ඇත. පාර්ලිමේන්තුවේ සිටින දෙවන විශාලතම පක්ෂය වන සජබ 2020 අගෝස්තු මහමැතිවරණයේදී ආසන 54 දිනා ගත්තේය. එය සජබ තරග කළ පළමුවන මැතිවරණයයි. එම ආසන 54 ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 7 ද අයත් විය. සජබ පාර්ලිමේන්තු කණ්ඩායමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් (ශ්‍රීලමුකො) සහ සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයෙන් තරග කර පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරු ද අයත් වූහ.

සජබ මඩකලපුව ලැයිස්තුවෙන් තරග කර පාර්ලිමේන්තුවට ඇතුල්වූ ශ්‍රීලමුකො සාමාජික නසීර් මොහමඩ් ට තම ආසනය අහිමි වූයේ 2023 ඔක්තෝම්බර් මාසයේදීය. ඒ පොහොට්ටු පක්ෂය වෙනුවෙන් අයවැයට ඡන්දය දුන් නිසාය. රටේ ඉහළම අධිකරණය දුන් එම තීන්දුව සජබට පමණක් නොව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවලට ආශිර්වාදයකි. අවාසනාවකට එම අතිශය වැදගත් අධිකරණ තීන්දුව මත හැඩ ගැසීමට කිසිදු පක්ෂයකට අවශ්‍යතාවයක් නොමැත. සජබ අර්බුදය අවධාරණය කිරීමට එම පක්ෂයේ සභාපති සරත් ෆොන්සේකා ඔහුව පක්ෂයෙන් නෙරපීමට එරෙහිව අධිකරණ තීන්දුවක් ලබා ගැනීම ද පෙන්වා දිය හැක. සජබට එරෙහිව අධිකරණය ලබා දුන් වාරණ නියෝගය පක්ෂ නායක ප්‍රේමදාසට හිසරදයකි. ෆොන්සේකා මන්ත්‍රීවරයා ද ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට කැමැත්ත ප්‍රකාශකර තිබීම සජබ නායකත්වයේ හිත සුව පිණිස නොවේ. වර්තමාන තත්ත්වය තුළ එතුමාගේ සජබ දේශපාලන ගමන අනතුරේය. එම පක්ෂයෙන් මහමැතිවරණයට නාම යෝජනා ලැබීමට අවස්ථාවක් නොමැත.

කෙසේ වෙතත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ එජාපය බලාපොරොත්තු වූ ආකාරයට සජබ දෙදරා නොගිය බව අවධාරණය කළ යුතුය. අරගලයත් සමග අන්දමන්ද වූ පොහොට්ටු පක්ෂය වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධුරය 2022 මැයි මාසයේ පිරිනැමීමත් සමග ඇතිවිය හැකි බවට සැක පළකළ දේශපාලන සුනාමියට සජබ හසුවූයේ නැත. 2019 පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට චෝදනා කළ මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු සජබ අතහැර පොහොට්ටු ජනාධිපතිවරයාගේ අතින්ම අමාත්‍ය ධූර භාර ගැනීම සම්බන්ධයෙන් ද පුදුම විය යුතු නැත.

සජබ සහ එම පක්ෂයෙන් පත්කළ මන්ත්‍රී ඩයනා ගමගේ අතර ආරෝව මත ඇයටද නාම යෝජනා බලාපොරොත්තු විය නොහැක. පාර්ලිමේන්තුවට 2022 මහ මැතිවරණයෙන් සජබ ජාතික ලැයිස්තුවෙන් පත්වූ ඇය පොහොට්ටුව සමග ඍජුව සම්බන්ධ විය.

වික්‍රමසිංහ 8වන ජනාධිපතිවරයා ලෙස 2022 ජුලි මාසයේ දිව්රුම් දීමෙන් පසුව තවමත් කිසිදු සජබ මහජන නියෝජිතයකු ඔහුට එකතු වූයේ නැත. එසේ තම පිල මාරු කිරීමට සජබ මන්ත්‍රීවරු සූදානම් නොමැති වීම එජාපය මුහුණ දෙන අතිශය තීරණාත්මක සහ අර්බුදකාරී තත්ත්වයකි. එජාපය බලාපොරොත්තු වූ ආකාරයට සජබ දිය වූයේ නැත. එජාප පාක්ෂිකයා සජබ එජාපය ලෙස හඳුනා ගෙන ඇත. ඒ වික්‍රමසිංහ ජනාධිපතිවරයා නිල/නොනිල පොහොට්ටු අනුග්‍රාහකත්වය මත තවදුරටත් ක්‍රියාකරන තත්ත්වය තුළය.

සජබ අර්බුදය එක්සත් ජනරජ පෙරමුණු නායක පාඨලී චම්පික රණවකට වාසිදායක තත්ත්වයක් ඇති කර නැත. එක්සත් ජනරජ පෙරමුණු සමග දැනට මැති සබය නියෝජනය එම මන්ත්‍රීවරයකු හෝ නැත. රණවකට තබා 2020 අගෝස්තු මහා මැතිවරණයේදී ආසන 145 ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැතහොත් පොහොට්ටු පක්ෂයට පවා භූමියේ තත්ත්වය පිළිබඳව විශ්වාසයක් නැත. ඊට දිය හැකි ප්‍රබල නිදසුනක් වන්නේ ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පසුගිය අඟහරුවාදා (2)
උඩුගම්පොල දී කළ ප්‍රකාශයයි. එනම් ආණ්ඩු පක්ෂයේ 80% පමණ දැනටම එජාප නායකයාට ජනාධිපතිවරණයේදී සහය දිය යුතු බවට තීරණය කර ඇති බවයි. පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් පැවති සාකච්ඡා කීපයකින් පසුව රණතුංග අමාත්‍යවරයා කළ ප්‍රකාශය එම පක්ෂයට නොසලකා සිටිය නොහැක. එලෙසම එම ප්‍රකාශය සමස්ත දේශපාලන පොරපිටියට කරන බලපෑම ද සුළුපටු නොවේ. එවැනි තත්ත්වයක් තුළ එක්සත් ජනරජ පෙරමුණේ අරමුණු සාක්ෂාත් කර ගන්නේ කෙලෙසද?

ජයවර්ධනපුර අපේ ගම පරිශ්‍රයේදී එක්සත් ජනරජ පෙරමුණේ ජාතික තරුණ සමුළුව අද (7දා) පස්වරු 2:00 ට ආරම්භ වීමට නියමිතය. තාරුණ්‍යයේ වගකීම සහ වැදගත්කම තරුණ පරම්පරාවට අවධාරණය කිරීම එහි ප්‍රධාන අරමුණක් බවත් තාරුණ්‍යයට පවතින ගැටලු පිළිබඳ අවධානය යොමු කිරීමත් අපේක්ෂාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශ සභාපති තීක්ෂණ ගම්මන්පිල පසුගියදා ප්‍රකාශ කළේය.

තරුණ ප්‍රජාවට බලපාන ගැටලු රැසක් පවතින අතර ඒවාට ලබාදිය යුතු විසඳුම් ද එක්සත් ජනරජ පෙරමුණු හඳුනගෙන ඇති බවට ඔහු කළ ප්‍රකාශය නැවත නැවතත් අවධාරණය කරන්නේ දේශපාලන අවිනිශ්චිතභාවය නොවේද? “රටේ තරුණ ප්‍රජාව දේශපාලනඥයන්ගේ අතකොළු බවට පත්වූ යුගය නිමා කළ යුතුය. ඒ වෙනුවට ඔවුන් බලගැන්වීමේ වැඩසටහන් ක්‍රියාවට නැංවීම වැදගත් වෙයි. ඊට අවශ්‍ය ප්‍රායෝගික වැඩපිළිවෙළ හඳුන්වාදීම ද ජාතික තරුණ සමුළුවේ අරමුණකි. තාරුණ්‍යයට දේශපාලනයට පිවිසීමට ඇති බාධා ඉවත් කළ යුතුය. පෞද්ගලික අංශ සේවකයන්ට සීමා තිබේ. ඒවා ඉවත් කිරීම සඳහා එක්සත් ජනරජ පෙරමුණු තරුණ අංශය සක්‍රීයව මැදිහත් වී සිටී. අධ්‍යාපන සහ රැකියා අවස්ථා තරුණයන් වෙනුවෙන් වැඩි වශයෙන් උදා කළ යුතුය. ඊට ද එක්සත් ජනරජ පෙරමුණේ තරුණ අංශය අවධානය යොමු කර ඇත. දේශපාලනයට පිවිසෙමින් රට සංවර්ධනයට තරුණයන්ට ඇති බාධා ද ඉවත් කළ යුතුය. එවැනි කරුණු රැසක් සම්බන්ධයෙන් ලබන ඉරිදා පැවැත්වෙන ජාතික තරුණ සමුළුවේ දී අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.” එක්සත් ජනරජ පෙරමුණේ ක්‍රියාත්මක කර ඇති සම්ප්‍රදායික මැතිවරණ මෙහෙයුමේ වරදක් නැත. එම ක්‍රියාදාමය එම පෙරමුණේ අයිතියයි. සජබ ද එදිනම ‘සමගි බුද්ධි මණ්ඩපය’ නමින් විශේෂ වැඩසටහනක් කොළඹ ෂෑන්ග්‍රීලා හෝටලයේ සංවිධානය කර ඇත. එයත් ප්‍රධාන විපක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයේ කොටසකි. පාඨලී චම්පික රණවක නව පෙරමුණක් ස්ථාපිත නොකළේ නම් ඔහුද ‘සමගි බුද්ධි මණ්ඩපය’ අනිවාර්යෙන්ම සහභාගි වෙනු ඇත. ෆීල්ඩ් මාර්ෂල් හට එම අවස්ථාවට සහභාගි වේවිද? ප්‍රශ්නාර්ථයක් ඇත.

නමුත් විධායකය සහ ව්‍යවස්ථාදායකය එක්වී චේතනාන්විතව විනාශ කළ රට එළැඹෙන ජනාධිපතිවරණයේ ප්‍රතිපලය කුමක් වුවත් නැවත නිවැරදි මාර්ගයට ගැනීම අභියෝගයක් බව අවධාරණය කළ යුතුය. ජාතික මැතිවරණ හරහා රට මුහුණ දෙන අර්බුද ගොන්නට පිළිතුරු නැත. ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ සහ කණ්ඩායම් කෙසේ හෝ දේශපාලන බලය රැක ගැනීම සහ එම බලය ලබා ගැනීම තම ප්‍රමුක සහ එකම කාර්යය ලෙස සලකා කටයුතු කරන බැවිනි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment