ආනයනික සීමා ඉවත් කරන කාලය ගැන IMF වෙත වාර්තාවක් දෙනවා – වැ. බ. මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ

123

ආනයනික භාණ්ඩ සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඉවත් කරන කාලවකවානු පිළිබඳව සවිස්තර වාර්තාවක් මේ මස අවසන් වීමට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබාදෙන බව වැඩබලන මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා ඊයේ (19 දා) පැවසීය.

කෙසේ වෙතත් මේ වසර අවසන් වන තෙක් වාහන ආනයනය කිරීමට අවස්ථාව ලබාදිය නොහැකි බවද ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෂෙහාන් සේමසිංහ මහතා කීවේය.

පසුගිය දෙසැම්බර් මාසයේ සියයට 70 ක්ව තිබූ උද්ධමනය මේ වන විට සියයට 25 දක්වා පහළගොස් තිබෙන බවද, මේ වන විට මහ බැංකුව සතුව ඇමෙරිකන් ඩොලර් බිලියන තුනයි දශම දෙකක් (3.2) පවතින බවද ඒ මහතා කීය.

මේ වන විට භාණ්ඩ වර්ග 930 කට සීමා පනවා තිබෙන බවත් එම සීමාවන් ඉවත් කරන කාලවකවානු සහිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වාර්තාවක් ලබාදීමට කටයුතු කරන බවත් පැවසූ සේමසිංහ මහතා රටේ ආර්ථිකය සියයට හතයි දශම අටකින් (7.8) පහත වැටී තිබුණත් එය මේ වසර අවසන් වන විට සෘණ තුන (-3) දක්වා අඩුකරගත හැකි බවද කියා සිටියේය.

ඉංජිනේරු සංස්ථාවේ හා යන්ත්‍රෝපකරණ දෙපාර්තමේන්තුවේ වැටුප් ගෙවීම සඳහා එහි දේපළ අලෙවි කිරීමට ගත් තීරණය මෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් ප්‍රතිව්‍යුහගත කිරීමට ගෙන තිබෙන තීරණයද ක්‍රියාත්මක කළ යුතු බවත් මහජනතාවගෙන් ලබාගන්නා බදු මුදල්වලින් එම ආයතන පවත්වාගෙන යෑමෙන් මහජනතාවට විශාල අසාධාරණයක් සිදුවන බවත් වැඩබලන මුදල් ඇමැතිවරයා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් ඇතැම් පිරිස් දත්ත හා සංඛ්‍යාලේඛන නොමැතිව අදහස් දක්වන බවද ඒවා නිවැරදි කිරීමට රජය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම කීවේය.

රජය බදු වැඩි කළත් ආනයන සීමා පැනවීම නිසා ආනයනික භාණ්ඩ මගින් ලැබෙන බදු ආදායම අඩු වන බවත් දැනට වැඩිපුර බදු ලැබෙන්නේ දේශීය වශයෙන් බවත් ඒ මහතා කියා සිටියේය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment