එස් එම් එස් කැම්පේන් කරලා ජනප්‍රිය වෙන්න ඕන නැහැ

වොල්ගා කල්පනී කියන්නෙ නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම බොහොම අඩු වයසකදි ඇය සම්මානිත වෙනව. තත්පරයක් දෙන්න සහ කවිතා යන ටෙලි නිර්මාණවලින් මේ දිනවල ඔබ හමුවට එන වොල්ගා ගැන මේ තොරතුරු ටිකත් ඔබට කියන්න අපි හිතුවා.

රසිකයො ‘පුංචි රෝසා’ ට බොහොම ළෙංගතු වෙලා වගේ?

‘තත්පරයක් දෙන්න’ ටෙලි නාට්‍යයේ මාව දකින්න ලැබෙන්නෙ ගොඩක් අඩුවෙන්. නමුත් මේ දවස්වල මගතොටදි පවා රසිකයන් පුංචි රෝසා කියන නමින්ම මාව ආමන්ත්‍රණය කරන්න තරම් ඒ චරිතයට ආදරය කරන්න පෙළඹිලා. ඒක ඇත්තටම ලොකු සතුටක්.

මට සෝෂල් මීඩියා ගැන දැනුමක් නැහැ - වොල්ගා කල්පනී

කොහොමද මේ අවස්ථාව ලැබෙන්නෙ?

මුලින්ම මට කතාකරන්නෙ රසික සුරවීර අයියා. මොකද මම කලිනුත් ඔහුගෙ පිටපත්වලට වැඩකරල තියෙනව වගේම මම පෞද්ගලිකවත් ඔහුගෙ පිටපත්වලට වැඩි කැමැත්තක් තියෙනව. රසික අයියා මට කතාව ගැන කිව්වට පස්සෙ සුපුන් රත්නායක අයියා මේ වැඩේට සම්බන්ධ වෙන්න කියල මට කතාකරනව.

මේ නිර්මාණයට සම්බන්ධ වීම ඔබට දැනෙන්නෙ මොන විදිහටද?

මම ටිකක් විවේකයෙන් වැඩකරන නිසාද මන්ද මට ලැබෙන්නෙත් ඒ වගේ වෙනස් විදිහේ නිර්මාණ. ගැබිනි මවක් විදිහට මේ වගේ සීරියස් කැරැක්ටර් එකක් කරන පළවෙනි වතාව. මවකගේ චරිතයක් කියන්නෙ වෙනස් හැඟීමක්. පිටපත අතට අරගෙන කියවල බලද්දි, චරිතයේ ස්වභාවයත් එක්ක මට වැඩි කැමැත්තක් ඇති වුණා ඒක භාරගන්න.

ඉදිරියේදී පුංචි රෝසාට මොනවා වෙයිද?

ප්‍රේක්‍ෂකයන්ට ඒ කතාව කිව්වොත් කුතුහලයක් නැති වෙන නිසා මම ආරාධනා කරනව ඔවුන්ට දිගටම නාට්‍යය බලන්න කියල. ඔවුන් කැමති දේවල් ඉදිරියේදී සිදුවෙයි. මෙහෙම දෙයක් කියන්න පුළුවන්, මම හිතනව ප්‍රේක්‍ෂකයන්ට සතුටු හිතෙන විදිහට වගේම සමාජයට ආදර්ශයක් වෙන විදිහට තත්පරයක් දෙන්න කතාව අවසන් වෙයි කියල.

රූගතකිරීම්වලදි මුහුණ දුන් අත්දැකීම් මොන වගේද?

‘තත්පරයක් දෙන්න’ සෙට් එකේ ඉන්නෙ අත්දැකීම් බහුල ශිල්පීන් ශිල්පිනියන්. ඒ නිසා එතැන හරි රහයි. මම හැමදාම කියනව වගේ ප්‍රවීණයන් එක්ක රඟපාන එක හරිම ලේසියි. විශේෂයෙන්ම අධ්‍යක්‍ෂවරයා අපිට නිදහස දීලා තියෙනව සැහැල්ලුවෙන් අපේ චරිතය කරන්න. ඒ වගේම කැමරා අධ්‍යක්‍ෂ චින්තක සෝමකීර්ති අයියගෙනුත් කිසිම බලපෑමක් නැහැ.

වොල්ගා මේ දවස්වල තවත් නිර්මාණයකින් දැකගන්න ලැබෙනව?

ඔව්, ස්වර්ණවාහිණියේ විකාශය වන ලලයි ලිලයි ලයි ටෙලිනාට්‍යයේත් මම චරිතයක් නිරූපණය කරනව.

කොහොමද ඒ චරිතයට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය?

මේ නාට්‍යයේ මට ලැබිල තියෙන්නෙ වයස අවුරුදු දහ අටක බොළඳ යුවතියකගේ චරිතයක්. බොහෝ වෙලාවට මේ චරිතයට ලැබෙන්නෙ ජනප්‍රිය ප්‍රතිචාර. මොකද මේ නාට්‍යය ඇත්තටම ජනප්‍රියයි.

ඔබ එකම අධ්‍යක්‍ෂවරයකගෙ නිර්මාණ දෙකක වැඩකරනව?

එකම වෙලාවෙ එකකට එකක් වෙනස් චරිත දෙකක් දෙපැත්තක විකාශය වෙන එක මට හොඳයි. ඒ නිසාම තමයි මම භාරගත්තෙ.

ලැබෙන ආරාධනා ගැන කොහොමද දැනෙන්නෙ?

මම ක්‍ෂේත්‍රයට පැමිණි දවසේ පටන් ආරාධනා ලැබෙන්නෙ වෙනස් විදිහේ චරිත වලට. ඇත්තටම බොළඳ පෙම්වතිය වෙන්න මට කතාකරනව ගොඩක් අඩුයි. කතා කළත් මම ඒ වගේ චරිත භාරගන්නෙ නැහැ කියලත් දන්නව. මම හැමදාමත් කියනව වගේ මේක ලෝකයේ වාසනාවන්තම රැකියාව. වාසනාවයි, ප්‍රේක්‍ෂකයන්ගෙ ආදරයයි දිගටම තියෙනව. ඉතිං මම සතුටින් වැඩකරගෙන යනව.

වර්තමානය වන විට ඒ ආදරයෙ අඩුවක් නැද්ද?

මොන දේ සිදු වුණත් මට ප්‍රේක්‍ෂක ආදරය දවසින් දවස වැඩි වුණා මිසක අඩු වුණේ නැහැ.

එහෙනම් ඇයි සම්මාන උළෙලවලදි ජනප්‍රියම නිළිය කාණ්ඩයට වොල්ගා නිර්දේශ නොවෙන්නෙ?

මම අතින් වියදම් කරල එස් එම් එස් ගහගෙන, කැම්පේන් කරල ජනප්‍රිය වෙන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ වගේම මට එහෙම කරන්න මුදලුත් නැහැ. ජනයාට ප්‍රියයි කියන දේ මම හිතන විදිහට එස් එම් එස් නෙමෙයි. මග තොට බැහැල මිනිස්සු අතරට ගිහින් බලන්න ඕන ඇත්තටම මිනිස්සු අපිට ප්‍රියයිද කියල. නමුත් මම කියන්නෙ නැහැ ජනප්‍රිය නළුවා හෝ නිළිය වෙන හැම කෙනාම අතින් වියදම් කරල ඒ තැනට එනව කියල.

ඔබට ලැබෙන පිටපත් ගැන සෑහීමකට පත්වෙනවද?

ඔව්, මට ලැබෙන පිටපත් ගැන ලොකු තෘප්තිමත් බවක් තියෙනව. මේ වෙලාවෙත් මගෙ අතේ තියෙන්නෙ වැඩක් කරන්න පුළුවන් ඒවා මිසක තේරුමක් නැති ඒවා නෙමෙයි.

වොල්ගා මෙතෙක් පැමිණියේ මොන වගේ ගමනක්ද?

මේක පොඩි කාලෙ ඉඳන් බොහොම මහන්සියෙන්, ඉගෙනගෙන, පොඩි පොඩි අවස්ථාවන්වලින් පටන්ගෙන ආපු ගමනක්. මම එක රැයකින් ජනප්‍රිය වුණ කෙනෙක් නෙමෙයි. නමුත් මම වාසනාවන්තයි. පොඩි වයසකදි සම්මානනීය රංගන ශිල්පිනියක් කියන ගෞරවය ගන්න අපේ ජෙනරේෂන් එකේ අයට බොහොම අඩුවෙන් ලැබෙන අවස්ථාවක්. ගිය වසරේදී හොඳම නිළිය සම්මානය ලබාගන්න මම වාසනාවන්ත වෙනව. ඒ මාණික්කාවත ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන්. එහි අධ්‍යක්‍ෂවරයා, නිෂ්පාදකවරයා සහ මුළු කණ්ඩායම ම මම මේ වෙලාවෙ ආදරෙන් මතක් කරන්න ඕනා.

වොල්ගාට සමාජමාධ්‍ය එපාද?

මං හිතන්නෙ මට සමාජමාධ්‍ය ගැන දැනුමක් නැහැ. ඒක මගේ අඩුපාඩුවක් වෙන්න ඇති. යූටියුබ් චැනල් එකක් පටන් අරගෙන මම ඒකට දාන්නෙ මොනවද කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනව. අනෙක් කාරණය, උදේට කාපු එකයි, දවල්ට කාපු එකයි, බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක කොහේ හරි යන එකයි, ගෙදර උයන එකයි ප්‍රසිද්ධ කරන්න මට ලජ්ජයි වගේම මට ඒ දැනුම නැහැ. අනිත් අය ඒකට හරි දක්‍ෂයි. ඒ දක්‍ෂතාවට මම ගෞරව කරනව.

ජීවිතයේ ගත්ත තීරණ ගැන පසුතැවීම් තියෙනවද?

අනේ නැහැ.

ජීවිතේ ඉදිරිගමන ගැන තීරණය මොන වගේද?

මේ විදිහටම නිදහසේ මට ගැළපෙන විදිහේ නිර්මාණ ටිකක් කරගෙන සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙනව.

වේදිකාව මගහැරුණාද?

කාර්යබහුල කාලවලදි වේදිකාවට ගොඩක් ආරාධනා ලැබුණා. ඒ කාලෙ මගේ පණ්ඩිතකමට සහ කාලවේලාවක් නැතිකමට බොහෝ නිර්මාණ මගහැරුණා.

අලුත් නිර්මාණ?

සේනක විජේසිංහ මහත්මයාත් එක්ක අලුත් ටෙලි නාට්‍යයක් ගැන කතාකරමින් පිටපත බලනගමන් ඉන්නෙ. මං ඒක භාරගන්නවද නැද්ද කියන එක දැන්ම කියන්න බැහැ. ඊට අමතරව චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක් වන සුදේශ් වසන්ත පීරිස් මහත්මයාගේ පළමු ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය වන ‘කවිතා’ ට සම්බන්ධ වුණා. ඒක ස්වර්ණවාහිනී නාළිකාව හරහා මේ වන විට විකාශය ආරම්භ වෙලා තියෙනවා.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment