පෑලියගොඩ මැනිං එළවළු මිල ගිනිගණන්… සිල්ලර වෙළෙඳුන්ගෙන් චෝදනා

1085

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ ඊයේ (24 වැනිදා* එළවළු ගිනි ගණන් බව සිල්ලර වෙළෙඳුන් කීපදෙනකුම ‘දිවයින’ ට පැවැසූහ.

 එම එළවළු මිලදී ගෙන පාරිභෝගික ජනතාවට කෙසේ අලෙවි කරන්න දැයි ඔවුහු ප‍්‍රශ්න කර සිටියහ.

 මෙහිදී එලවළු මිලදී ගැනීමට පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට පැමිණි සිල්ලර වෙළෙඳුන් කීපදෙනකු මෙසේ පැවැසීය.

 මේකේ එළවළු පට්ට ගණන් මුන්ට හෙණ ගහන්න ඕන. සංගම්වල අය මාධ්‍යයට බොරු කියන්නේ. එළවළු 200 යි, 250 යි, 300 යි. එළවළු ගිනි ගාණට විකුණන මුන්ට හෙණ ගහන්න ඕනෑ. මේවා ගිනි ගණනට අරගෙන ගම්වල ඉන්න මිනිස්සුන්ට විකුණන්නේ කොහොමද? කොරෝනා අස්සේ මේ අය අපිව හූරාගෙන කනවා.

 අප ඊළඟට පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ හිටපු ප‍්‍රධාන සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතාගෙන් මේ ගැන විමසූහ.

 අද දිනයේ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළට එළවළු තොග කිලෝ 50,000 ක් ලැබිලා තිබෙනවා. මාධ්‍යයට අපි බොරු කියන්නේ නැහැ. අද එළවළු මිල ශීඝ‍්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා.

 අද එළවළු මිල ගණන් කිව්වොත් කැරට් තොග කිලෝවක් රුපියල් 140-150 යි. බෝංචි 180 යි. මෑකරල් 180 යි. ගෝවා රුපියල් 140 යි 150 යි. වම්බටු කිලෝවක් රුපියල් 160 යි. බණ්ඩක්කා රුපියල් 80 යි. කරවිල රුපියල් 120 යි. මාළු මිරිස් රුපියල් 200 යි. ලීක්ස් රුපියල් 200 යි. තක්කාලි රුපියල් 120 යි. මෙන්න මේ වගේ මිල ගණන් තමයි තියෙන්නේ.

 පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ මැනිං එක්සත් ප‍්‍රගතිශීලී සංගමයේ සභාපති පි‍්‍රයන්ත විජේසුන්දර මහතා

 අද දවසේදී පෑලියගොඩ මැනිං මාර්කට් එකට කෙසෙල් තොග කිලෝ 40,000 ක් ලැබුණා. සීනි කෙසෙල් තොග කිලෝවක් රුපියල් 50 යි 60 යි. ඇඹුල් 50 යි 60 යි. කෝලි කුට්ටු රුපියල් 140 යි. ආනමාලූ ඇම්බුන් 100 – 110 යි. ගස් ලබු කිලෝවක් රුපියල් 70 යි 60 යි.

 මේ අතර පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අද (25 වැනිදා* දිනයේද විවෘතව පවතී. එසේම ඊයේ දිනයේ තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට වෙළෙඳුන්ගේ පැමිණීමේ අඩුවක් පැවැති බව වාර්තා වේ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment