අධිවේග හදන රටක – පාලමක සිහිනය දකින අපේම ජන කොටසක්

211

උඩහේන්තැන්න සහ අවට ගම්වලට වසර සියයකින් පාපැදියක්වත් පැමිණ නැතිලු
මා ඔය හරහා කැඩුණු පාලම වසර හැටක සිට හදා ගන්නේ අපිමයි – ගම්මු දුක කියති

නාවලපිටිය ආසනයේ උඩහේන්තැන්න, උඩුවැල්ල, කුරුපැලැල්ල ඇතුළු ගම්මාන කිහිපයක පවුල් 300 ක් පමණ භාවිත කරන මා ඔය හරහා තිබූ පාලම කැඩී ගොස් වසර 60 කට වඩා අධික කාලයක් ගත වුවද අදටත් එය ඉදිකර නොදීමෙන් මෙම ගම්වාසීහු දැඩි පීඩාවකට පත්ව ඇති බව පවසති.

ගමට පැමිණිය යුත්තේ තිබ්බටුපොළ ගම හරහාය. එම ගම මැදින් ද මා ඔය ගලායන අතර එහිද කුඩා පාලමක් ඇත. වසර 75 ක් පමණ පැරණි එම පාලමද දිරාපත් වී කැඩී ඇති අතර පාලමේ පළලද අඩි දෙකක් පමණය. ලෝකයේ ගම්මාන දියුණු වී ඇතත් තිබ්බටු පොළ, කුරුපැළල්ල හා විජයගම ඇතුළු මෙම ප්‍රදේශවලට ආරම්භයේ සිට අද දක්වාම වාහනයක් තබා පාපැදියක් වත් පැමිණ නැති බව ඔවුහු පවසති. වසර සියයකට වඩා පැරණි මෙම ගම්මානවල වැසියන් එදා සිටම මෙහි නිෂ්පාදන වූ තේ, ගම්මිරිස්, පුවක් සහ වැනිලා ඇතුළු සියලු භාණ්ඩ හිස මත තබා පා ගමනින් රැගෙන ගම්මාන වලින් එළියට පැමිණිය යුතු බව ඔවූහු පෙන්වා දෙති.

කුරුපැලැල්ල ගමේ පාලම ගම්වාසීන් විසින් ඉදි කරගෙන ඇති අතර ඒ සඳහා පුවක්කොට කිතුල් උණ ලී හා විවිධ දැව උපයෝගී කර ගෙන තිබේ. ඉක්මණින් දිරාපත් වන නිසා එම කාර්යය වසරින් වසර සිදු කළ යුතු බව ඔවූහු පවසති. මෙම කුඩා පාලම දෙපස ආරක්ෂක ඇඳි නොමැති අතර වියපත් අය සහ කුඩා ළමුන් ගමන් කිරීමේ දී දැඩි අනාරක්ෂිත බවක් ගෙන දී ඇත. එසේම අවට ගම්මාන වල කුඩා ළමුන් අනාරක්ෂිත මෙම පාලම මත සෙල්ලම් කරන අයුරුද දක්නට තිබේ. වර්ෂා කාලයට මා ඔයේ ජල පහර වැඩි වන අතර මෙම පාලම මතින් ජලය ගලා යාම නිසා සියලු දෙනා ගම්මානවලට කොටු වන බවද පවසති. ගමට පැමිණීමට නිසි පාලමක් නොමැති නිසා නිවාස ඉදිකිරීමේදී අමුද්‍රව්‍ය ගෙන ඒමට විශාල මුදලක් වැය වන බව පවසන මොවුන් භාණ්ඩවල මිල ගණන් වලට වඩා දස ගුණයක් එම භාණ්ඩ නිවසට ගෙන ඒමට වැය වන බව පෙන්වා දෙති. මෙම ප්‍රදේශයේ ගම්මානවල පාලම් නොමැති නිසා මාර්ග පද්ධතිය ද විනාශ වී තිබේ.
ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment