කතරගම පොලිසිය තංගල්ලෙන් ගලවන්න එපා!

43

කිරිවෙහෙර විහාරාධිපති ඇතුළු හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

කතරගම පොලිස් ස්ථානය තංගල්ල පොලිස් කොට්ඨාසයෙන් ඉවත් කර මොනරාගල කොට්ඨාසයට අනුයුක්ත කිරීමට ගෙන තිබෙන තීරණය වහා නතර කරන ලෙස ඉල්ලමින් කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කතරගම ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ සභාපති කොබවක ධම්මින්ද නාහිමි ඇතුළු හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

කතරගම පොලිස් ස්ථානය මෙතෙක් තංගල්ල පොලිස් කොට්ඨාසයෙන් පාලනය කළ අතර මෙය ප්‍රදේශයේ ජනතාවට අධිකරණ කටයුතු සඳහා ඉතා පහසුවක් විය. කතරගමට ආසන්නම උසාවිය වන්නේ තිස්සමහාරාමයයි. තංගල්ල පොලිස් කොට්ඨාසය යටතේ ඇති කතරගම පොලිස් ස්ථානය වෙනත් පොලිස් කොට්ඨාසයකට මාරු කළහොත් ජනතාවට විශාල දුරක් ගෙවා වැල්ලවායට සහ අනෙකුත් කටයුතු සඳහා මොනරාගලට යාමට සිදුවෙයි. මෙය ප්‍රදේශයේ ජනතාවට විශාල ගැටලුවකි.

කතරගම මහා දේවාලය පවා එදා සිට නම්කර ඇත්තේ රුහුණු කතරගම මහා දේවාලය ලෙසිනි. මේ නිසා කතරගම පොලිස් ස්ථානය තංගල්ල කොට්ඨාසයෙන් ඉවත් කර මොනරාගල පොලිස් කොට්ඨාසයට ඇතුළත් කිරීම නතර කරන ලෙස අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක හීල්ලෙ ඤාණානන්ද සහ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරි කපුගම සරණතිස්ස යන නාහිමිවරුන්ගේ අත්සනින් යැවූ ලිපියෙන් ඉල්ලා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment