රනිල් ජනාධිපතිවරණය තියන්න යන්නේ රට අලියා ගිල්ල දිවුල බවට පත්කරලයි – ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

41

අපි පත්කරපු ජනපති රට පාලනය කළේ ඇමෙරිකානුවන් දෙන්නෙකුට ඕන විදිහට – පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල

අද ජනතාවට අවශ්‍යව ඇත්තේ රටේ ස්වෛරීභාවය පාවාදී ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කිරීමේ පරගැති ගමන ආපසු හරවා, රට, දැය නැවත නියම මාවතට රැගෙන ඒමට හැකි සැබෑ ජනාධිපති අපේක්ෂකයකු යැයි උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා සමසමාජ පක්ෂය, විජය ධරණී ජාතික සභාව හා ‘යුතුකම‘ ජාතික සංවිධානය යන උත්තර ලංකා සභාගයට අයත් දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවලද, ඉහත පක්ෂවලට අනුබද්ධ වෘත්තීය සමිතිවල ද සහභාගිත්වයෙන් පෙරේදා (01 දා) සවස කිරුළපන ලලිත් ඇතුළත්මුදලි ක්‍රීඩාංගණයේදී පැවැති ”77න් ඇරඹි පරාධීන ආර්ථික ගමනට එරෙහි එක්සත් මැයි රැලිය” අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

රනිල් ජනාධිපතිවරණය තියන්න යන්නේ රට අලියා ගිල්ල දිවුල බවට පත්කරලයි - ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා තමන්ට ලැබුණු 69 ලක්ෂයක ජනවරමට පස්ස හරවලා, ‘ඔටුන්න‘ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පළන්දලා අද ඒ ජනවරමට පටහැනි ගමනක් යන්න ලයිසන් එකයි දීලා තියෙන්නේ. සමහරු බලන් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණය තිබ්බාම ඒ ඔටුන්න එයාගෙන් භාරගන්න. ඒත් භාරගන්න රටක් ඉතිරි කරලා නොවෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණය තියන්න යන්නේ. ‘අලියා ගිල්ල දිවුල‘ බවට මේ රට පත්කරලයි එයා ජනාධිපතිවරණය තියන්න යන්නේ. දිනන කෙනාට කට්ට විතරයි, ‘මදය‘ ඒ වනවිටත් විදේශ බලවේගවල බඩේ.

මොන අමාරුකම් මැද්දේ වුවත් වසර 2500ක් තිස්සේ රැකගත් අපේ ශිෂ්ටාචාරගත උරුමයන්, අනන්‍යතාව හා ස්වෛරීභාවය අහිමි කරලා මේ රට ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත් කරන්නයි මේ යන්නේ. ඒ සඳහා ඉහත කී සය වැදෑරුම් Connectivity මෙහෙයුමට අමතරව එට්කා ගිවිසුමත් එනවා. දැන් හොර රහසේ ඒ ගිවිසුමේ වගන්ති ටික හදාගෙන යනවා, ඉන්දියාවේ මහ මැතිවරණයට පෙර ඒක අස්සන් කරන්න. එට්කා ගිවිසුම ආවාම ශ්‍රී ලංකාවේ රැකියාවලට, වෙළඳාමට ඉන්දියානුවකුට, ශ්‍රී ලාංකිකයකුට තිබෙන අයිතිවාසිකමම ලැබෙනවා. පෞද්ගලික අංශයේ රැකියාවලට පමණක් නොවෙයි රාජ්‍ය අංශයේ තෝරාගත් අංශ සඳහා ද ඉන්දියානුවන්ට අවස්ථාව ලැබෙනවා.

ඒ අතරේ දේශීය නිෂ්පාදනවල පිරිවැය වැඩිවන ලෙස වැට් බද්ද ගහනවා. ඒ පිරිවැය දරාගන්න බැරුව අපේ කර්මාන්ත වැහෙනවා. අපේ කෘෂිකාර්මික නිෂ්පාදකයා ගොවිබිම් අත හරිනවා. මේ ඛේදවාචකය කරා තමයි ඔබගේත් මගේත් මාතෘභූමිය ඇදගෙන යමින් තිබෙන්නේ.

හැබැයි මේ රටේ ජනගහනයෙන් සියයට 50කට ජාතික ආදායමෙන් සියයට 4යි ලැබෙන්නේ. ඉතින් කොහොමද ලෙඩා සනීප වෙන්නේ? අද තුන්වේල කාපු මිනිහා දෙවේලයි කන්නේ. දෙවේල කාපු කෙනා එක වේලයි කන්නේ.

උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය සභාපති පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා –

රනිල් ජනාධිපතිවරණය තියන්න යන්නේ රට අලියා ගිල්ල දිවුල බවට පත්කරලයි - ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

‘අපි පොරොන්දු වූ ආකාරයටම දේශප්‍රේමී ආණ්ඩුවක් හැදුවා. අපේ පොරොන්දු අපි ඉටු කළා. හැබැයි අපි ආණ්ඩු බලය අල්ලගන්න කොටම ඇමරිකාව අපේ ජනපති අල්ල ගත්තා. අපි පත් කරපු ජනපති රට පාලනය කළේ ඇමෙරිකානුවන් දෙන්නෙකුට ඕන විදිහට. එක්කෙනෙක් කොරියානු ඇමරිකානුවෙක් වන ජූලි චං තානාපති නෝනා. අනික් එක්කෙනා මැද මුලන ඇමරිකානුවෙක් වන බැසිල් රාජපක්ෂ. ඒ ඇමරිකානුවන් දෙන්නාගේ ලණු කාලා, හදාගත්ත ආණ්ඩුවත් විනාශ කරගෙන වැඩේ වැරදුනාම ගෝඨාභය මහත්තයා ඇමරිකාවේ යන්න වීසා ඉල්ලුවාම උඹෙන් දැන් අපට වැඩක් නෑ. ඔන්න ඔහේ ලංකාවට වෙලා හිටපන් කියලයි ඇමරිකාව කිව්වේ.

එහෙම තමයි රනිල් පත් කරගත්තේ. දැන් රනිල්ට ඉඩදෙන්න කියලා තරුණ පුතාලා ටිකක් යතුරුපැදි සවාරියක් යනවා. මේ පුතාලා දන්නේ නෑ මේ රටේ ජනතාව දෙපාරක් වැරදිලා රනිල්ට ඉඩ දුන්නා. ඉඩ දීලා රට නැතිවෙන්න ඔන්න මෙන්න කියලා අපි බොහොම අමාරුවෙන් මේ රට බේරගත්තේ. ඒක පුංචි තරුණ පුතාලට කියලා දෙන්න එක වැඩිහිටි අපේ වගකීමක්.

මේ රටේ ජනතාවගේ පපුවෙ තියෙන දේශප්‍රේමීත්වය මියැදෙන්නේ නැහැ. ආර්ථික අභියෝගය එනකොට දුෂ්කරතා එනකොට ඉඩෝර කාලයට කූඩැල්ලන් සැඟවිලා යනවා වගේ පොඩ්ඩක් මේක යටපත් වෙනවා. හැබැයි අපේ ආදරණීය මව්බිමට අනතුරක් එනකොට පොද වැස්සට කූඩැලු ගුලි මෙන් සිරිසිරි ගාලා ඇවිස්සිලා එනවා. පපුවේ කොනක සැඟවිලා තිබූ දේශප්‍රේමීත්වය බුරබුරා නැගිලා ජනතාව එළියට ඇවිල්ලා මේ රට බේරගන්න පෙරමුණු ගැසෙනවා.

මීට අමතරව උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ, උත්තර ලංකා සභාගයේ අනුශාසක, විජය ධරණී ජාතික සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, උත්තර ලංකා සභාගයේ නියෝජ්‍ය ලේකම්, යුතුකම ජාතික සංවිධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, සම සමාජ පක්ෂයේ ලේකම් ඩබ්ලිව්. අබේසේන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ සභාපති, නීතිඥ නිමල් ආර්. රණවක යන දේශපාලන පක්ෂ නායකයෝ සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් එච්. ඩී. ආර්. අතුල, එක්සත් වතු කම්කරු සමිතියේ සභාපති ඒ. මුත්තුලිංගම්, රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් පී. එච්. එස්. ශාන්තප්‍රිය යන අනුබද්ධ වෘත්තීය සමිතිවල නායකයෝ ද මෙම එක්සත් මැයි රැලිය අමතා අදහස් දැක්වූහ.

මෙහිදී මෙම එක්සත් මැයි රැලියේ ”ප්‍රතිපත්තිමය යෝජනාව” ලක්මව දියණියෝ සංවිධානයේ ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය විසින් ද ”පලස්තීන සහයෝගීතා ප්‍රකාශය” ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා විසින් ද මෙම එක්සත් මැයි රැලියේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ අතර ඒවාට අනුමැතිය ලැබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment