නීත්‍යනුකූලව සහ ශේප් එකේ රටක් කොල්ලකන්නේ මෙහෙමයි

1135

අප්‍රිකා මහාද්වීපය දුප්පත් භූමියක්ද? මෙය වූකලී ශත වර්ෂාධික කාලයකටත් වඩා ලෝකය පුරා සාකච්ඡාවට ලක්වුණු, එහෙත් අප්‍රිකාවේ කිසිම රටකදී සාකච්ඡා නොකෙරුණු ප්‍රශ්නයකි. ඉතිහාසයේ පටන්ම අප්‍රිකාව හඳුන්වන ලද්දේ අඳුරු මහාද්වීපය ලෙසය. මේ භූමිය තුළ ඉතා විශාල වෙළෙඳ පොළක් ඇති ආහාර සහ ධාන්‍ය වර්ග වගා කරනු ලැබේ. එසේම මේ භූමිය තුළ රත්තරන්, රිදී, දියමන්ති, නිකල්, තඹ, පැලේඩියම් ඇතුළු වටිනා ලෝහ වර්ග සහ ස්වාභාවික සම්පත් රාශියක් තිබේ. මේ ඡේදයේ මුලින්ම නගන ලද ප්‍රශ්නයට පිළිතුර වන්නේ අප්‍රිකාව දුප්පත් බවය. එහෙත් පෙරකී සම්පත් ඇති තරම් තිබෙන භූමියක් නම් අප්‍රිකාව දුප්පත් වන්නේ කොහොමද? එයට පිළිතුර මෙසේය. යුරෝපය ඇතුළු ධනවාදී ලෝකයේ සිටින ආයෝජකයන් සහ කර්මාන්තකරුවන් විසින් අප්‍රිකාවේ සිටින ස්වදේශික ධනපති පන්තියද සමග එක්ව එම භූමිය කොල්ලකන ලදී. අප්‍රිකාව දුප්පත් වන්නේ එහෙමය. මේ කොල්ලකෑම මුලින්ම පටන්ගන්නා ලද්දේ බෙල්ජියමේ රජතුමා වූ ලියෝපෝල්ඩ් නමැති කෲර කාලකණ්ණි මනුස්සයාය. ඔහු අප්‍රිකාවට අයත් කොංගෝවට ඔප්පුවක් සකස්කර එය තමාගේ නමට පවරාගෙන ඒ රටේ තිබූ සියලු ඛනිජ ද්‍රව්‍යය සහ වගාව කොල්ලකෑවේය. ඒ සඳහා ඔහු කොංගෝවේම ජනගහනය යොදවන ලදී. කොංගෝවේ හොඳටම වැවෙන ද්‍රව්‍යය ලෙස රබර්, කෝපි සහ කොකෝවා සලකනු ලැබේ. මුළු කොංගෝවම රබර්, කොකෝවා සහ කෝපි වතු බවට පත්කළ ලියෝපෝල්ඩ් කොංගෝ වැසියන් බලහත්කාරයෙන් වහල් සේවයෙහි යොදවා එම වැවිලිවල ආදායම තම බැංකුවලට දමා ගත්තේය. කුඩා ළමයකු විසින් එක රබර් ඇටයක් හොරකම් කරන ලද්දේද, ඒ ළමයාගේ අත් දෙකම කපන ලදී. වැඩිහිටියකු විසින් අනවසරයෙන් කොකෝ හෝ කෝපි වත්තකට ඇතුළු වීද එම පුද්ගලයාගේ දෙපා දණහිස් ළඟින්ම වෙන්කරන ලදී. ඉතා හොඳටම ජීවත්වන මිනිසුන් ඉතා අඩු වයසින් මියයන නමුදු කෲර ලියෝපෝල්ඩ් හොට බිම ඇනෙන තුරුත් ජීවත්වී ඉතා පහසුවටම මළේය. ලියෝපෝල්ඩ්ගේ මරණයෙන් පසු කොංගෝව භාර වූයේ ලියෝපෝල්ඩ්ගේ සපත්තු සහ පස්සා පැත්ත යන දෙකම එකවර ලෙවකෑමට තරම් දිගු දිවක් සහිත ස්වදේශික පැළැන්තියටය. ලියෝපෝල්ඩ් නැවැත්වූ තැන සිට ඔවුහු සිය මාතෘ භූමිය කොල්ලකෑමට පටන් ගත්හ. ඊට ටික කාලයකට පසු රටේ බලගතු පැළැන්තිය විසින් රට කොල්ලකෑමේ කොංගෝ පුරුද්ද අප්‍රිකාවේ හැම රටකටම පැතිර ගියේය. එකම එක උදාහරණයක් ගනිමු. උගන්ඩාවේ ජනගහනය හාරකෝටි පනස් අට ලක්ෂ පනස් තුන්දාස් හත්සිය හැත්තෑ අටකි. මේ රට කොල්ලකෑමෙන් ධනවත් වූ එක්ලක්ෂ හැට පන්දාහක ජනගහනයක් සිටින අතර ඔවුන්ගේ සමස්ත වත්කම් වල එකතුව ඩොලර් බිලියන 860 කි. මේ පිරිසට කැරට් 18 රත්ත්‍රන් ආලේප කළ වැසිකිළි පවා තිබේ. ඒ අතර, හාර කෝටියක් පමණ වන උගන්ඩාවේ ඉතිරි ජනගහනයෙන් 50% ක් පමණ ශරීර කෘත්‍ය සඳහා රිංගන්නේ බැද්දටය. ඉතුරු 50% න් 80% ක් පමණ යන්නේ වළ කක්කුස්සි වලටය.

ඉහත සඳහන් ඡේදය අප විසින් ලියන ලද්දේ එම ඡේදයෙහි අඩංගු කරුණු ඉතාම ලේසියෙන් අපේ රටට පර්යාය කරගත හැකි බැවිනි. මේ රටේ ලොකුම කොල්ලකාරයා හැටියට හැමදාමත් ටාර්ගට් වන්නේ දේශපාලනඥයාය. එහෙත් මේ රටේ නිලධාරී පැළැන්තියේ සෑහෙන කොටසකුත් වැඩකරන ජනතාවගෙන් සෑහෙන කොටසකුත් මේ රට කොල්ලකෑමෙහි නියුක්තව සිටිති. ඒ සම්බන්ධයෙන් එක උදාහරණයක් මෙසේය. ජාතික විගණන කාර්යාලය පවසන පරිදි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ලෙස අප දන්නා ආයතනය 2021 දී රුපියල් දා හතර කෝටි දහ අට ලක්ෂ විසිපන්දහස් අටසිය තිහක මුදලක් හිතුවක්කාර ලෙස සිය කාර්ය මණ්ඩලය අතර බෙදාහැර ඇත. වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශයද, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියද ලබා ගැනීමෙන් තොරව ඉතා හිතුවක්කාර ලෙස මේ ගනුදෙනුව සිදුකර ඇත. ආණ්ඩුවේ අනුමැතියකින් තොරව ආණ්ඩුවේ ආයතනයක සිදුකරන සෑම ගෙවීමක්ම වංචාවකි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මගින් ඉහත සඳහන් මුදල ගෙවා ඇත්තේ ස්වකීය කාර්ය මණ්ඩලයේ දිරි දීමනා, ප්‍රසාද දීමනා, ගෙවල් කුලී දීමනා සහ භාවිතයට නොගත් නිවාඩු සඳහා වන ගෙවීම් ලෙසය. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සල්ලි උල්පතකි. ගුවන් විදුලි සහ රූපවාහිනී තරංග විකිණීම සහ විකුණන ලද තරංග වෙනුවෙන් බදු අය කිරීම මේ අයගේ ආදායම් මාර්ගය වේ. මේ සඳහා කිසිදු ප්‍රාග්ධනයක් ආයෝජනය කරන්නේ නැත. එසේ කිරීමට අවශ්‍යද නැත. කුලියට ගත් බිල්ඩිමක්, මේස පුටු කිහිපයක් සහ කාර්ය මණ්ඩලයක් පමණක් මේ සඳහා ආයෝජනය ලෙස යොදනු ලැබේ. රුපියල් බිලියන ගණන් ප්‍රාග්ධනය ලෙස යොදවා කරන නිෂ්පාදන හෝ සේවා ව්‍යාපාර මෙන් සිය දහස් ගුණයක ආදායමක් කිසිදු ප්‍රාග්ධනයක් නොයෙදවූ විදුලි සංදේශ නියාමන කොමිසම මගින් උපදවනු ලැබේ. මේ ආදායමෙන් 1% ක් පමණ මෙහෙයුම් වියදම් සඳහා යන අතර සෙසු 99% ම ශුද්ධ ලාභ බව අපගේ වැටහීම වේ. මෙබඳු ශුද්ධ ලාභ ලබන ආයතනයකට බෝනස්, ගෙවල් කුලී දීමනා යනාදිය ඉතා පහසුවෙන් ගෙවීමට පුළුවන. හැබැයි එය කොතරම් දුරට යුක්ති සහගතද යන්න අපි නොදන්නෙමු. කොමිෂන් සභාව කියන්නේ එම සභාවේ 22 වන වගන්තිය ප්‍රකාරව මේ දීමනා ගෙවා ඇති බවය. එහෙත් බෝනස් නොව පඩිත් නැතිව වේලෙන ජනතාවක් තවමත් මේ රටේ සිටිති. කොරෝනා නිසා වැහුණු බිස්නස් වලින් සෑහෙන කොටසක් අදටත් විවෘත වී නැත. කොරෝනාව නිසා අහිමි වූ රැකියා සෑහෙන කොටසක් අදටත් ලැබී නැත. මේ අනුව අපගේ වැටහීම වන්නේ විදුලි සංදේශ නියාමන කොමිසම නමැති ස්වදේශික පැළැන්තිය තමන්ට කෑමට තබා කන්නට හිතීමටවත් නොහැකි තරම් බත් විශාල ප්‍රමාණයක් තම පිඟානට බෙදාගෙන ඇති බවය. මේ මුදල් ඉතිරි කොට ඒවා රාජ්‍ය භාණ්ඩාගාරයට යැව්වේ නම් එමගින් මේ රටේ සිටින ආර්ථික පීඩාවට පත් සෑහෙන පිරිසකට සේවයක් කළ හැකිව තිබූ බව අපගේ මතය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment