කැනඩා ජර්මන් සහ ප්‍රංශ රැකියා හීන මවා ලක්ෂ 70 ක මුදල් වංචාවකට අඹු සැමි යුවළක් මාට්ටු

197

කැනඩාව, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල රැකියා ලබාදෙන බව පවසා ලක්ෂ 70 කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම, මොරගල්ල සංචාරක බංගලාව පාරේ පදිංචි අඹුසැමි යුවළකි. පානදුර දකුණ පොලිසියට මුදල් වංචා කිරීමට අදාළව පැමිණිලි 13 ක් ලැබී ඇති බවත්, සැකකාර යුවළ වෙනත් අධිකරණ කටයුත්තක් සඳහා පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණ පිටව යමින් සිටියදී අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

සැකකාර යුවළ පදිංචිව සිටි මොරගල්ලේ පිහිටි නිවෙස පරීක්ෂා කිරීමේදී මුදල් භාරදීම් කළ ලියැකියවිලි සහ පාස්පෝට් පිටපත් ඇතුළු ලියැකියවිලි රැසක් සොයාගත් බව පොලිසිය කීය.

සැකකරුවන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේතුංග මහතා ඇතුළු නිලධාරීන් පරීක්ෂණ පවත්වති.

ආර්. ඒ. එස්. ප්‍රේමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment