මියගොස් පැය පහකට පසු පණ ආ ඉක්වදෝර කාන්තාව මියයයි

796

පසුගියදා මියගිය බවට තහවුරු කර මිනි පෙට්ටියක තැන්පත් කර සිටියදී නැවත ප්‍රාණය ලැබූ 76 හැවිරිදි ඉක්වදෝර ජාතික කාන්තාව සතියක කාලයක් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමෙන් පසු හටගත් ආඝාතයක් (ස්ට්‍රෝක්) හේතුවෙන් මිය ගොස් ඇත. 76 හැවිරිදි බෙල්ලා මොන්ටෝයා හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ඉකුත් ජුනි 09 වැනිදා ඉක්වදෝරයේ බබාහොයෝ නගරයේ රෝහලකට ඇතුළත් කිරීමෙන් පැය කිහිපයකට පසු මියගිය බවට එහි රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරයා විසින් තහවුරු කර තිබිණි.

එහෙත් මියගිය බව තහවුරු කර පැය පහකට පමණ පසු මිනි පෙට්ටියක තැන්පත් කර සිටියදී නැවත ප්‍රාණය ලැබූ බෙල්ලා මුලින් මියගිය බව තහවුරු කළ රෝහලේම දැඩිසත්කාර ඒකකය වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරිණි. එසේ ඇය නැවත රෝහල්ගත කිරීමෙන් පසු එම කාන්තාව මියගිය බවට වෛද්‍යවරයෙකු විසින් තහවුරු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉක්වදෝර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණයක් දියත් කර තිබිණි. කෙසේ වුවද දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී බෙල්ලා ඉකුත් සිකුරාදා (16දා) දිනයේ හටගත් ‘කැටලෙප්සි’ නමැති රෝග තත්ත්වයෙන් මිය ගොස් ඇති බව ඉක්වදෝර සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනය කර තිබේ. සිය මව මෙවර සැබවින්ම මිය ගොස් ඇති බව බෙල්ලාගේ පුත්‍රයා වන ගිල්බට් බාර්බේරා මාධ්‍යයට පවසා තිබේ. මුලින් මියගිය බව තහවුරු කර තිබියදී නැවත පණ ලැබීම හේතුවෙන් ඇයට පූර්ණ අධීක්ෂණයක් යටතේ ප්‍රතිකාර ලබාදීමට රෝහල් බලධාරීන් විසින් පියවර ගෙන තිබිණි

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment