උදැල්ලකින් පහරදී සැමියා බිරිය මරයි

33

හිඟුරක්ගොඩ යුදගනාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු තම බිරිඳට සහ මාමණ්ඩියට තම නිවසේදී පෙරේදා (29දා) සවස 6.30ට පමණ උදැල්ලකින් පහරදීම නිසා බරපතළ තුවාල ලද බිරිඳ එතැනම මරුමුවට පත් වී ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය පවසයි

මෙසේ මරුමුවට පත්ව ඇත්තේ හිඟුරක්ගොඩ යුදගනාව 906 දරණ නිවසේ පදිංචි හෙට්ටිආරච්චිලාගේ ලසන්තා සඳමාලි නමැති 27 හැවිරිදි දෙදරු මවකි.

පවුල් ආරවුලක් දුරදිග යෑම නිසා මෙම සිද්ධිය සිදුවී ඇති බව පොලිසිය පවසයි.

සැකකරු තම මාමණ්ඩියටද උදැල්ලෙන් පහරදීම නිසා බරපතළ තුවාල ලද මාමණ්ඩිය මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇති බව පොලිසිය කියයි. සිද්ධියේදී සුළු තුවාල ලද ඔවුන්ගේ අවුරුද්දයි මාස අටක වයසේ සිඟිති දරුවා හා 9 හැවිරිදි දරුවා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.

සැකකරු හා බිරිඳ මැදිරිගිරිය ඇටඹඔය ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ඔවුන් සුළු ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර ඉකුත් දිනක ඵම වෙළඳසැලේ රුපියල් 15,000 ක අඩුවක් වීම පිළිබඳව දෙදෙනා අතර මතභේදයක් ඇතිවී තිබේ. අනතුරුව සිද්ධිය බිරිඳ විසින් තම පියාට පැවසීමෙන් අනතුරුව පියා පවසා ඇත්තේ නිවසට පැමිණෙන ලෙසයි. ඒ අනුව සිද්ධිය වූ දින විසිහත් හැවිරිදි කාන්තාව තම දරුවන් දෙදෙනා ද සමග පියාගේ නිවසට පැමිණ සිට ඇත.

කිරි ප්‍රවාහනය කරන ලොරි රථයක රියදුරා ද වන සැකකරු තම රැකියාව නිම වීමෙන් පසු ගෙදරට පැමිණි බලන විට බිරිඳ නොමැති නිසා සොයා බලා බිරිඳගේ පියාගේ නිවසට පැමිණ ඇත. ඒ අවස්ථාවේදී ඔවුන් අතර අරගලයක් ඇති වී ඇති අතර සැමියා විසින් මිදුලේ තිබුණු උදැල්ලක් ගෙන බිරිඳගේ පියාට සහ බිරිඳට පහර දී ඇත. හිසට වැදුණු තදබල පහරක් නිසා බිරිඳ එම ස්ථානයේදී මරුමුවට පත් වී ඇති අතර බරපතළ තුවාල ලද පියා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පොළොන්නරු මහරෝහලට යවා ඇත. සිද්ධියෙන් කාන්තාවගේ නම හැවිරිදි හා දෙහැවිරිදි දරුවන් දෙදෙනා සුළු තුවාල ලබා ඇත.

සිද්ධියෙන් අනතුරුව සැකකරු පොලීසියට පැමිණ භාරවී ඇත.

පොලොන්නරුව ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිසාන් ද සිල්වා මහතාගේ මඟ පෙන්වීම මත හිඟුරක්ගොඩ වැඩබලන සහකාර පොලිස් අධිකාරී ප්‍රගති ලක්මිණ අබේසිංහ මහතාගේ උපදෙස් මත හිඟුරක්ගොඩ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක විමලදාස මහතාගේ මෙහෙයුම මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිහාල් බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
මින්නේරිය – සුසිල් කරුණාතිලක, හිඟුරක්ගොඩ – අතුල සූරියබණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment