55 වන අන්තර් ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකඩ පදක්කම් සතරක්

75

පසුගිය ජූලි මස 16 සිට 25 දක්වා ස්විට්සර්ලන්තයේ සූරිච් (Zurich) හිදී පවත්වන ලද 2023 අන්තර් ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ ජයග්‍රාහකයන් ඇගයීම සඳහා ශ්‍රී ලංකා රසායන විද්‍යායතනයට අනුබද්ධිත ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් කමිටුව මගින් සංවිධානය කරන ලද උත්සවයක් පසුගිය අගෝස්තු 19 වන දින රාජගිරියේ පිහිටි ශ්‍රී ලංක රසායන විද්‍යා ආයතන මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුණි. මෙම තරගාවලියේදී ලෝකඩ පදක්කම් සතරක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් සිව්දෙනා වූ කුරගොඩගේ තිසරිඳු අදීප ලක්ෂාන් (රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල), රොබොල්ගේ පහන්මා උපානි ලෙනෝරා (සංඝමිත්තා බාලිකා විද්‍යාලය, ගාල්ල), ඉසිත දිනුජය ආරච්චි (ආනන්ද විද්‍යාලය, කොළඹ) සහ තුවාහරන් චන්ද්‍රකුමාර් (ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස) යන සිසුන් සමත් වූහ. මෙම අවස්ථාව සඳහා ජයග්‍රාහී සිසුන්, ඔවුන්ගේ දෙමාපියන්, රසායන විද්‍යා ආයතනයේ විධායක සභා සාමාජිකයන්, ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් කමිටු සාමාජිකයන් සහ තවත් ආරාධිත අමුත්තන් සහභාගි විය.

පදක්කම්ලාභීන් වමේ සිට දකුණට: තුවාහරන් චන්ද්‍රකුමාර්, පහන්මා ලෙනෝරා, ඉසිත දිනුජය, අදීප ලක්ෂාන්.

රසායන විද්‍යා ඔලම්පියාඩ් තරගාවලිය ලොව පුරා ද්විතීයික පාසල් සිසුන් සඳහා පැවැත්වෙන රසායන විද්‍යාව සම්බන්ධ ගැටලු ඥානාත්මකව හා නිර්මාණාත්මකව විසඳීමට සිසුන් යොමු කරන තරග විභාගයකි. මෙම වසරේ දී රටවල් 89ක විශිෂ්ට දක්‍ෂතා දැක්වූ පාසල් සිසුන් 348 දෙනකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලියේ දී පැය පහක කාලයක් පුරා ප්‍රායෝගික හා සෛද්ධාන්තික පරීක්‍ෂණ මගින් සිසුන්ගේ රසායන විද්‍යා දැනුම ඇගයීමට ලක් කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශකවරු ලෙස ආචාර්ය ඉරේෂිකා ද සිල්වා (කොළඹ විශ්වවිද්‍යාලය) හා ආචාර්ය චින්තක රත්නවීර (රුහුණු විශ්වවිද්‍යාලය) සහභාගි වූහ.

55 වන අන්තර් ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝකඩ පදක්කම් සතරක්

ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ විධායක සභාව යටතේ පවතින අනුකමිටුවක් වන ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් කමිටුව විසින් මෙම ගෞරවාන්විත තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරන කණ්ඩායම තෝරා ගැනීම සඳහා වාර්ෂිකව ශ්‍රී ලංකා ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලිය සංවිධානය කරනු ලබයි. මෙහිදී පළමුවෙන්ම වාර්ෂිකව ජනවරි මාසයේදී සමස්ත ලංකා මට්ටමෙන් පවත්වන මූලික තරග විභාගයෙන් ඉහළම ලකුණු ලබා ගන්නා සිසුන් 30 දෙනෙකු පමණ තෝරා ගැනේ. ඉන්පසු ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් කමිටුව විසින් ඔවුන් වෙනුවෙන් ප්‍රායෝගික හා සෛද්ධාන්තික විෂය කරුණු අඩංගු වැඩමුළු කිහිපයක් පවත්වනු ලැබේ. ඉන් අනතුරුව පැවැත්වෙන ඉතාම තරගකාරී ප්‍රායෝගික හා සෛද්ධාන්තික තරග විභාග මගින් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන සිසුන් සිව්දෙනා තෝරාගනු ලැබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් භෞතිකව අන්තර්ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියකට සහභාගි වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එහෙයින් මෙම ජයග්‍රහණය සුවිශේෂී වේ. ලොව පුරා ඇතිවූ වසංගත තත්ත්වය හේතුවෙන් 2020 සිට 2023 දක්වා අන්තර් ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලි පවත්වන ලද්දේ මාර්ගගත ක්‍රමයටයි. 2020 හා 2021 වසරවල දී ලෝකඩ පදක්කම් ත්‍රිත්වය බැගින්ද, 2022 වසරේ දී රිදී පදක්කමක් සමග ලෝකඩ පදක්කම් ත්‍රිත්වයක්ද දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔවුන්ගේ උපදේශකවරුන් වන ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් කමිටු සාමාජිකයන් 2024 ශ්‍රී ලංකා ජාතික රසායන විද්‍යා ඔලිම්පියාඩ් තරගාවලියේ මූලික තරග වටය සඳහා අයදුම්පත් කැඳවීම 2023 ඔක්තෝබර් මාසයේදී සිදුවේ. වැඩිදුර විස්තර පහත සබැඳිය ඔස්සේ ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් හෝ ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් ෆේස්බුක් පිටුව මගින් ලබාගත හැක. අයදුම්පත් යොමුකරන ආකාරය පිළිබඳ සියලු විස්තර ළඟදීම වෙබ් අඩවියේ පළකෙරෙනු ඇත. https://www.web.ichemc.edu.lk/cosl/

ආචාර්ය ඉරේෂිකා ද සිල්වා
සභාපතිනි
ශ්‍රී ලංකා රසායන විද්‍යා ඔලිම්පියාඩ් කමිටුව.

advertistmentadvertistment
advertistmentadvertistment