රෝහල් වර්ජනයෙන් රෝගීහු අමාරුවේ

98

හමුදාවේ 850ක් සත්කාර වැඩට එති

ඖෂධ නිකුත් කිරීමත් නවතියි

පපුවේ අමාරුවෙන් අරන් ආපු අම්මාව හිස් අතින්ම අරන් යනවා – ජාතික රෝහලේ දී තරුණියක් කියයි

රෝහල් වර්ජනය අදත්

රජයේ වෛද්‍යවරුන්ට රුපියල් තිස්පන්දහසකින් වැඩිකළ ‘ඩැට්’ දීමනාව (රාජකාරි බාධා පැමිණීමේ හා ප්‍රවාහන දීමනා) තමන්ටද එසේ වැඩිකර ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති හැත්තෑදෙකක් එක්ව ඊයේ (01 වැනිදා) රටපුරා ක්‍රියාත්මක කළ වර්ජනයෙන් රෝහල්වල කටයුතු සම්පූර්ණයෙන් පාහේ නතරවීමෙන් රෝගීහු දැඩි අපහසුතාවට පත්වූහ.

මෙම වර්ජනයට සෞඛ්‍ය සේවා අරක්කැමි සංගමය ද එක්ව සිටීම නිසා නේවාසික රෝගීන් සඳහා ආහාර ලබාදීමේ ගැටලුවක්ද මතුවී තිබිණි.

කොළඹ ජාතික රෝහල මහනුවර ඇතුළු රෝහල් තිස්අටකට ත්‍රිවිධ හමුදා සෙබළුන් අටසිය පනහක් පමණ රෝගීන්ට පහසුකම් සැලසීමට ක්‍රියාකර තිබුණත් ඖෂධ නිකුත් කිරීම, වෛද්‍ය පරීක්‍ෂණ වාර්තා නිකුත් කිරීම් ආදිය සිදුනොවීම නිසා ප්‍රතිකාර නොමැතිව රෝගීන්ට රෝගයෙන් පීඩා විඳිමින්ම ආපසු නිවෙස් වෙත යෑමට සිදුවිය.

රජයේ වෛද්‍යවරුන්ට ලබාදෙන ඩැට් දීමනාව රුපියල් 35,000 කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණයකින් පසු සෙසු සෞඛ්‍ය වෘත්තීය සමිති ද ඒ දීමනාව ඉල්ලා මීට පෙරාතුව වර්ජනයක් ක්‍රියාත්මක කළහ. එහිදී සෞඛ්‍ය සුළු සේවකයින්ගේ ප්‍රශ්නය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡාවකට දිනයක් ලබාදෙන බවට ලබාදුන් පොරොන්දුවක් මත එම වර්ජනය තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති යම් එකඟතාවකට පැමිණ තිබිණි.

පොරොන්දු වූ පරිදි එම සාකච්ඡාව ලබා නොදීම නිසා ඊයේ (01 වැනිදා) දිනයේ යළි වර්ජනයක් දියත් කළ අතර ඊට සෞඛ්‍ය වෘත්තිය සමිති හැත්තෑදෙකක්ම එක්ව සිටීම විශේෂත්වයකි. මෙහිදී රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ද වර්ජනයට එක්ව සිටි අතර අනෙකුත් හෙද සංගම් වර්ජනයට එක්වූයේ නැත.

මෙම වර්ජනය ක්‍රියාත්මක වූ ඊයේ (01 වැනිදා) දිනයේ රටපුරා පිහිටි රෝහල්වලට පැමිණි රෝගීන් රෝගවලින් පීඩා විඳිමින් රෝහල්වල බංකු හා බිම වැතිරී සිටි මුත් වර්ජනය නිසා ඖෂධ නොමැතිව ඔව්හු අසරණව විළාප තබමින් දෙස් දෙවොල් තබන්නට වූහ.

මෙහිදී කොළඹ ජාතික රෝහලට පැමිණි තරුණියක කියා සිටියේ මෙලෙසිනි.

“අම්මට පපුවේ අමාරුවක්. ඒකට ප්‍රතිකාර ගන්න තමයි අම්මව රෝහලට ගෙනාවේ. දැන් මේ අය කියනවා වර්ජනයක් කියලා. පපුවේ අමාරුවත් අරන් ආපසු හිස් අතින් යනවා. මුන්ට හෙණ ගහන්න ඕනේ.”

දඹුල්ලේ සිට කොළඹ ජාතික රෝහලට පැමිණ සිටි තරුණයෙක් මෙසේ කීය.

මම දඹුල්ලෙන් ආවේ පාන්දර දෙකට. මුන් ස්ට්‍රයික්. දැන් බේත් නැතුව ආපහු දඹුල්ලට යන්න වෙලා. බස් ගාස්තු ගෙවනවා විතරයි. මේ වර්ජනය කරන උන්ට විතරක් නෙවෙයි රට කරවන උන්ටත් හෙණ ගහන්න ඕනේ.

තවත් වයෝවෘද්ධ මවක් විලාප තැබුවේ මේ ලෙසිනි.

හැමදාම ස්ට්‍රයික්, අපට සල්ලි නෑ. දුප්පත් අපි රෝහලට ඇවිත් පැය ගණන් පෝලිම්වල ඉඳලා ඉඳලා තමයි බේතක් ගන්නෙ. පාර්ලිමේන්තුවේ ඉන්න දෙසිය විසිපහම පන්නන්න ඕනේ. මුන් මහ කාලකණ්ණි. රටක් කරන්න බැරිනම් පුළුවන් එකෙකුට දීලා පලයල්ලා. අපිට මේ දුක තව උහුලන්න බෑ.

ශිරාන් රණසිංහ, චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment