කුමාරතුංග මුනිදාස විප්ලවීය පඬිවරයෙකි

1862

අද්විතීයකුගේ නොනවතින විප්ලවය

දේශපාලනයේත්, ආර්ථිකයේත්, ආගම ධර්මයේ මෙන්ම කලාව සහ සාහිත්‍යය තුළ ද විප්ලවවාදීන් සිටිනවා. මේ සකල විධ විප්ලවවාදීන් තුළ දක්නට ලැබෙන පොදු ලක්ෂණ කිහිපයක් තිබෙනවා. එනම්, විමර්ශනය, විචාරය, විරෝධය, අදීනත්වය, අසම්මතය, අයුක්තිය නොඉවසීම, පවතින තත්ත්වය පුපුරවා හැරීමට ඇති කැමැත්ත සහ සත්‍යය ස්ථාපනය කිරීමට ඇති කැමැත්ත ආදියයි. කුමාරතුංග මුනිදාසයන් තුළ පැවති ඉහත දැක්වූ ගති ලක්ෂණ නිසා වියරතාය, විවරණය, පද්‍යකරණය, ගද්‍යකරණය, ප‍්‍රවෘත්ති පත‍්‍රකරණය යනාදී විෂයයන්ගෙන් සෑදීම රට සාහිත්‍ය කලා ක්‍ෂේත‍්‍රය තුළ අද්විතීය විප්ලවවාදියකු ලෙස ඔහු කැපී පෙනෙනවා. ‘ලක්මිණි පහනේ’ ‘සංස්කාරක’, ‘පරීක්ෂක’, ‘දැහැමි’, ‘අසරණ’ යන නම්වලින් ලියූ ලිපි ලේඛනවලින් ද, ‘සුබසේ’, ‘සකසු’, ‘ගදුබු’ යන නම්වලින් ලියූ ලිපි ලේඛනවලින් ද, ‘ස්වදේශ මිත‍්‍රයා’, දිනමිණ සහ ස්වරාජ්‍යය, විද්‍යෝදය, විද්‍යාදර්ශය, ශී‍්‍ර ධර්ම ශී‍්‍ර යන ප‍්‍රවෘත්ති පත‍්‍ර, සඟරාදියට ලියූ ලේඛනවලින් ද, ගද්‍ය පද්‍ය පත පොතින් ද කුමාරතුංගයන්ගේ විප්ලවවාදී පුද්ගල භාවය මැනැවින් දෘශ්‍යමාන වෙනවා.

කුමාරතුංග මුනිදාස විප්ලවීය පඬිවරයෙකි
නිට්ටඹුව ගුරු විදුහල්පතිව සිටි සමයේ කාර්ය මණ්ඩලය සමග ගත් ඡායාරූපයක්

විමංසනය ඔහුගේ ජීවිතය හා ප‍්‍රතිබද්ධ ඓන්ද්‍රීය අංගයක්. ‘විමසුවයි යමෙක් යා නම් නරකාදී මට සුවයි එහි මැ යනු වෙනතක නෑ දී’’ යනුවෙන් ඔහු වරක් ප‍්‍රකාශ කළා. (කුමාර පද්‍ය සංග‍්‍රහය 23 පිටුව) ‘‘කවර ශාස්ත‍්‍රයක් වුවත් විමසිය යුතුයැ. විමසා දත් දෙය ප‍්‍රකාශ කළ යුතුයැ. ශාස්ත‍්‍රයාගේ නිර්මලත්වය ඇති වනුයේ මෙයිනි. විමසීම දැක වැනසීමැ’’යි සිතා වැළැපීමෙන් නොවේ. (විද්‍යෝදය – 10 කලාපය – 1926 සැප්.) කවුරුන් හෝ පැවසූ පමණින් කිසිවක් විශ්වාස කළ යුතු නැතැයි යන්නයි එතුමාගේ හැඟීම වූයේ. ‘‘සිය නුවණින් නොවිමසා පොත කී පළියට, භික්ෂූන් කී පළියට, ගුරුන් කී පළියට යම් කිසිවක් නිකම් මැ පිළිගන්නට සැරසුණේ සියතින් නැහැය ලා – ගන්නේ යැ’’ (කවි ශික්ෂාව – 83 පිට) එතුමාගේ විප්ලවවාදී පුද්ගල භාවය සාධනය වන තවත් ප‍්‍රකාශන දක්වන්නට පුළුවන්. මේ ඉන් කිහිපයක්. ‘‘මාගේ මත මඬිනු ලැබේය. මට අවමන් කරනු ලැබේ යනාදින් සිතා න්‍යායානුකූල වූ අමුතු මත නූපදවා පුරාතනයන් සිතූ දෑම සිතමින්, කී දෑම කියමින්, කළ දෑම කරමින් පසුවන්නා ලෝකයට බරෙකි.’’ (කුකවි වාදය – 182 පිටුව) ‘‘ගුරුන් වරදක් කී කලැ ද ඒ එසේමැයි නොවිමසා ගැන්මෙන් ලෝකාභිවෘද්ධියට බාධා පැමිණෙයි’’ මේ අපගේ ආචාර්ය පරම්පරායෙහි කී සැටියැ. මේ අපගේ සියන් කී සැටියැ. මේ අපගේ නෑයන් කී සැටි යැයි යම් යම් දේ නොවිමසා පිළිගැනීම මුග්ධ කි‍්‍රයාවකි.’’ (මුව දෙව් දා විවරණය – ප‍්‍රස්ථාවනාව)

විමර්ශනයේ දී දුටු වැරදි නො පැහැර පෙන්වා දීම යුතුකමක් ලෙසයි එතුමා සැලකුවේ. සිය වැරදි පෙන්වා දීම නිසා කිපුණු චූදිතයෝ රොද බැඳ එතුමාට පහර දුන්නා. ඊට කුමාරතුංගයන් දක්වන ලද ප‍්‍රතිචාරය මෙබඳුයි.

කුමාරතුංග මුනිදාස විප්ලවීය පඬිවරයෙකි
සිංහල ඉංගී‍්‍රසි අත් අකුරු

තමාගේ වැටහීමේ පමණට ‘සදොසැ’යි පෙනී ගිය තැන් සදාචාරය රකිමින් පෙන්වා දීම චෝදක පක්ෂයෙන් ග‍්‍රන්ථ කර්තෘවරයකුට කැරෙන මහත් අනුග‍්‍රහයෙකි. ඔහුගේ ග‍්‍රන්ථයට කැරෙන මහත් සම්භාවනයෙකි. එහෙයින් එබඳු තන්හිදී යම් ග‍්‍රන්ථ කර්තෘවරයෙක් කිපේ නම් ඔහුට වඩා අඥයකු හෝ ග‍්‍රන්ථකරණයට නුසුදුස්සකු හෝ ඇතිවිය හැකි නොවේ. අවශ්‍ය වනුයේ කිපීම නොවැ. තමාගේ ග‍්‍රන්ථයට එතරම් සම්භාවනයක්ද, තමන්ට එතරම් අනුග‍්‍රහයක් ද, කිරීම ගැනැ චෝදක පක්ෂයට ස්තුති කෙරෙමින් ‘සදොස්යැ’යි පිළිගැනීම ද, ඒ තැන් නිදොස් නම් තමාගේ ශක්ති ප‍්‍රමාණයෙන් පණ්ඩිත ලීලායෙන් ඒ බව ස්ඵුට කිරීම ද වේ’’ (ශී‍්‍ර ධර්ම ශී‍්‍ර 3 කණ්ඩය 12 කලාපය – 1923 ජුනි)

කුමාරතුංගයන් මෙබඳු මත පළ කළේ තමා සම්මතෙහි පිහිටා සිටිමින්, දත් දෑ දත් දත් හැටියට මැ පැවසීම ද, නොදත් දෑ දත් බවක් නොහැඟවීම ද, වරද දුටු තන්හි පිළිගැනීම ද සිය සිරිත බව ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා. ‘ස්වදේශ මිත‍්‍රයා’ (1926-10-17) කලාපයෙහි ඔහු විසින් ලියන ලද ලිපියකින් මේ බව තවදුරටත් ඔහු පැහැදිලි කළා. ‘‘අයට නොවැටහෙන දෑ අනන්තයැ. එහෙයින් නොයෙක් තන්හි අප මුළා වුව හොත් ඒ ආශ්චර්ය නොවේ. අප මුළා වූ තන්හි තතු දක්වා අප ද, අප බසින් මුළා වූවන් ඇතහොත් ඔවුන් ද මඟට හැරවීම සුධීන්ගේ යුතුකමෙකි.’’ එතුමා පැවසුවේ ඒ ආකාරයෙන්.

කුමාරතුංග මුනිදාස විප්ලවීය පඬිවරයෙකි
කුමාරතුංග මුනිදාසයන්ගේ උපැස් යුවල, පෑන, මුද්‍රාව සහ අකුරු විශාල කොට පෙන්වන කණ්නාඩිය

කරුණු මෙසේ තිබියදී, කුමාරතුංග අභාවයෙන් තෙළෙස් වසකට පසු මාර්ටින් වික‍්‍රමසිංහ කළ ප‍්‍රකාශයක් කුමාරතුංග චින්තනයට කළ නිගරුවක් ලෙස සැලකිය හැකිය. භාෂාව වෙනස් වෙමින් පවතින ජීව වස්තුවක් ලෙස නොසලකන්නේ මන්දැයි වික‍්‍රමසිංහයන් නැගූ පැනයට කුමාරතුංගයන් ‘දැන් ඒ කාරිය කරන්නට ගියොත් මා මෙතෙක් භාෂාව ගැන ලියූ සියල්ල ම ඉවත දමන්නට සිදු වෙයි. එසේ කළහොත් මගේ අනුගාමිකයෝ මගෙන් ඈත් වෙති. යනුවෙන් පිළිතුරු දුන් බව වික‍්‍රමසිංහයන් නව පද්‍ය සිංහලයෙහි වාර්තා කොට තිබෙනවා. අනුගාමිකයන් තමන් හැර යාවි යැයි සාංකාව එතුමා තුළ පැවතිණි නම් තෙවරක්ම ඔහු භාෂා ප‍්‍රතිපත්ති වෙනස් කරත් ද, හුදු හෙළය ඔහු මියයන විට අනුදත් භාෂා ශෛලියයි. ඔහු ආරම්භයේ පටන් කුකවි වාදයේ කාල වකවානුව (1925) පමණ දක්වා ලියන ලද්දේ සකුවට බර භාෂා ශෛලියකින්. දෙවනුව ස්ථල වූ සතු බලපෑමෙන් යුතු මිශ‍්‍ර සිංහල භාෂා ශෛලියකින් ලිව්වා. ඒ යුගය වවුලූවේ හැඳින්වීම ලියූ කාලය පමණ දක්වා දිවෙනවා. සුබස ආරම්භයේ පටන් (1939) කව් සිළුමිණ පෙළගැස්ම දක්වා ඔහු හුදු හෙළුව භාවිත කළා. කුමාරතුංගයන් මිශ‍්‍ර සිංහලය බැහැර කොට හුදු හෙළුව වහරන්නට පටන් ගත් කල සුබස පාඨකයන් ඒ ගැන අසා එවන ලද ප‍්‍රශ්නවල එතුමා පිළිතුරු දුන්නේ මේ අයුරින්. ‘‘බැරි කලැ නොදත් කලැ, කළ දැයින් පිළිවන් කලැ දත් කලැ කරන දෑ නොමිනුව මැනවි’’ (සුබස – 2 වෙළුම, 17 කලාපය – 266 පිටුව) මේ පිළිබඳව එතුමා විවිධාකාර නිදසුන් සමඟ කරුණු පැහැදිලි කළා.

ස්ව ශක්තියෙන් යමක් සොයා බලා නව මතයක් කරුණු සහිතව පළ කිරීමයි එතුමාගේ ප‍්‍රයත්නය වූයේ. අන්ධයන් මෙන් පැරණි අය කළ කී දේම අනුගමනය කරන්නට යෑමෙන් ලෝකයෙහි අමුතු දියුණුවක් ඇති නොවන බවයි ඔහු පැවසුවේ. වෙනස් වෙනස් අදහස් එකිනෙකා තුළ පහළ වුවත් ඒවා නිර්භයව, තර්කානුකූලව කියා පානා අය දක්නට ලැබෙන්නේ කලාතුරකින්. කුමාරතුංග විසින් ම ප‍්‍රකාශ කරන ලද ඒ ප‍්‍රකාශය ඔහුගේ විප්ලවීය චින්තනය සම`ග ද මැනවින් සැසඳිය හැක්කක්.

කුමාරතුංග මුනිදාස විප්ලවීය පඬිවරයෙකි
ලියන මේසය, පුටුව හා පොත් අල්මාරිය

විරිත් වැකියෙහි එන පරිදි ‘අලූත් අලූත් දෑ නොතනන ජාතිය ලොවැ නො නඟි’ යන ප‍්‍රකට පද්‍ය පාඨයෙන් ම එතුමාගේ චින්තනයෙහි විප්ලවීය ගුණය ඉස්මතු වෙනවා. දොස් ඇති සියල්ලෙහි මැ දොස් දැක්විය යුතු වේ. මේ පුරාතනයයි කියමින් ඇති දොස් නොදැක්වීම ගතානුගතිකත්වයයි. දක්කන්නාහු ලණුව අදනා දෙසටම හැරෙමින් යන්නට පුරුදු වූ ස්වප‍්‍රතිභානයක් නැති වෘෂභයකු මෙන් ගතානුගතික වීම බුද්ධිමත් මනුෂ්‍යයාට නින්දාවෙකි.’’ එතුමා පැවසුවේ ඒ අකාරයෙන්. කුමාරතුංග සම්මතයෙහි ම ඇලී ගැලී නොසිටියා පමණක් නොවේ. පුරාණ ග‍්‍රන්ථ සංස්කාරකයන්, ශෝධකයන් පෞරණිකත්වය දේවත්වයෙහිලා සලකමින් පැරණි ලේඛක පරම්පරා අත්තුංකංසනයෙහි මැ යෙදෙන කල කුමාරතුංගයන් ඊට එරෙහිව නැගී සිටීම ද සිය විප්ලවීය චින්තනය සාධනය කරවන සාධකයි. ‘‘කව්සිළුමිණ’, අත්පිටපත්වල ඇත්තේ ‘කව්සිළුමිණ’ කර්තෘවරයාගේ ප‍්‍රබන්ධ නොව සන්නයෝ පද අහුලාගෙන අනෙකකු විසින් බඳනා ලද පද්‍ය යැයි ප‍්‍රකාශ කරන්නට තරම් කුමාරතුංගයෝ නිර්භීත වූවා. කවිය සම්බන්ධයෙන් එතුමා පළ කළ විප්ලවීය ප‍්‍රකාශනයන් අතර ප‍්‍රමුඛ තැනක් ලැබුණේ එවක ප‍්‍රවීණ, නවීන. බාල මහලූ සියලූ කවීන් අතර ඇටවුම් බැස ගෙන තිබුණු එළිසම සිවු පදය පිළිබඳ අන්ධ පේ‍්‍රමය උන්මූලනය කිරීමට සහ ශතවර්ථාධික කාලයක් උපගුෂ්භව පැවති ගී කාව්‍ය ආකෘතිය නඟාසිටුවීමයි. එළිසමය පැමිණැ භාෂාව කෙලසන්නට වියැ. එළිවැට බඳනා සහ නිරර්ථක පද යෙදීම ද ඇතැම් හු අනුදත්හ. හුස්ව වූ හෝ දීර්ඝ වූ හෝ යම්කිසි අකුරු ගණනක් යොදා සතර පෙළ එක් අකුරෙකින් කෙළවර කිරීම නූගත් පිටිසර මැහැල්ලන්ට ද නොබැරියැ. එළිසමයෙන් ස්වභාවිකත්වය නැසේ’ (ගංගාරෝහණ වර්ණනාව – සඥාපනය)

විප්ලවවාදියකු ලෙස පමණක් නොව කුමාරතුංගයෝ වරෙක කැරලිකාරයකුගේ ස්වරූපයෙන් ද අප ඉදිරියේ පෙනී සිටිනවා. අසත්‍යය සත්‍යය සේ පෙන්වා දෙන පඬිවරුනට, වියතුන් සේ පෙනී සිටින අවියත් මහාචාර්යවරුනට, විශ්වවිද්‍යාලීය ආචාර්යවරුනට සහ ගුරුවරුනට, සීල වන්තයන් සහ ඥානවන්තයන් ලෙස පෙනී සිටින දුශ්ශීල අඥාන භික්ෂූනට, අන්ධ විශ්වාස කර පින්නාගත් බෞද්ධයන්ට, යුක්තියේ නාමයෙන් අයුක්තිය පතුරුවා හරින රජයට, දේශපාලන නායකයිනට සහ මන්තීවරුනට, හින්දුස්ථාන්කාරයින් වී ශී‍්‍ර ලංකාවට පැමිණෙන සංගීතඥයිනට කුමාරතුංගයන්ගෙන් ගැලවීමක් ලැබුණේ නෑ. හාස්‍යය සහ උපහාසය පමණක් නොව අපහාසය සහ නිග‍්‍රහය ද ඉහත කී රෝග නිධාන නසාලීමේ ඖෂධ ලෙසයි කුමාරතුංගයන් සැලකුවේ. ප‍්‍රබන්ධ සංග‍්‍රහය, ලක්මිණි පහන, සුබෙස, හෙළ මී සැසිය වැනි ප‍්‍රකාශනවලින් ඉහත කී ගණයේ පුද්ගලයන් ඔහු විවේචනය කළේ කැරළිකාර විප්ලවීය නිර්භයත්වයකින්.

කුමාරතුංග මුනිදාස විප්ලවීය පඬිවරයෙකි

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ දේශනයකිනි

අජිත් ගලප්පත්ති

advertistmentadvertistment
advertistmentadvertistment