දරු උපත් කඳුළු කතාවක දෙපැත්තක්

714

දරුවන් පවුලට ශක්තියකි. සම්පතකි. ණැනවත් ගුණවත් දරුවන් රටට ආලෝකයකි. දැනුමෙන් සන්නද්ධ නිරෝගිමත් දරු පරපුරක් රටට දායාද කිරීම දෙමාපියන්ගේ වගකීමකි. කාලයක් අප රටේ දෙමාපියෝ මෙම වගකීම මැනවින් ඉටු කළහ. එක පවුලක දරුවන් හතඅටක් සිටියත් එදා දෙමව්පියන් එය බරක් කරගත්තේ නැත. වැලේ ගෙඩි වැලට බර නැතැයි කියමනක් ජනවහරට එක්වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

අපගේ අතීත මුතුන් මිත්තන් දරුවන් සම්පතක් ලෙස සැලකුව ද පසුකාලීනව අප රට තුළ ක්‍රියාත්මක එන්ජීඕ සංවිධාන එම මතවාදය වෙනස් කළේය. පුංචි පවුල රත්තරන් යැයි යන සංකල්පය හඳුන්වා දුන්නේ ඔවුන් විසිනි. ඔවුන්ගේ අදහස වූයේ පවුලකට දරුවන් දෙදෙනකු සිටීම ප්‍රමාණවත් බවය. දරුවන් වැඩිපුර ඉපදීම වැළැක්වීම සඳහා උපත් පාලනය හඳුන්වා දීම, කාන්තාවන්ට පමණක් නොව පිරිමින්ට ද වඳ සැත්කම් හඳුන්වා දීම ද කළේ මොවුන් විසිනි. ඒ සඳහා පුංචි දීමනාවක් ලබාදුන් අතර ඒ සොච්චමට ගිජුවූ අප රටේ පිරිමි පවා වඳ සැත්කම් කරගත් අවස්ථා වාර්තා විය.

රටේ ජනගහනය පාලනය සඳහා ඉහත යෝජනාව ක්‍රියාත්මක වෙද්දී ඒ තුළින් රටට දීර්ඝකාලීනව සිදුවිය හැකි විපත ගැන කවුරුවත් ගැඹුරින් කල්පනා කළේ නැත. අපි ජාතිවාදය පිළිකුලෙන් හෙළා දකිමු. එහෙත් ඇත්ත කතාව වූයේ ඉහත සඳහන් කළ සැත්කම්වලට භාජනය වූ බහුතරය සිංහලයන් වීමයි. එහි ආසන්න ප්‍රතිඵලය වූයේ සිංහල පවුල් කුඩා කුටුම්භ පත්වීමයි. මේ පිළිබඳ විවිධ මතවාද තර්ක විතර්ක ගොඩනැඟුණ ද කාලයේ වැලිතලාවෙන් එය යටපත් වී ගියේය.

මේ අතර මෙවර අයවැය විවාදයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදී කාගේත් ඇස් ඇරෙන පුවතක් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සභාවට ඉදිරිපත් කළේය. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ දරු උපත් පහළ යෑම නිසා පළමු ශ්‍රේණියට ඇතුළත් වන දරුවන්ගේ ප්‍රමාණය පනස් දහසකින් පමණ අඩුවී ඇති බවයි. ඒ අනුව පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන්ගේ සංඛ්‍යාව තුන්ලක්‍ෂ හතළිස්දහසේ සිට දෙලක්‍ෂ අනූදහස දක්වා අඩුවී ඇත. මීට අවුරුදු දහයකට පෙර සංඛ්‍යා ලේඛන සැසඳීමේදී මෙම දත්ත අනාවරණය වී ඇති බව ද ඇමැතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙය කාගේත් අවධානයට ලක්විය යුතු අණාවරණයක් බව අපගේ විශ්වාසයයි. පනස්දහසකින් පළමු ශ්‍රේණියට ඇතුළත්වන දරුවන් අඩුවීම යනු අනාගතයේදී අප රටේ ශ්‍රම බළකායට එක්වීමට තවත් පනස්දහසක් අඩුවන බව ද පැහැදිලිවම පෙන්වා දිය හැකිය. දිගින් දිගටම මෙම තත්ත්වය වර්ධනය වුවහොත් රටක් ලෙස ඉදිරියට යෑමේදී ඉන් අපට දැඩි බලපෑමක් එල්ල වීම වැළැක්විය නොහැක. එනිසාම දරු උපත් පිළිබඳ ජනතාව උනන්දු කිරීම මෙන්ම දරු උපත් අඩුවීමට බලපෑ හේතු සොයා බලා විසඳුම් ලබාදීම ද කළ යුතුය. මේ පිටුපස කඳුළු කතාවක් සැඟව තිබෙන බවට සැක නැත.

පවතින උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ පවුල්වලට දරුවන් බරක් වී ඇද්ද? බොහෝ විට මෙම කාරණය මෙය පිටුපස තිබීමට පුළුවන. කුටුම්භයට දරුවන් හත අටක් නඩත්තු කිරීම දැරිය නොහැකි මට්ටමට ආර්ථික අර්බුදය වැඩිවී තිබේ. එනිසාම බොහෝ දෙමාපියන් කල්පනා කරනුයේ දරුවන් වැඩි පිරිසක් හදා ඔවුනට දුක් දෙනවා වෙනුවට දරුවකු දෙන්නකු සාදාගෙන සිටීම උචිත බවය. අද දවසේ දරුවකුට පෝෂණීය ආහාර ලබාදෙමින් ඔවුන් අධ්‍යාපන කටයුතුවලට යොමු කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ.

අතීතයේදී අප රටේ දෙමාපියන්ගේ ඔළුගෙඩිවලට ලබාදුන් “පුංචි පවුල රත්තරන්” සංකල්පය කාලීනව වෙනස් විය යුතු සේම ඉතා ඉක්මනින් ආර්ථිකය නිසි පීල්ලට ගෙන අපේ රටේ පවුල් ශක්තිමත් කිරීම, මේ සඳහා ඇති හොඳම විසඳුම වනු ඇත. ඒ සඳහා අවැසි නුවණ අප රටේ පාලකයන්ට පහළ වේවා යැයි ප්‍රාර්ථනා කරන අතරේම දරු උපත් ගැන උතුරු කොරියාවෙන් ඇසෙන මේ කතාව ගැනත් අපේ අවධානය යොමුවිය යුතුය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල පවසන්නේ මේ වන විට උතුරු කොරියාවේ සශ්‍රීකත්ව අනුපාතය එක් කාන්තාවකට උපත් 1.8 ක් බවයි. එය සංවර්ධිත රටවල ප්‍රතිස්ථාපන අනුපාත මිනුම් ලකුණට වඩා 2.1 ක් අඩු බව ද එම අරමුදල කියා සිටී.

පසුගියදා උතුරු කොරියාවේ අගනුවර වන පියොංයෑන්හි පැවැති පස්වන ජාතික මව්වරුන්ගේ සමුළුවේදී, උතුරු කොරියානු නායක කිම් ජොං උන් එරට මව්වරුන්ගෙන් ඉල්ලීමක් කළේය. ඔහු හඬා වැටෙමින් මව්වරුන්ගෙන් ඉල්ලා සිටියේ රටේ අඩුවන උපත් අනුපාතය විසඳීම සඳහා දරුවන් බිහිකරන ලෙසයි.

මිලියන 25 ක පමණ ජනගහනයක් සිටින උතුරු කොරියාව මෑත දශක කීපය තුළදී මාරාන්තික සාගත ඇතුළු විශාල ආහාර හිඟයකට මුහුණ දී සිටියි. එවැනි අභියෝග රට හමුවේ තිබියදී පවා දරුවන් සම්පතක් ලෙස සලකා දරුවන් වැඩි වැඩියෙන් බිහිකරන්නැයි මව්වරුන්ගෙන් ඉල්ලා සිටින උතුරු කොරියානු නායක කිම් ජොං උන් ගෙන් අපේ රටේ පාලකයන්ට ද පාඩමක් උගත හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment